Saturday, November 17, 2018

උඩගෙදර කතා 06 (කිරිමුල්)

                                  "කිරි මුල්"

මගේ අප්පච්චිගෙ කෘෂිකර්ම (ප්‍රායෝගික) පාඨමාලාවෙන් ..                             (අංක 06)
                
                                
                   එදා අපි වත්තට ගියේ මිරිස් ගස් වලට පස් දාංට. අප්පච්චියි මායි දෙන්නම උදුළු වලට වැන්දා.. මට ඉස්සර වෙල ටිකක් බලාගෙන ඉංට කිව්වා.. අප්පච්චි මිරිස් ගස් අතරේ වල් පැල උදුළු ගානවා.. ඒ අතරෙම උදැල්ලෙං ඒ තැං වලිං පස් එකතු කරල මිරිස් ගස් මුල ගොඩ ගහනවා.. මිරිස් ගස් ලඟ උස වල් ගස් අතිං ගලවන්නෙ..

                 මාත් උදුළු ගාංට පටං ගත්තා.. මගෙ අතිං උදැල්ල මිරිස් ගස් වලට ළං වෙනවා වැඩී.. පළවෙනි මිරිස් ගස් දෙක මාතිං කැපුනා.. අප්පච්චි දැක්කෙ නෑ..  ටික වෙලාවකිං ඊළග ගස් දෙකත් කැපුනා.. අප්පච්චි දැක්කෙ නෑ.. ඒ වුනාට ...

"මිරිස් ගස් ලඟටම උදැල්ල ඇන්න යංට එපා.."
       
                 අප්පච්චි දැක්කෙ කොහොමදෑ .. මට හිතා ගංට බෑ.

"මෙහෙම ගස් වලට පස් දාංට ඕනෑ දවස් කීයෙංද අප්පච්චි?"  මං ඇහැව්වා..
"පැල හිටුවල.. හැදුං රෝග ... "
"ඒ කියන්නේ අප්පච්චි..?"
"හිටුවපු පැලයක් ටික දවසක් යනකල් කලිං හිටුවපු පැලයක් හරි ගැලෙව්වෙම නැති පැලයක් හරි වගේ නෑනෙ.. මැලවිල. අන්න ඒකට කියනවා හැදුං රෝග කියල..."
"පස් දාන්නේ හැදුං රෝග ඇරිල පැලේ සරු වුනාම. ඒ කාලේ වෙනකොට දෙපෙත්ත දෑලේ පැලෙං එලියට කිරි මුල් ඇවදිමුත් තියෙනවා පේනවා.. තක්කාලි බෝංචි වගේ පැලවල එහෙම.."
"කිරි මුල්..?"
"පැලෙං එලියට ඇවිත් සුදු පාටට තියෙන මුල් වලට කිරිමුල් කියනවා.. එව්වා සුදු පාටයිත්නෙ.."
"ඔව්. ඔව්.. ගල් වැටේ තියෙන තක්කාලි පැලේ පොලොවෙනං උඩ හරියේ සුදු පාට මුල් තියෙනවා තමයි.."
"ඒ මුල් අල්ලා ගංට පස් හොයනවා ඒ.. ඔන්න ඒ වෙනකොට පස් දාල තියෙනවා නං අලුත් පෝරත් උරාගෙන පැලේ සරු වෙනවා.."
"අප්පච්චි.., අපි ඉස්කෝලේ වතු වැඩ කරනකොට.. කිව්වා කොල පෝර එහෙම පැල මුලට දාල පස් දානවා නං වැඩිය හොඳයි කියල.."
"ඒක ඇත්ත මයෙ පුතා. අලුත් මුල් වලිං රසේ උරා ගංට.. මේ කරන වැඩේ ප්‍රයෝජන දෙකයි මයෙ පුතා. උවමනා ගස් මුලට පස් දානවා වාගෙම වල් ගස් අහක් වෙන එක.. "
"ඒ වල් ගස් තිබුනොත්...? "
"අනික් වල් ගස් තියෙනකොට මේ ගස් හැදෙන්නෑ.. එක්කෝ බාල වෙනවා.. හේතුව..., වුවමනා ගස් වලට ඉඩ මදි වෙනවා.. ඒවට උරා ගංට තියෙන පෝර රසේ වල් ගස් හොරකං කර ගන්නවා... "
"හැම ගහකට වැලකටම පස් දානවද අප්පච්චි.."
"ඔව්.. ඔව්.. "
"එක සැරෙයයිද පස් දාන්නේ ගහකට.."
"නෑ.. නෑ.. ලොකූ ගස් නෙවේ.. මේ වගේ එව්වා තව පලගන්නවා නං... මුල් පෑදිල නං.. තව දෙතුං සැරයක් හරි දානවා.."
"ඉතිං අප්පච්චි අපි මෙව්වට එහෙම පස්නොදාම හිටියොත් මොනවා වෙයිද... ?
"ම්..ම්.. මං අද අම්මට කියනවා මයෙ පුතාට කංට බොංට දෙංට එපා කියල.."
"අම්....මෝ... මට ලෙඩවෙල...මැරිලත් යයි..
හා... මට තේරුනා.. මට තේරුනා...අප්පච්චි"
"මයෙ පුතා... එහෙම කතා.. මං මැරෙනවා වගේ එව්වා කියන්නෑ... හොඳ නෑ. දැං ඉස්කෝල නිවාඩුව ඉවර වෙන්ටත් ලඟයිනෙ.. ඉතිං ... "
"නෑ නෑ.. අප්පච්චි මං නිවාඩු දවස් වල අප්පච්චිත් එක්ක වත්තට තව එනවා.. අපෙ කුඹුරට ගියෙත් එක දවසයිනෙ... අප්පච්චි කිව්ව 'අනුග' ගැනයි 'දොහොයි'
ගැනයි අහ ගංටත් බැරි වුනානෙ..."එව්වා පස්සේ කියලා දෙන්නං ...  මයෙ පුතා එව්වා අහංට ආසා හිංදා..."
"අහංට විතරක් නෙවෙයි... රහ බලංටත් අප්පච්චි..."

                                                          simple "s"
2017.11.07

No comments:

Post a Comment