Tuesday, December 4, 2018

උඩගෙදර කතා 89 (ටර්ස්)

                                 "ටර්ස්.... "

              පාන්දර තුන පහු වුනා විතරයි.. අම්මා අවදි වෙලා .. ප්‍රසන්නට ඇහුනා. එයත් කුස්සියට ගියා.. ගෙදර තිබුන කෑලි රෙදි වලින් අම්මා පැච් වර්ක් කරලා... පෑඩඩ් කරපු කවරයක් දාලා තියෙන පකිස් පෙට්ටි ඩිවානිය උඩ වාඩි වුනා..

"පුතා හීනෙං 'ටර්ස්.. ටර්ස්' කිව්වා හයියෙං.. මට ඇහැරුනා.. "
"ඒ මම ආසම වචන දෙකක්නෙ අම්මේ. අම්මා මොකද කරන්න හදන්නෙ..?"
"කිරිබත් ටිකක් හදනවා.. වෙන මොනවද මයෙ පුතාට හදලා ඕන.. " තේ එක ප්‍රසන්න අතට දෙන ගමන් අම්මා ඇහුවා.
"අනේ මොකුත් එපා අම්මේ.."
"අපෝ  අදත්.."

                   *                        *                        *
                
                එදා........................

                ප්‍රසන්නගෙ තාත්තගෙ මළගමට ආව අය තාත්තගෙ ගුණ කීවා.. ප්‍රසන්නගෙ අනාගතය ගැනත් දුක් වුනා..

"පියතිස්ස කාටත් හොඳින් හිටිය හොඳින් වැඩ ටික කරපු කෙනෙක්.. මේ දෘරුවා කැමති නං තාත්තාගෙ රස්සාවට බැඳෙන්න උදව් කරන්න අපිට පුළුවන් වෙයි.." ඒ අතරේ ආව එක මහත්තයෙක් කීවා.

               තාත්තා නැති වෙලා මාස හතර පහකට පස්සේ ප්‍රසන්නට රැකියාව ලැබුනේ එහෙමයි. ඒ වෙනකොට උසස් පෙළ ප්‍රතිපලත් ඇවිත්.. ඔහු විභාගය කරන දවස් වලමයි තාත්තා අසනීප වුනේ. ප්‍රසන්නට "S" තුනයි.

                අම්මා බෙදලා දුන්න කිරිබතුයි වැලිතලපයි කන අතරේ  ප්‍රසන්න මෙහෙම කීවා:
"අද රණසිංහ මාමා නෑ.. එයාගෙ පාරවල් දෙකෙත් ගිහිල්ලයි එන්න වෙන්නේ අම්මේ.. මං එනකල් ඉන්නේ නැතිව අම්මා කෑම කන්න.."

                 මෙහෙම කියලා ගිය කවදාවත් එහෙම වුනේ නෑ..!

"ටර්ස්... ටර්ස්..." ප්‍රසන්නට අවුරුද්දේ මුල්ම රාජකාරිය අංක 28 න් පටන් ගන්න වුනේ.
"සුබ අළුත් අව්රුද්දක් වේවා!..මිස්"
"එසේම වේවා! එනකල් බලාගෙන හිටියේ.."
"තියෙනව නං හැමදාම හරි එන්නං. " ප්‍රසන්න පුරුදු හීනි හිනාවත් එක්ක කීවා.
"මේ මොන විකාරයක්ද.. එන්න එපා කෝලං වලට. ඩීපීඑම්ජී තාත්තිගෙ යාළුවෙක්.. රිපෝට් කරනවා.. සමයං.." ගෑණු ළමයා එහෙම කීවා..

                මොකක්ද වුනේ ප්‍රසන්නට හිතා ගන්ට බෑ. ඒත් පුරුදු හීනි හිනාව අමතක කරේ නෑ.  "එයාට කීව දේ හරියට ඇහුනෙ නැතිව ඇති.." ප්‍රසන්න හිතුවා..

"ටර්ස්ස් ..ටර්ස්ස්.." පාරේ අනික් පැත්තේ ගේට්ටුවට, අතේ තිබුන බෝල් පොඉන්ට් පෑනෙන් තට්ටු කර කර ප්‍රසන්න කීවා. අංක 33..

"එනකල් බලාගෙන හිටියේ.. " ඒ ගෙදර මහත්තයත් කීවා. ඊළඟ අළුත් අව්රුදු තෑග්ග වගෙයි..

"සුබ අළුත් අව්රුද්දක් වේවා සර්!"
"එසේම වේවා.. එසේම වේවා..! එන්න ගෙට."
"අද වැඩ වැ..."
"නෑ.. නෑ.. පමා වෙන්නෙ නෑ.. තේ ටිකක් බීලා යමු.. කිරි අම්මා දානෙයක් තිබුනා.."
"මේ ළමයගෙ නම...?" ගෙදර තේ බිබී හිටිය වෙන මහත්තයෙක් ඇහුවා.."
"සර්.. ප්‍රසන්න.."
"තත්තා හරියටම නම නං තියලා.." ගෙදර මහත්තයා කීවා..හිනාවෙවී.. "වැඩි දෙනෙක් ආදරේට කියන්නේ නං ටර්ස්.. "
"ගන්න කිරිබත් කෑල්ලකුත්... " කෙසෙල් ගෙඩියක් කඩලා අතට දෙන ගමන් මහත්තයා කීවා..
"මේ ඇති සර්.. ටිකක් පිපාසෙත් තිබුනා.." ප්‍රසන්න කීවේ බොරුවට.. ස්තුති කළ හැකි හොඳම විදිය කියලා එයාට හිතුනේ එහෙම.

                 ප්‍රසන්නට අම්මා මතක් වුනා.. පෙන්නුවෙ නෑ..

"ආපහු යනකොට පොඩ්ඩක් කතා කරලා යන්න.." පිටත් වෙලා යන ප්‍රසන්නට මහත්තයා කීවා.

"ටර්ස් .. ටර්ස්.." 30 ගෙදරටත් ප්‍රසන්න කීවා.. එයාගේ 'ලෙ' යන්න එයාටවත් ඇහෙන්නෙ නෑ.. ඒත් තාත්තා ආදරෙන් හිනා වෙවී "ලෙටර්ස්" කියනවා අහගෙන ඇති කියලා එයා හිතනවා.

"වෙන පාර්සල් නැද්ද? තව දෙක තුනක් එන්ට තියෙනවා.."
"නෑ නෝනා.."

                බාර ගත්තා කියලා පොතක අත්සනක් තියන ගමන් නෝනා ප්‍රසන්නගෙ බෑග් එකටත් එබිලා බැළුවා. අත්සනට උඩින් 'එකක්' කියලා එයත් පොතේ ලීවා...

"නෑ නෝනා මේ.. ඔයෙ ඊබේ නේද.. මෙන්න මේ වෙන එකක් 47 ට තියෙනවා.. එච්චරයි."

"මට නැද්ද ප්‍රසන්න අයියේ.. " හැමදාමත් අහන ලස්සණ දැරිවි ඒ..
"නෑ මිස්..සොරි.."
"ඇයි නැත්තේ.. ඔයෙ තියෙන්නේ ප්‍රසන්න අයියගෙ ප්‍රසන්න හිනාව.. ඒ ඇති.."

               මේ වගේ එක එක අත් දැකීම් එදත්. ඒ පාරේ වැඩ ඉවර වෙලා ආපහු යද්දී 33 න් කුඩා පර්සලයක් ප්‍රසන්නට ලැබුනා.. රණසිංහ මාමගෙ වැඩත් ඉවර කරලා අර පාර්සලෙත් අම්මට යවලා ප්‍රසන්න කන්තෝරුවට යනකොට 28 මිසුයි එයාගෙ අම්මයි කන්තෝරුවට අල්ලලා තියෙන DPMG Office එක ළඟ.. "අවසාන අළුත් අව්රුදු තෑග්ග.. " ප්‍රසන්නට හිතුනා.. ආවේ ඇයි ඇහුවේ නැත්තේ ඒ හින්දයි. ඒත්,

"ප්‍රසන්න අයියේ... ප්‍රසන්න අයියේ... එනකල් බලාගෙන හිටියේ.." 28 ගෙදර මිස් කතා කරනවා. අර 'නාඩගං..' මිස්!
"පොඩි වැඩක් කර ගන්න තියෙනවා..උදව්වක් කරන්න. මෙන්න මේ.."
"මේක නං ඩීපීඑම්ජී සර්ටම කතා කරන්න වෙනවා මිස්.."
"පොඩ්ඩක්... අපිට..."
"ඇයි.. අඳුරනවනෙ.." කටට ආවත් එයා කීවේ නෑ.
"එන්න.. මං පෙන්නන්නං.."
"නෑ... චුට්ටක් ප්‍රසන්න අයියම කතා කරන්න..  "
                
"සර්... මේ මගෙ පාරේ..මිස් කෙනෙක්.." ලියුම නියෝජ්‍ය තැපැල්පති තුමාට දෙන ගමන් ප්‍රසන්න  කීවා. අර පැමිණිල්ලත් කරන්න ඉඩ දීලා එයා එලියට යද්දී "දරුවා..., පොඩ්ඩක් මුණ ගැහෙන්නත් ඕන " කියලා ඒ අම්මා හෙමිං කීවා.
             
                 වෙන වුවමනාවකට ප්‍රසන්නට ඒ කිට්ටුවෙන් ඉන්න වුනේ..

"දරුවට පොඩි උදව්වක් කරන්න ඕන.." එලියට එන 28 ලොකුනෝනා කිව්වා. පර්ස් එක ඇද ඇද..
"අයියෝ නෝනා උදව්වක් කරලා සල්ලි... ? අපෝ එපා.." ප්‍රසන්න පැත්තකට ගියා.
"හ්ම්.. එහෙනං ඉතින් පිං .. දරුවෝ.." ලොකු නෝනා කීවා.
"හෙට එනවා නේද.. ප්‍රසන්න අයියේ.. ?" මිස් ඇහුවා.
"ලියුං තියෙනවා නං හැමදාම ... "  'තියෙනවා' කියන වචනය පැහැදිළිව ඇහෙන්න ප්‍රසන්න කීවා. සමාව ඉල්ලන හිනාවක් මිස් ගෙන්..

                                                  
                                                   simple "s"
2017.12.31

             

No comments:

Post a Comment