Sunday, December 30, 2018

උඩගෙදර කතා 115 (ලිං කටෙං වැටුන එකා 05)


ලිං කටෙං වැටුන එකා   05

"මයෙ පුතා දෙවෙනි මහත්තයට කිව්වද... රෑණ කෙටූ ගලේ ඉඩමේ ගෙයක් හදංට ඕනෑ කියල?"
"දැං ගෙයක් හදා ගත්තොත් නරකද කියල දෙවෙනි මහත්තයම ඇහැව්වා අප්පච්චී. ඊට පස්සේ අපෙ ඉඩං ගැනත් අහල ඔය ඉඩම හොඳයි කිව්වා. ඒකේ හදංට පටං ගංටත් කිව්වා. ඇයි... අප්පච්චිට මොකද කිව්වේ?"
"නෑ... මොකුත් නෑ.. පුතේ කැමැත්තක් කරගත්තට අපෙ අකමැත්තක් නෑ. අනික් දෙන්නටත් ඕකෙංම ඩිංගක් ඉතුරු කෙරුවොත් නං හොඳයි. බඩපිස්සට නං මේක දෙංටත් පුලුවං. ඔව්වේ මොකවත් ආරව්ලක් ඉතුරු කරංට ඕනැන්නෙ නෑ. කවදා හරි පිටිං පව්ලට පෑහෙන එව්ං තමයි ඉතිං ඔව්වට ගං ඇදයක් හදා ගත්තොත්. ඒකටවත් ඉඩක් ඇයි. අද හෙට හොඳ කෑල්ලක් සුද්ද කරල දාමු. මේ කන්නේ හේං වැඩ පටං ගංට කලිං, කෑලි දෙකක් තුනක් විතර තියෙංට තනංට බලමු."
"හොඳයි අප්පච්චී."

"අර ගං දෙකේ මස්සිනා පණිවිඩයක් එවල තියෙනවා. කොයි වෙලාවේ හරි මෙහෙ ඇවිත් යංට එනවා කියල."
"ඒ මොකටද?"
"උන්දැගෙ බාල කෙල්ල ගැන කතා කරංට..."
අප්පච්චී... දැම්මම පණිවිඩයක් යවංට මම දැම්ම ඔව්වා ගැන හිතන්නෑ කියල."
"ඒ වුනාට එව්වත් කෙරෙංට එපායැයි."
"එව්වට කලිං තව කීයක් දේ කරගංට තියෙනවද අප්පච්චී."

"හොඳයි කියල හිතෙන විදිහක්.. හා.. මං දෙවෙනි මහත්ටයටත් කිව්වා. ඒක හොඳයි කියල මහත්තයත් කියන්නේ. ඒත් කාමර කෑලි දෙකක්වත් තනල දීල, තනියෙම මොකවත් හරි හම්බු කරගංට පුලුවං වෙනකල් ඉංටලු."
"අනේ අප්පච්චි මට දැම්ම තනියම හම්බුකරංට ඕනැන්නෙත් නෑ. ඔය හැම එකම පස්සේ පුලුවං. ඔන්න ඔය කැලේට ඇරිච්ච ඉඩං කෑල්ල සුද්ද කරගෙන කොස් පැලයක් පොල් පැලයක් හිටුවල දාමු. දැනට එහෙම ඇති."

"ඒත් ලොකු පුතා ඕකේ අරක මේක හිටෙව්වට පරිස්සං කර ගංට බැරුවෙයි.. සත්තුන්නෙං."
"බලමු අප්පච්චි.. ඔය පැල ජාති වට කරල හොඳට ලඟිං ලඟ පැල ඉනි වැටවල් බැන්දොත් සත්තුන්නෙං බේරාගංට බැරි වෙන එකක් නෑ."
"හොඳයි. හොඳයි. මයෙ පුතා."

                   *                         *                        *

"අප්පච්චි පොල් පැල කීපේකුයි වරකා පැල කීපේකුයි හොයා ගත්තොත් හොඳයි නේද?"
"මං උඩගැම්මැද්දේ වලව් වත්තේ මලයගෙං ඇහැව්වා. වැටිච්ච පොල් ගෙඩි හතාටක් පැල වෙංට දාලත් තියෙනවලු. වරකා ඇට නං ඇති පදං පැල වෙල තියෙනවලු, ඕනෑ වෙලාවක ගලවාන එංට කිව්වා. ගම්මිරිස් මැටි පලා වැලුත්  තියෙනවා කිව්වා. ගිනිසීරියා කෝටු ටිකක් ඈතිං ඈතිං කලිං හිටුවල තියල වැහි පටං ගන්නකොට එව්වා ගලවාන එංට කිව්වා. තව ඔය කෙහෙල් පැල,  ඖෂද පැල ජාති එහෙමත් තියෙනවා කියල 'වෙලාවක එංටකෝ' කිව්වා."

"අප්පච්චි.. ඔක්කොටෝම කලිං වැට බැඳල ඉංට වෙයි නේද?"
"ඔව් පුතේ.. ඔය ගිනිසීරියා ඉනි ඇති තරං හොයා ගංට තියෙන්නේ. හෙට අනිද්දා ඒකත් කරමු."

                 *                          *                         *

                    ඔය වෙනකොට යස ගේ ඩිංගක් හදල.  කැලෙං හොයා ගත්තු ගෙඩි ලී වලිං තනල, වහලේ, යටට ඉලුක් තට්ටුවක් බැඳල ඊට උඩිං පිදුරු වැහැව්වා. බිත්ති, වත්තෙම තිබ්බ කැට ගලුත් තිය තිය වරිච්චියෙං බැන්දා. ඒ කරල වැලි මැටි කපරාදුවත් ගැහැව්වා. සෑහෙංට ගොරහැඩියි තමයි. ඒ වුනාට තරමකට පිළිවෙලයි. හුනු පස්සේ. දොර, තව් මරල ගත්ත බට උන ලීවලිං පැලැල්ලක්. ටිකක් දවසකටනෙ.

"අප්පච්චි හේනක හදන පැලකට වැඩිය බොහොම ඉහලිං මේක හැදුවේ මං ඕකේ පදිංචියට එයි, ඉක්මනිංම කෙල්ලක් ඇන්න එයි කියල හිතල වෙංට ඇති." පෑලිස් හිතුවා. ඉඳල හිටල උදව් කරංට ආව යාලු කොල්ලොත් එහෙම කිය කිය කවටකං කෙරුවා. ඒ වුනාට පෑලිස්ගෙ හීන ලෝකේ තියෙන දේවල් ඔය කිසි කෙනෙක් දන්නෑ.

"මයෙ පුතා, වැඩක් කරන වෙලාවක මාන්සියට ඇලවෙල ඉංටත් එක්ක මෙතනිං ගෝහාල මැස්සක් හදල දාමු. ඕනෑ පදං ගෝණි පඩංගු තියෙන්නේ ගෙදර. එව්වා එලා ගංට පුලුවං. "
                   ඉරුං පට්ටලේ ගෙදරිං දිග පිට ලෑල්ලකුයි වෑයයි ඉල්ලාන ආවා. පිට ලෑල්ල තව ටිකක් රැහැල හොඳ ලෑල්ලක් වාගෙම හැදුවා. ගෙදරම තිබ්බ බුරඳ ගෙඩි ලීයකුත් රැහැල හතරැස් කෙරුවා. වියත් හතරක් විතර උහට කෑලි දෙකක් කපල එව්වේ කෙලවර දෙක කිට්ටුවට වෙංට ඇඟිලි පුරුක් දෙකක් විතර දිග පළල සිදුරු විද්දා. ලෑල්ලෙත් කෙලවරවල් දෙකට වියතක් විතර ඇතුලට වෙංට අර වාගෙම ටිකක් ලොකු සිදුරු දෙකක් විද්දා. සන්දෙං ඇන්න ආව ඒකටම ගැලපෙන ගොරහැඩි බාගේ නියන ගෙදරම තිබ්බේ. කණු දෙකේ කෙලවර, ලැල්ලේ සිදුරු දෙකෙං දාල එව්වේ විදපු සිදුරු වලිං කූංඤ්ඤ ගැහැව්වා. පරාල ලී දෙක්කට උඩිං යන වෙලං ගොබිලක් අනික් සිදුරු හරහට දාල එල්ලුවා. දැං යස ඉද්දර ලෑල්ල. ඒකේ අම්මා වියන ගල්ලැගැ වට පෙට්ටි විතරක් නෙවෙයි, පකිස් පෙට්ටියක් වුනත් තියා ගංට පුලුවං. රට අඹ ලෑලි පකිස් පෙට්ටි දෙකක් ගෙනත් ඉඳගංට බංකු දෙක්කුත් හැදුවා. දොර ලෑල්ලත් ඔය ගමම්ම පිට ලෑලි වලිං හදංට පෑලිස්ගෙ හිතට ආවත් ඒක ටිකක් පහු කෙරුවා. ඒක වෙලා යන වැඩක්.

                 ගේ හදාගෙන යද්දී සැරිං සැරේ ගමේ වැඩිහිටි ඇත්තෝ කීප දෙනෙක්ම එතෙංට ආවා. ගලක් ලීයක් ලංකරල දෙනවා වාගේ එව්වත් කෙරුවා. ඔය සේරම හිතවත්කම පෙන්නංටනේ ඔය.
ඩිංගිරීගෙ අප්පච්චිත් එහෙම ආව එක්කෙනෙක්.
"හොඳ වෙලාවක් බලල, ගිහි පිරිත් ඩිංගක්වත් කියවල පදිංචි වෙංට ඕනෑ දරුවෝ."
"ඒක ඇත්ත මලෑ..." අප්පච්චිත් කිව්වා.
"උඹලා දෙන්නම එකතුවෙල‍යි ඕක කියවංට ඕනැන්නේ." කියල පෑලිස්ට කියංට හිතුනා. ඒත් හිනාවෙල කරබා ගත්තා.

                  ගේ හදංට පටං ගත්තේ නැකත් බලල නෙවෙයි.  අප්පච්චී කිව්වේ, "පරම්පරා ගානක් ඕකේ ඉංටයැ. ඔය බ්‍රාස්පතිංදා දවසක් බලල වැඩ පටං ගමු පුතේ.." කියල.

                  පහුවදා නං පෑලිස් ගල්පොත්තට නාංට යනකොට  ඩිංගිරී විතරයි එතන හිටියේ. කලිං වතාවල් කීපෙකම තව කව්රු කව්රුහරි හිටියා. ඒ වෙලාවට අඳුරන්නේවත් නැති ගානයි. හැදිච්චිකොම! දෙන්නගෙම!

"අයියා මේ දවස් ටිකේම ආවෙ නෑ."
"වැඩක් කරනවනෙ මේ ටිකේ...මට විතරක් පේංට නංගිත් හිටියා එතන....!

අද මේ වැඩට අඳින රෙදි කෑලි දෙක හෝදා ගංට කියල. අද වැඩත් නෑ. පාලොස්වකනෙ."

"කොයි දෙංට මං හෝදල දෙන්නං...
මට ආසයි අයියා. 

මං රෙදි හෝදනකොට අයියගෙ රෙදිත් හැමදාම ඒ එක්ක තිබ්බා."
"දාඩිය සැරත් එක්ක..?"
"නෑ... මට පුසුඹයි මයෙ අයියා... 

ගේ හදනවා කියල අපිටත් ආරංචියි. අප්පච්චි ඊයේ ගෙදර ඇවිත් එක වරුණාවයි.. ලස්සනයිලු, හිත දහිරිය තියෙන කොල්ලෙක්ලු, වත්තේ හදා ගංට මොනොවා හරි පැලයක් දෙකක් ගිහිං දෙංට ඕනැලු...
උන්දැට ලොකු වෙච්ච පුතෙක් නැතුවට දුකයිත්. අප්පා... බලංට එපායැ, වරුවක්ම ඒ කතාව."

"අන්න හරි...., නංගී ආසා පැලයක් දෙකක් එවංට..."
"එවංට.. ? ඇයි මංම ඇන්න ආවොත්?"
"එහෙම්ම නවත්තා ගංට හිතෙයි මට!"
"අනේ අයියා ඇත්තටම මට ආසයි ගේ බලංට.."
"කලබල වෙංට එපා. නවතිංටම එංට පුලුවං ඉක්මනිම්ම."
"නා පැලයක් හොයල එවංට මට හිතුනා. කමක් නැද්ද?"
"නා පැලෙයක්..! කොච්චර එකද්ද... ඒත් නංගී කොහොමද නා පැලයක් හොයන්නේ? මම්ම එකක්.. "
"නෑ.. නෑ... , අප්පච්චි කැලෑ කොළණියෙං ඇට අහුලාගෙන ගිහිං දාල පැලවෙල තියෙනවා. මං එව්වෙං එකක් දෙකක් එවන්නං."

"නංගී වෙලාවකට මට හිතෙනවා මේ දෙගොල්ලන්නේ කැමැත්ත ගංටත් බැරුවෙන එකක් නැද්ද කියල."

"ම්හ්ම්... ඒක විස්වාස නෑ.. ඔය අයියා ගැන වරුණාව කිව්වට එහෙම එක්කදී වෙනස් වෙනවා අයියා."

"හොඳයි... කිට්ටු වෙද්දී බලමු මොකද්ද කරන්නේ කියල."

"හොඳයි අයියා.."

"මට ඉස්සරහ දවස්වලත් නංගී එන වෙලාවට එංට බැරිවෙයි. දිගටම වැඩ තියෙනවා."
"තව හුඟාක් කල් එහෙම වෙයිද?... කමන්නෑ... මං ඉතිං එතකං සීපද මුමුණ මුමුණ ඉන්නං මයෙ දෙයියෝ...."

                    *                      *                       *

අව්වේ තියෙන රැස් මාලා අඩු     වේවා
ගව්වෙං ගව්ව දිව මාලිග          සෑදේවා!


                                                           simple "s"

                     

Friday, December 28, 2018

උඩගෙදර කතා 114 (ලිං කටෙං වැටුන එකා 04)


ලිං කටෙං වැටුන එකා   04


"පෑලිස් යන්ටද?"
"එහෙමයි අපෙ මහත්තයා... අයෙ මොකවත් කරංට තියෙන වෙලාවක එන්නං."
"හොඳයි. පෑලිස් මේ කතා දෙකත් හරි හොඳයි.. අරන් ගිහින් කියවන්ට. ආපහු ගන්ට හදිසියක් නෑ."

"එහෙමයි අපෙ මහත්තයා ... මට තව කාරණාවක් කියංටත් තියෙනවා."
"ආ.. රහසක් වෙන්ට ඇති, ඔච්චර ඇඹරි ඇඹරි කියන්නේ... ලජ්ජා වෙන්ට එපා ඕනෑ දෙයක් කියන්ට. මොකද පෑලිස්ගෙ අම්මා අප්පච්චිලා පෑලිස්ට ගෑණු ළමයෙක්වත් ලෑස්ති කරලද?"
"ඒ අය හෙව්වා නෙවෙයි..."
"හා... අයෙත් පෙරළියක් කරන්ට වාගේ ලෑස්ති. අම්මලාට කිව්වද?"
"නෑ අපෙ මහත්තයා .. දැම්ම කාටවත් කියන්නෑ. අම්මලා කැමති වෙයි කියංටත් බෑ."
"ඒක නං ටිකක් ප්‍රශ්ණයක්. ඒ නොමනාපකම් නැති කර ගංටත් පෑලිස්ට දැන් හොඳට තේරෙනවනෙ. ඔය සිද්දියෙන් අම්මා අප්පගෙ හිත් රිදවන්නේ නැතිව එකඟ කර ගන්ට බලමුකෝ. ඕක ජීවිත කාලෙටම ගන්න තීරණයක්... ඔව්.. ජීවිත කාලෙටම.. ඉතිං මව්පියන්ගෙ වුනත් හිත් සතුටු  කෙරුවත් තමන්ගෙ හිත සතුටු නැත්තං  ප්‍රශ්ණ ගොඩක ආරම්භය. ඒ අයත් මනාප කරගෙන කෙරුවත් ප්‍රශ්ණ ඇති නොවෙනවා නෙවෙයි. ඒත්, එහෙම කර ගංට පුලුවන්නම් විශාල ප්‍රශ්ණ තොගයක් මගෑරෙනවා. අනික අපිට බරපතල වගකීමකුත් තියෙනවා."

                      දෙවෙනි මහත්තය කල්පනාවක්.

"කොහොම වුනත් පෑලිස් මෙන්න මේ ටික හොඳට මතක තියා ගංට. එහෙම එක තැනකට වෙන්ට කලින් පැල් කොටයක් වත් වෙනම හෙවනක් හදා ගංට ඕනෑ. එහෙම නැත්තං හොඳටම හිත පැහැදීමකුත් නැති එකේ ඔය කොතනත් තියෙන  නැන්දම්මා ලේලී ආරෝව දලු දානවා. වැඩිකල් නොයාම. මව්පියෝ නොමනාපකම් පෙන්නුවත් දරුපැටියෙක් වඩාගෙන ගිහින් පෙන්නුවම, අත්තම්මගෙ චීත්ත කෑල්ල තෙමුවම එව්වා ඉවරයි. ඉතිං ඒ ඇත්තන්ගෙ මූණ බලන්ට බැරි දෙයක් කියල කරල තිබ්බොත් මොකද වෙන්නේ."

                   අනික, දෙන්නට දෙන්නා හොඳට තේරුම් ගන්ට ඕනෑ, අනික් එක්කෙනා කියන කරන දේටත් ඉඩ දෙන්ට ඕනෑ, හැම දේම දෙන්නගෙ... හැම දේම දෙන්නට කියල හිතංට ඕනෑ. මොන ගෑණු කෙනෙක්වත් තේරුම් ගන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි පෑලිස්. එයිනුත් තමන්ගෙම බිරිඳ තමයි ලේසිම නැත්තේ. දෙපැත්තේ අදහස් දෙපැත්තකින් ඇව්ත් අන්තිමට එක තැන් වෙන්ට ඕනෑ. හරියට අර දුම්බර ** කන්දේ ජෝඩු ඇල්ල වාගේ. මේ වතුර මේ ඇල්ලේ.. අර වතුර අරකේ කියල අයෙ වෙන් කරන්ට බෑනේ. අන්න ඒ වාගේ.

                   දෙවෙනි මහත්තයා අයෙත් කල්පනාවක.
"පෑලිස්ලගෙ තව ඉඩම් තියෙනවද?"
"එකක් රෑණ කෙටූගල පැත්තේ තියෙනවා. අර නාන තැන කිට්ටුවෙං. තව එකක්..."
"රෑණ කෙටූ ගල හොඳයි. ගෙදරටත් කිට්ටුයි. වැව්ලියද්දෙන් එන ඇලයි වැවයි අත ලඟ."
"වැව්ලියද්දේ ඇල ඔය ඉඩම පාමුල අපෙ මහත්තයා."
"ඒක තමයි. පෑලිස් අප්පච්චිත් එක්ක එකතුවෙල ඒකේ කාමර දෙකක් තනන්ට ඕනෑ."
"ඒත් මං ඕක කියන්නේ කොහොමදෑ උන්දැට අපෙ මහත්තයා."
"හ්ම්.. ඒකත් ඇත්ත. පෙලවහක් කර ගන්ට යන කතාව දැන්ම ඒ අයට කියන්ට ඕනෑ නෑ. හොඳයි අද හෙට මට මුණ ගැහෙන වෙලාවක මමම කියන්නම්. පොඩි පොඩි දේවල් වලට සල්ලි දෙකක් නම් ඕනෑ වෙයි. උදව් වෙන්ට එන කෙනෙකුට කහට එකක් දෙන්ට එහෙම."
"හොඳයි අපෙ මහත්තයා.

                     *                       *                      *
                  
                    දවසක් දෙවෙනි මහත්තයා පෑලිස් ලඟ ඉඳගෙන හිටිය පේමරත්නට වේවැලෙං ඔලුවට ගහනවා... චක්කරේ වරද්දනවට. පෑලිස් පාරවල් ගණං කරනවා.
"එකායි.... දෙකායි.... තුනායි...."
"ඉඦ... මේකත් ගණං කර ගං.. " දෙවෙනි මහත්තයා ඊලඟ පාර දුන්නේ පෑලිස්ගෙ ඔලුවට. හොඳ පාරක්. රෙදුනා.. ලැජ්ජාව ඊට වැඩිය. එක සැරයක් ඔලුව අතගාල පෑලිස් බංකුව දිහා බලා ගත්තා. තව දවසක් වතු වැඩ වෙලාවේ වෙන ළමයෙක්ගෙ සරම අස්සට පස් දාල අහු වුනා. ඉස්කෝලේ වෙලාවේ, දිඹුල් ගහෙං නැගල ඒකේ අත්තකට ගෑවිල තිබ්බ පුවක් ගහ දිගේ රූටල අහුවෙච්ච දවසෙත් හොඳ ගුටියක් හම්බුනා.
ඒ වාගෙම ඉස්සර චිරි චිරි ගාද්දී දෙවෙනි මහත්තයා  කනෙං ඇද්ද වෙලාවල් අනංතයි. බැන්න වෙලාවල් නං කෙලවරක් නෑ. ඒත් කල් යනකොට ඒකම මහා ගෞරවයක් වුනා. ඒකට තව හේතුවක් තිබ්බා. දෙවෙනි මහත්තයා සැරයි, තරහ යනවා කියනවා වාගෙම ළයින්ට බොහොම කරුණාවයි ආදරෙයි කියලත් ප්‍රසිද්දයි. අනික, එහෙම හදාගත්තා නෙවෙයි නං විසේසෙම්ම පෑලිස් කැලෑ සතෙක් වෙංටයි තිබ්බේ.

                    හොර ලියුම් පලහිලව්ව වුනා නෙවෙයි නං පෑලිස් ඉගෙන ගංටත් දස්සයා. ඉස්පැට්ටර මහත්තයා ආව දෙතුං සැරයක්ම ප්‍රශ්ණ වලට උත්තර දෙංට ඉස්සරහට දැම්මේ පෑලිස් තමයි. පංතියේ පළවෙනියා නෙවෙයි නං දෙවෙනියා. පැලිස්ට තරඟෙට හිටියේ පේමරත්න. පෑලිස්ලා තරඟයක් කියල එකක් දන්නෙ නෑ. ඔහෙ ලිව්වා..., ඔහෙ ලකුණු ලැබුනා. එච්චරයි.
                  
                   *                           *           

"පෑලිස් කොහෙද ඔය ගෑණු ළමයා?"
                    දැං අහයි දැං අහයි කියල පෑලිස් බලාන හිටිය ප්‍රශ්නේ! ඒත් පෑලිස්ට තරමක චකිතයක්. ලැජ්ජාවත්..
"ගමේම අපෙ මහත්තයා. අර අපෙ පංතියේ හිටිය ඩිංගිරී."
"මං හිත රිදෙයි කියල මෙච්චර කල් ඇහුවෙ නෑ පෑලිස්. අර ලියුමක් හින්දා මහ ලොකු ප්‍රශ්ණයක් වුනේ.. ඒක ලිව්වෙත්?"
"ඔය ඩිංගිරීට තමයි. ඒක මං ඊයේ වෙනකල් කිසි කෙනෙකුට කිව්වෙ නෑ."
"ඒ ළමයා දැනගෙනවත් හිටියෙ නෑ නේද?"
"නෑ අපෙ මහත්තයා.."
"එතකොට ඉස්කෝලෙන් අයින් වුනදා ඉඳලම ඔය
සම්බන්දේ තිබුනද?"
"ඉස්කෝලෙං පස්සෙම කතා කෙරුවේ ඊයේ තමයි. මයෙ හිතේ මෙහෙම තියෙනවා කියල එයා ඉවෙං වාගේ දැන ගෙන නං හිටියා වෙංට ඕනෑ."
"දැන් ඕක කෙරෙනවාමයි කියල පෑලිස්ට ව්ශ්වාසද?"
"එහෙමයි අපෙ මහත්තයා."
"හොඳයි .. පෑලිස් දැං නොතේරෙන බබෙක් නෙවෙයි. ඔය ජීවිතය ආරම්භය කියල මතක තියා ගන්ට. කොයි දේවත් කල්පනාවෙන් කර ගන්ට. මෙන්න මේ පොතත් අරන් ගිහින් කියවන්ට. ඕකේ තියෙන්නේ පිටරටක ලඟදී බඳින්ට ඉන්න ජෝඩුවකට දොස්තර කෙනෙක් දෙන උපදෙස්. හරිම වටිනවා. මහාචාර්ය දොස්තර ෆ්‍රේෂර් කියල මහත්තයෙක් ඉංගිසියෙන් ලිව්ව පොතේ පරිවර්තනයක්."

                      පෑලිස් දණ ගහල වැන්දා. වෙනදට වැඩ් ගෞරවයක් එයාට දැනුනේ.
"තෙරුවන් සරණයි.! යහපතක්ම වෙන්ට ඕනෑ..."

                                                      simple "s"
2018.12.28

                
  

                 

Wednesday, December 26, 2018

උඩගෙදර කතා 113 (සඳසට සෙනෙහසින්...)

සඳසට සෙනෙහසින්......
නව මිතු කැළට සුබ පතමින්......!

"කවුළුව පැන සඳු ගෙට ආ          වෙලාවක
මේ හඬ නැති විදුලි ඉරි පිරි           වලාවක
ළපැටි නිල් දෑස්, කියවන                හිනාවක
තුරු අතරේ මීදුම් විදි හිරු                 රැසක

මඳ නළ වැද රළ නංවන             පැලපතක
හිමිදිරි පිනි රටා රැඳි සුදු මුඳු             මලක
කුරහං ඉරිඟු කිරිබර හේනක         පැලක
සදා සුව විඳිමි, සඳැසින් සැදි              කවක."

                                                        simple "s"
2018.12.27

Tuesday, December 25, 2018

උඩගෙදර කතා 112 (බිරිඳ)

ඒ මොකද දෙයියනේ?

දැනුත් ඔයෙ කුස්සියට වෙලා නහිනවා. අගේ කරලා ලිපියක්වත් දැම්මෙම නෑනෙ. කව්රු නැතත් මං ලියන පට්ටපල් බොරුවක් හරි අගය කරන්න ඉන්නෙත්....

මාතෘකාව ලිව්වා විතරයි.

"මෙන්න තේ එක... නිවෙයි."
"හරී... "

                    *                       *                       *

"වැඩේමයි.. මං ඔය මඟුල බලන්න ආවා නෙවෙයි. තේ එක දෙන්..."

තව ඔය මොනවද මොනවද කියව කියව පුපුර පුපුර  ගියා යංට ඕං...!

                      *                     *                      *

                        "බිරිඳ යනු..... "

  ***********************************************************        පින්තූරය අන්තර් ජාලයෙන්.

                                                  

Monday, December 24, 2018

උඩගෙදර කතා 111 (ලිං කටෙං වැටුන එකා 03)

ලිං කටෙං වැටුන එකා     03

                    නාමල හිත ඇදිල යන තරං පෙනුමක් නෑ වාගේ එක පාරම පේන්නේ. ඇති පාටකුත් නෑ. පිස්සු වැටෙන සුවඳකුත් නෑ. ඒත් දකින කායෙ වුනත් හිත  වශී වෙනවා. පොකුරු පොකුරු සුදු මල් ... රතු පාට දළු... හීනි සුවඳ... ගහ අස්සේ හීතල හෙවන.

                   ආණ්ඩුවේ කැලෑ කොලණිය ඇතුලට වෙංට  තියෙන නා ගහක් යටට පෑලිසුයි ඩිංගිරියි ගියේ. ගහ වටවෙල හැදිල. හුඹස් බිම්මලක් වාගේ. වටේම ගණ කැලෑව. ගසුයි වැලුයි එකට එතිල. උංට නං එතන පෙනුනේ පොත් වලිං දැනගෙන තියෙන 'රජ වාසළ උද්‍යාණයක්' වාගේ. පල්ලෙහායිං පේන වැවත් ඒකටම යාවෙනවා. වැව පැත්තට මූණ දාල ඩිංගිරීට ඩිංගක් ඈතිං පෑලිස් හිට ගත්තේ.

                     කිව්ව වෙලාවට නාංට ආ එකෙංම පැලිස්‍ට තේරුනේ ඩිංගිරීගෙ අමනාපයක් නෑ කියල. ඒත් ඕක වචනෙංම අහ ගන්නැතුව හරි යනවායැයි. තුවක්කුවක් ගත්ත එකෙක් පස්සෙං පන්නාගෙන ආව මුවෙක් වාගේ ඩිංගිරී ගැහෙනවා. වට පිට බලනවා.  ඔලු ගෙඩිය අත ගානවා. හොඳටම බයෙං. පෑලිස් ඉන්නෙත් අසිහියෙං වාගේ. උගුර කට වේලිල. වචනයක් කතා කර ගංට බෑ, තොල පැටලෙනවා. ඒ මදිවට ආව වෙලේ ඉඳල ඒකියෙ මූණ දිහා බලා ගත්ත ගමං. රැළි ගැහිච්ච ඉසකේ...... හීං තොල් දෙක...  පිරිච්ච රෝස පාට කම්බුල් දෙක.. හැට්ටෙට යංතං යංතං තද කර කර එලියට පනිංට හදන අලුත් පපුව... ඉස්සර දැක්ක හොටු කෙල්ලමද මේ..... !
"ඉතිං මොන ජගතෙකුටවත් මේකී ගංට මං ඉඩ දෙන්නෙ කොහොමද?" පෑලිස් තමුංටම කියා ගන්නවා.

"නංගී වෙව්ලනවා."
"ඔව් අයියා... ආවට මොකද මට හරි බයයි."
"ඇයි... මයෙං කරදරයක් වෙයි කියලද?"
"අප්පෝ නෑ අයියා."
"මෙහෙම මුණ ගැහුනම එහෙම දේවලුත් වෙනවා තමයි සමහර උං අතින්නං.. ඒ වුනාට මං..." පෑලිස්ට කියල ඉවර වෙංට ලැබුන්නෑ."
"ඒත් අයියා අවාසනාවකට කව්රුවත් දැක්කොත්, එහෙම   දෙයක් නූනා කියල හිතන්නෙ නෑනෙ... හිතුවත් කියනකොට එහෙම කියංට කැමති නෑනෙ."
"හොඳයි නංගී අපි ඉක්මනිං යං. නංගිට මං ඊයේ කිව්වදේ තේරුණද?"
"මොකද්ද?"
"මෝඩී... තේරුන්නැද්ද ආඩම්බර පෙන්නනවද?"
"අප්පෝ තරහ ගංට එපා ඉතිං..."
"මං කිව්වේ, මට ඕනෑ උඹ මයෙ ගෙදෙට්ට කවදාහරි එක්කං යංට... ඔන්න සහසුද්දෙම්ම කිව්වා."
"මට... තේරුණා... අයියා. මට තේරුණා."
"ඒත් තව හිතංට ඕනෑ නං මට හෙට අනිද්දා කිව්වත් කමන්නෑ. ඕනෑ තරං හිතල. තව හිතංට තියෙන එව්වා මාත් මතක් කරල දෙන්නංකො. අපි දෙන්නගෙම ගෙවල් මේකට කැමති වෙන්නෙ නෑ. අපෙ ගෙවල් වල උං හිතාන ඉන්නේ උං මහ ජාති කාරයෝ කියල. නංගිලෑ උං හිතාන ඉන්නේ උං ඉහලයි කියල. උං දෙගොල්ලටම තේරෙන්නෑ අනිත් එවුං කියන්නේ උං අපි දෙගොල්ලොන්ටම උසස් කියල. ඒ වාගෙම මා එක්ක එනවා කියන්නේ  සදහටම පොලොව එක්ක හැප්පෙංට තමයි ඉතිං. ඉතිං නංගී තව හිතල.. "
"හ්ම්.. ඇති ඇති පණ්ඩිතයා. ඉතුරු හරිය තියා ගංට. තීරණයක් ගත්තට පස්සේ අයෙ, තව හිතංට දෙයක් නෑ මට අයියා."
"හ්ම්... තීරණයක් ඇන්න ඉවරයි එහෙනං..!"
"ඔව්... මොන දුක විඳිංට හරි මං අයියා ලඟට එනවා.. සිද්ද වෙන දෙයක් ඒ ඒ වෙලාවට බලා ගමු."

                  වැඩිය මොකොවත් හිතන් නැතුවම පෑලිස් නා දල්ලක් කඩාගෙන සාක්කුවේ දා ගත්තේ.
"අයියා.. ඔය පාතිං තියෙන මල මට.."

                  පෑලිස් නා මල කැකුලකුත් එක්කම කැඩුවා. ඩිංගිරී දිගෑරිය අතේ අල්ල උඩිං තිබ්බා. හැබැයි ඇඟිල්ලක් ඇඟිල්ලක වදිංටවත් දුන්නේ නෑ. ඩිංගිරී පෑලිස්ගෙ මූණ දිහාම බලාන හිටියේ. පෑලිසුත් නොදන්නවම නෙවෙයි. ඔළුව ඉස්සුව පෑලිස් දෑතිම්ම ඩිංගිරීගෙ මූණ දෙපැත්තෙං අල්ලාගත්තා. මලක් තැලෙයි පොඩිවෙයි කියල බයෙං වාගේ. පෑලිස් ඩිංගිරීගෙ ඔලුව ඉම්බා, නළල ඉම්බා, කම්බුල් ඉම්බා... පුංචි තොල් දෙකටත් එයාගෙ තොල් දෙක තිබ්බා. තරුණ අප්පෙක් තමන්නේ ළපැටි කුළුඳුල් දුවගෙ හාං පුසුඹ හොයනවා වාගෙ. ඇහැල මහේ අහසිං කඩා වැටෙන තාරුකාවක වේගෙං මේ ඔක්කොම. පෑලිස් ඩිගිරීගෙ මූණ අතෑරල පස්සට වුනා.
"ඔව් සිද්ද වෙන දේකට මූණ දෙමු. කිසි වෙනසක් නැතුව දැනට ඉංට... හෙට මුණ ගැහෙන්නෑ."
"ඇයි?"
"හෙට දෙවෙනි මහත්තයා එංට කිව්වා."
"දෙවෙනි මහත්තයා..?"
"ඔව් නංගී. ඔයෙ මොකවත් පොඩි වැඩක් ඇති. එතුමා මට බෝම කරුණාවයි. මට තවම ගුරුහරුකං දෙන්නේ දෙවෙනි මහත්තයා. මයෙ හැම දේම කියන්නෙත් මහත්තයට."

                   *                         *                       *
                   
                    ඉස්කෝලේ දෙවෙනි මහත්තයා පෑලිස්ට බොහොම ලෙංගතුයි. ගමේම කෙනෙක්
අබේරත්න මහත්තයා. හොඳ නරක කියා දෙනවා. බලංට කියල පොතක් පත්තරයක්  දෙනවා. පෑලිසුත් එතුමට බෝම ගව්රවෙයි. හිතවත්. ගෙදර, වත්තේ පොඩි පොඩි වැඩක් කිව්ව පමාවෙං කරල දෙනවා. මහත්තයට තිබ්බේ කරංට ඕනෑ දේ කියංට විතරයි. පස්සෙං ඉංටයි අඟලෙං අඟලට විස්තර කියංටයි ඕනැන්නෙ නෑ. වැඩේ තිතට කෙරිල ඇති. මහත්තයා හිතුවේවත් නැති පදං හොඳට.

                   මහත්තයගෙ නෝනත් පෑලිස්ට බොහොම කරුණාවයි. වැඩක් කරන දවසට කෑම ටික කහට ටික දෙන්නේ තමන්නෙම දරුවෙකුට වාගේ. වැඩ ඉවර කරල යනකොට, තේ වතුර බොංට තිබ්බ මොනවා හරි දෙනවා. 'මේක අම්මට දෙංට.' කියල. හරියට පෑලිස්ගෙ හිත දැනගෙන වාගේ.

                   *                         *                         *

"හ්ම්.. මං දන්නවා හෙට එහෙ යන්නේ ඇයි කියල. අපි ගැන කියංටනෙ ඔය."
"මට කරංට බෑ නංගී... එහෙම නෙවෙයි නං දෙවෙනි  මහත්තයට විතරක් නෙවෙයි... මුළු ලෝකෙටම ඇහෙංට කෑ ගහල කියංට මට හිතෙන්නේ.... හා.. දැං පරිස්සමිං යංට නංගී."
"අනිද්දා මං එනවා අයියා..."

                                                        simple "s"
2018.12.24

                සේයා රූ අන්තර්ජාලයෙන්...

Saturday, December 22, 2018

උඩගෙදර කතා 110 (ලිං කටෙං වැටුන එකා 02)


"ලිං කටෙං වැටුන එකා ......"  02

                  තවම අවුරුදු දාසයයි මයෙ මල්ලිට. හැබැයි රජ කාලේ නං ගෑණියෙකුත් කැන්ඳාන ඇවිත්. ඉස්කෝල ගමන අතෑරුන, ගමේ හුඟක් ගෑණු පිරිමි ලමයි දැනුත් එහෙමම තමයි. ආකහෙයි පොලොවයි එක්ක අංකරේ අල්ලන කොල්ලන්නේ කෙල්ලන්නේ ජීවිත!

                 ගමේ ගොයිතැං කරන්නේ අහස් දියෙං.ඒ කාලෙට වැඩ එන්නේ එක පිට එක. එතකොට කොල්ලංට තමුන්නේ අත් දෙක මදි. අම්මා අප්පලත් කොල්ලා ගැන බයයි. එක්කෝ කොල්ලා අඳුර ගත්ත ලමිස්සියෙකුට ඒකා හිංදා බඩක් හැදෙයි. අප්පෙක් නැති දරුවෝ ඉන්න බවලත් කෙනෙක් වෙංටත් බැරි නෑ. නැත්තං නොපෑහෙන තැනකිං කෙනෙක්. අම්මා අප්පා වුනාම මේ වාගේ කීයක් දේ හිතංටද! 

                 පෙළවහක් කරල දුන්නම ඔක්කොම හරි. මහ දෙන්නත් එහෙම හිතයි. ඒ වුනාට ඉං පස්සේ...? අහංට දකිංට ලැබෙන එව්වත් හුඟක් වෙලාවට හිත කීරි ගැහෙන කතා.

                     *                          *                           *

"තෝ කාටද මේක ලිව්වේ?"

"තෝ කාටද මේක ලිව්වේ පෑලිස්.. කතා කරපිය."

                   තව වේවැල් පාරවල් දෙකක්. පස්සා පැත්ත කීරි ගැහිල යන වේදනාව දැනුනත් පෑලිස් ගල්ගෙඩිය වාගේ.

"තෝ මොකීටද මේක ලිව්වේ.. මට ඒකිත් පට්ටා ගහංට ඕනෑ. මෙතනම. කියාපිය තිරිසනා. අනික් එවුමුත් බලා ගනිල්ලා. මං දන්නවා තෝ කතා කරවන හැටි.."

                 තවත් වේවැල් පාර දෙකක්. ඒත් පෑලිස් නෙවෙයි කට අරින්නේ. දෙන්නෙත් එසේ මෙසේ පාරවල් නෙවෙයි. වෙන එකෙකුට නං හුජ්ජත් යන එව්වා. ලොකු මහත්තයා තරහිං වෙව්ලනවා.

"තොගෙ වයස කීයද? තව එක සැරයක් මෙහෙම එව්වා මෙතන වෙන්ට ඉඩ තියන්නෑ මං. මයෙ ඉස්කෝලේ නම්බුව කෑවා මේකා. ඇටෙං පොත්තෙං එලියට එන්ටත් කලිං..."

"මං ඇහැව්වේ තොගෙ ..."අයෙත් වේවැල් පාරක්.

"කීයද තොගෙ වයස බොල?"

                        *                         *                        *

                   පෑලිස්ට අවුරුදු දහතුනයි. හොර ලිව්මක් එක්ක ගුරුවරුංට අහුවුනා. මේ ගැන මහ කැටියක් ප්‍රශ්න අහල. කොල්ලගෙ අප්පටත් උත්තර බඳිංට වෙල. 
                   අන්තිම තීරණේ වුනේ කොල්ලා අස් කරංට. ඉස්කෝලෙං. අම්මා අප්පා අහිංසකයෝ. මෙහෙම එක්කට ගහ බැණ ගංටත් හයියක් නෑ. ඒත් උන්ටත් තමන්නේ පැටියා මැණිකක්. ගහල බැනල ගෙදර තියාන කංට බොංට දුන්නා. පුලුපුලුවං විදිහට.

                  කොල්ලා ටික ටික මහ දෙන්නත් එක්ක වත්තේ පිටියේ වැඩටත් ගියා. ගමේ කිසි කෙනෙකුන්නෙං නරකක් අහ ගත්තෙත් නෑ. හොඳක් විනා. වෙච්ච කරදරේ ගැන ලැජ්ජහයි. මුළු ගැන්නිලම ඉංට වැඩි කැමැත්ත. කරදඬුත් බලා ඉද්දී මෝරල ආවේ.

                  කල් යනකොට පැලිස්ගෙ පංතියේ හිටිය හුඟක් කොල්ලන්නේ ඉස්කෝල ගමන නැවතුනා. උන්නේ විතරක් නෙවෙයි ඩිංගිරීගෙ, පුංචිගෙ, බේබිගෙ එහෙමත්. හේනේ වත්තේ වැඩ කාලෙට, කුරහං කපන කාලෙට, වෙන වෙන වැඩට පොලට. කෙල්ලොංට නං වෙන වැඩ රාජකාරිත් තිබ්බා. කුරහං අඹරංට, නංගිලා මල්ලිලා බලා ගංට. තරාදි පඩි සැට් එක වාගේ බාල එවුං කී දෙනෙක් ඉන්නවද?  අවුරුද්දක් ගානේ වදපු එවුං. හොටු පෙරාගෙන, කහිරළු වෙච්ච ගවුං, කමිස කෑලි ඇඳගෙන, පණු බඩ ගෙඩි එලියට දාගෙන...

                   ඩිංගිරී ඉස්කෝලේ එවන්නෙ නැතුවට නං නඩුවකුත් වැටුනා. එදා ගම්සබා උසාවියට කෙල්ල එකතු කරගෙන ගියේ චීත්ත කෑල්ලකුත් පටලවා ගෙන. වයසත් බොරු ගානක් කිව්වා. එව්වා අයෙ කව්රුවත් හාගිස්සංට ගියෙ නෑ. නඩුව අහක දැම්මා. නඩුව දැම්ම නඩු මහත්තයත් ලොකු විරුද්දයක් පෑවේ නෑ.

                  ඉඳහිට දවසක පෑලිස්, මේ කෙල්ලෝ ඈතිං දැකල නං තියෙනවා. ඒත් මතක ඇති කාලේකිං කාටවත් කතා කරංට ගියේ නෑ. කතා කරංට පෑලිස්ගෙ හිතේ කෝං කමකුත් තියෙනවා. අර හොර ලියුං පලහිලව්ව හිංදා. උමුත් කොහොම හිතාන ඉන්නවද දන්නවායැ. කාලේකට ඉස්සර නං එකට සෙල්ලං කරලත් තියෙනවා. ඉස්කෝලේ යද්දී නං පෑලිස් උන්නේ වීරයා. උන්නේ විතරක් නෙවෙයි, පෙලක් කොල්ලන්නෙත්.

                  මේ කියන දවසේ ඔය කෙල්ලක් පෑලිස්ට මුන ගැහෙනවා අහම්බෙං. වැව ලඟ ආන්ඩුවේ රිසිවේසන් කෑල්ලෙදි. පෑලිස් නාංට යනකොට කෙල්ල නාල එනවා. කෙල්ල කරඹ මලක් කඩා ගංට හදනකොට කට්ටක් ඒකිගෙ ඇඟිල්ලක ඇනෙනවා. කොයි තරං වැඩපොල කෙරුවත් සිනිඳුවෙල රෝස පාටට තියෙන ඇඟිල්ලක.

                   ගස්සල අත පස්සට ඇන්න ඇංහිල්ල  කටේ ඔබා ගන්න කොටමයි පෑලිස්ගෙ කට හඬ ඇහුනේ. පටු පාර. කැලෑව. එක පාරම කෙල්ලට බයක් නොගිතුනා නෙවෙයි. ඒත් පෙන්නුවෙ නෑ. දන්න කියන එවුංනෙ.

"ඇනගත්තා නේද?"
"අනේ පෑ...ලිස් අයියා.... !"
"නංගී නාංට ගියාද?"
"ඔව් අයියා.. අප්පෝ කොච්චර කාලේකිංද! හිතල  ඇනගත්තා නෙවෙයි අයියා. අර කරඹ මල කඩා ගංට හැදුවේ."
"මං කඩල දෙන්නං... කෝ, එහාට වෙංට."

                        *                        *                        *

"අයියා එදා සූවිසි දවසකත් ඉන්නවා නං දැක්කා. පංසලේදිං. ඒ වුනාට අයියා ඉස්කෝලෙං පිට වුනාට පස්සෙම කතා කරංට ලැබුනෙ නෑ."

"ඒ දැං අවුරුදු පහ හයකට කලිංනෙ නංගී. මාත් ඉං පස්සේ  කතා කරංට ලොකු වුවමනාවක් ගත්තෙ නෑ. තවම ගමේ සමහර ඇත්තෝ මයෙ දිහා බලන්නේ මහ නරක කෙනෙක් හැටියටනෙ. ගමෙං යංට හිතිච්ච වාර අනන්තයි. ඒත් ඒක කරංට මට හිතෙන්නෙ නෑ. අම්මයි අප්පච්චියි... තව තව හේතු තියෙනවා."

"ඔව්... මට හිතා ගත්තෑකි. අර කෙල්ලත් ඉන්නවා නේද? අනේ අයියා.. මේ... මං.. විහිළුවක් කේරුවේ. ඒ කාලේ වාගේ ටොකු අනිංට එහෙම බෑ ඔන්න."
"ඇයි...?"
"දැං අපි පුංචි එවුං නෙවෙයිනෙ.... "
"ඇත්තට අපි ඒ කාලේ කොච්චර විහිළු කර ගත්තද... හිනා වුනාද නේද? තවම මේකිගෙ කට නං ඒ වාගේමයි."

"අයියට වෙච්ච එක ගැන අපිට හරියට දුක හිතුනා."
"ඔව්වා ඔහොම තමා. පව් ගෙවිල ඉවර වෙනකල්.."
"අයියා ඇත්තටම ඒ ලියමන ලිව්වේ කාට දෙංටද?"
"අනේ නංගී ඔය ලියමන... ලියමන... කොයි තරං, කී දෙනෙකුට උත්තර කිව්වද... දැං ඒ කතා වැඩක් නෑ."
"ඒ වුනාට ලොකු මහත්තයට නොසෑහෙංට තරහ ගියාලු. වැඩියෙංම ඔන්න ඕක කිව්වෙම නැතුවටලු. ඉතිං දැංවත් කියංටකො. ඉස්කෝලෙං වාගේ ගෙදරිං පන්නා ගනියි කියල බය වෙංටයැ."

"ඔය ඇඟිල්ල රෙදෙනවද?"
"ඒක නෙවෙයි මං ඇහැව්වේ."
"ඒක නෙවෙයි.. මං ඇහැව්වේ අර ලියමන ලිව්වේ කාට දෙංටද කියල. ලොකු මහත්තයා අයියට ගහන කොට අපිට ඇඬුනා."
"වෙන කව්ද ඇඬුවේ..?"
"තව.. .... මට දැං හරියෙට මතකත් නෑ. ඒක නෙවෙයිනේ මං ඇහැව්වෙ..."
"මේ ලියමනක් අල්ලාගෙන දඟලනවා. කියංටකෝ දැං මොනවද කරන්නේ.. අයෙ ජේස්ටේ.."
"ඔය බොරු කතා එපා. හා.. හා.. කමක් නෑ එක්කෝ කියංට බැරිනං."
"ඔව් අප්පා, මෙතන ගොඩක් වෙලා හුටු හුටු ගගා ඉඳල කව්රුවත් දැක්කොත් අයෙ ගමපුරා පදයක් හැදෙයි. අපි දැං යං නංගී.."
"හොඳයි අයියා.. එදත් ඕක කියන්නෙ නැතුවනේ ඔය හැටි ගුටි කෑවෙයි. ඉස්කෝලෙමුත් අස් වෙංට වුනෙයි, ඔක්කොම. අයෙ මං කරදර කරන්නෑ."

                   පෑලිස් අතේ තිබ්බ කරඹ මල් කිනිත්ත එයාගෙ නහයට කිට්ටු කෙරුවා. 

"හා.. හා.. එපා. ඔය එක එක මල් ජාති වල සුවඳ බලංට හොඳ නෑ. එව්වේ ඉන්න පුංචි පුංචි සත්තු නහයෙං ගිහිං පෙනහලු වලට යනවා. ඒක හරි බයානකයි."
"අප්පා මේකී පැහිල ඉන්න තරං.... පෙනහලු වලට නං කමක් නෑ. අර මොකක්දෝ තව වස්තුවක් තියෙනවා කියන්නේ, අන්න ඒකට තව මොකියක්.. නෑ නෑ.. මොකෙක් හරි රිංගා ගත්තෙ නැත්තං ඇති."
"ඒ කියන්නේ දැනටමත් එකියක් රිංගාන ඉන්නේ?"
"ඔන්න ඔය කොනකට වෙල ඉන්නවා වාගේ දැනෙනවා.."
"හ්ම්... අර ලියුම දෙංට හිටිය වාසනාවන්ති වෙංට ඇති. මේ.. ඒක නෙවෙයි, අයියා කොහෙං හරි කතා පොත් කියවනවා නේද? හොරෙම්ම ඉස්කෝලේ පුස්තකාලෙටවත් යනවද?"

"ආ මෙන්න මේ මල.... හොඳයි... නංගී, මං අර කව්ද කියල කියන්නං. හැබැයි මට පොරොංදුවක් වෙංට ඕනෑ. වෙන කිසි කෙනෙකුට කියන්නෑ කියල. මොන හේතුවක් හිංදාවත්.. කිසි කෙනෙකුට කියන්නෑ කියල"
"කපල ගඟේ දානවා කිව්වත් කියන්නෑ අයියා."

"නංගී... මං, ඒක ලිව්වේ කාටද.. ?  ඔව්... එදා මං ඒක කිව්වා  නං... මේ ලෝකේ හසරක් දන්නැති... ඔව් මේ ලෝකේ හසරක් දන්නැති නංගිත් හොඳටම ගුටි කනවා.. නංගිගෙ ඉස්කෝල ගමනත් එතනිං නවතිනවා..."
"අයී..යා......"
"හා දැං යංට... හෙටත් මං මේ වෙලාවට නාංට එනවා.. නංගී අකමැත්තක් නැත්තං එංට. කියංට තියෙන දෙයක් එතකොට කියංට.."

                                                  simple "s"
2018.12.22

Tuesday, December 18, 2018

උඩගෙදර කතා 109 (ලිං කටෙං වැටුන එකා... 01)

ළිං කටෙං වැටුන එකා..   01. 
 

"කුහුඹුවකුගේ ඇසක් තරමේ
නුඹේ ඔය ගතටත්
හදවතක් ඇති සැඟව...

පුංචි ඇසිල්ලකට වරක්
ගැහෙනවත් ඇති රෑ දිවා
යම් රිද්මයකට...

ඉඳහිටක මොහොතක්
නතර වෙනවත් ඇති
රිද්දවුනු වෙලාවක!"

                  මල්ලී ඉරල දාල තිබ්බ කොල කෑල්ලක එහෙම ලියල තිබුනේ. කෑලි ටික එකතු කරල ඒක  බලාගංට මට ඩිංගක් මහන්සි වෙංට වුනා. මේ වචන ටික මෙහෙම ලියංට මල්ලී ඊටත් වැඩිය මහන්සි වෙල තිබ්බා. හුඟක් වචන කීප සැරේ කපල ලියල. අයෙ කපල.. අයෙ ලියල. එහෙම කරලත් ඉරල දාල.

                   මයෙ මල්ලී මෙහෙම එකක් ලිව්වේ ඇයි? ලියල ඉරුවේ ඇයි? ලියංටත් හේතුවක් ඇති, ඉරංටත් හේතුවක් ඇති...

                *                            *                          *

                   මොකද්දෝ ඉවක් නං දැනෙනවා. ඒක ඒ තරං හොඳ එකක් නෙවෙයි. එහෙම හිතංටවත් මට හිතෙන්නෑ.

                   කොල්ලා මයෙ ඉස්සරහ හෙලිකොට්ටෙං ඉන්න එක නවත්තල තවම මහ කාලෙයක් නෑ. දවසක් සරම ඉරිල.
"ඕං දුංකුඩ්ඩා එලියේ." ඉඳගෙන ඉන්නකොට මං කිව්වා. එයාට ලැජ්ජා හිතුනා. ඒක මට දැනුනා.
"ඒක ඉරුනා. අපෙඅම්මා මහල දෙන්නං කිව්වා."

                    අන්න එදා තමයි ඒ කතා නතර වුනේ. ඒ  වුනාට ඒ පැත්ත ගැන කියංට තියෙන එකක් මටම තමයි කියන්නේ. ලඟදී දවසක් කිව්වා පන්තියේ ළමයෙක්ගෙ ඒ පැත්තේ බෝලයක් වැදිල අමාරු වුන හැටි.
                   ඊටත් පස්සේ දවසක මයෙ මල්ලිට හරි වැඩක් වුනා. අප්පච්චියි මායි එක්ක හේනට ගියා. කොහොම හරි කින්තුලෙක් මෙයාගෙ ඇඟේ කාල. එයත් දැකල තියෙන්නේ පහුවදා උදේ. ඇඟ ඩිංග හොඳටම ඉදිමිල. කොල්ලා බය වුන පාර ඇවිත් ගැහි ගැහී මට කිව්වේ. මං ඉතිං හිතත් හදල පොල්තෙල් ඩිංගකුත් ගෑවා. කාටවත් කිව්වේ නෑ. ඒක මල්ලිත් දන්නවා.

                  ඔය ටිකක් කාලේකට කලිං තමයි. ඒත්  අන්න ඒ වාගේ මයෙ මල්ලී මේ මහ හපනෙක් වෙල තියෙන්නේ!

                                                       simple "s"
2018.12.19

Sunday, December 16, 2018

උඩගෙදර කතා 108 (සෙනෙහස..)

නුඹ එහෙම සිතුවාට මට තාම        කැකුළක්
අප නිවස රුව කරන සුවඳ මල්      ගොමුවක්

900 

උඩගෙදර කතා 107 (සෙනෙහස)

අපෙ වස්තුව...
2007.01.22
අපේ වාසනාවන්ත ඒ දවසෙයිි..
අදයි...

උඩගෙදර කතා 106 (සෙනෙහස)

එයා වත්සලා මදුමලී. ඒත් අපි සේපාල එකනායක කියන්න...හේතු ගොඩක් තිබුනා. පළමු වැන්න...මේ සුපසාන්ත විලාශය..!

අදට හතලිහක්... ලේසි නෑ... මට නම් තවම හතරයි... ඒකයි මේ සේයාව!

මයෙ දුවට දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි රැකවරණයි!

2018.07.08