Sunday, November 11, 2018

උඩගෙදර කතා 40 (විවේක 01)

ඔ9"විවේකා"    01

අපෙ වෙද මහත්තයා.        5 කොටස

"මාම කැච්චක් හොඳමැයි.. වෙද හූරා.. "

              සෙං උනට බේත් ටිකක් ඇන්න පාත් කුඹුරේ උපාසක උන්දෑ ගියා විතරයි.. බෙහෙත් කාමරේට ඇතුළුවුනේ අමුතුම අමුත්තෝ දෙන්නෙක්. මට උංහිටි තැං අමතක වුනා. නිල් පාට සායකුයි රතුපාට කොටු කොටු අත්කොට කමිසේකුයි ඇඳ ගත්ත සුදු නෝනා කෙනෙකුයි පොරෝ කෙටියක් කරේ එල්ලා ගෙන, අඹුඩයක් ගහ ගත්ත, හිනාවක් කියල එකක් මූණේ ගෑවිලවත් නැති, නිකටේ විතරක් දිග රවුලක් තියෙන වැද්දෙකුයි.! මං ගෙට යංට නැගිටිංට හදනකොට,
"නෑ නෑ මයෙ දුව ඉංට." කියල අප්පච්චි කිව්වා.

                 ඒ දෙන්නා දකින කොට අප්පච්චි නැගිටල අත් දෙක ටිකක් ඈත් කරල ඉස්සරහට දික් කෙරුවා.. අල්ල උඩු අතට හිටිංට. වැදි මනුස්සයා එයාගෙ අත් දෙක කනපිට හරවල අප්පච්චිගෙ අත් දෙක අල්ලාගෙන ගස්ස ගස්ස තමයි අරහෙම කිව්වේ. අප්පච්චිත් එහෙම කිව්වා.. සුදු නෝනා, අපි පිට කෙනෙකුට ආචාර කරන විදිහට අත් දෙක එක්කරල, ඒ කිව්වේ වැඳගෙන, ඔලුව පාත් කෙරුවා. ඊට පස්සේ ඇඟිලි දිගෑරිය හුරු අතේ අල්ල පපුවට තියල "ආයු..බෝ..වන්! මම.. විවේකා." කියල කිව්වා, නුහුරු සිංහලෙං. අප්පච්චිත් අත් දෙක එකතැං කරල  "ආයුබෝවන්" කිව්වා.
"මේ ඇත්තෝ අහරෙට මංගච්චමු වන්නියලැත්තෝ.."

               ගෙනාව මලු දෙකත් ඇන්න අමුත්තෝ දෙන්නත් අප්පච්චි පස්සෙං වැටිල ආවා. එතකොටයි අපි දැක්කේ තව සුදු මහත්තයෙකුයි වැද්දෙකුයි එලියෙත්, කොස් ගහ යට ලෑල්ලේ ඉඳගෙන ඉන්නවා. ගමේ ලොකු පොඩි  කීප දෙනෙක් ඒ අය වටේ...
"වෙද හූරා .. මේ සුදු නෑනිට වෙද ඇත්තෝ මංදෝ වෙන්ට හිත්ලාල. මේ ඇත්තංටත් ඔයෙ ඇත්තෝ මාම කැච්චක් දවස් මැච්චකිං මංදෝ වුනා කොදුයි. ඉතිං මේ ඇත්තංටත් මේ අවුසද පොජ්ජත් ඇන්න මංගච්චංට හිත් ලෑවා."
"මාම කැච්චක් හොඳමැයි." අප්පච්චිත් කිව්වා.

              මේ වෙනකොට අප්පච්චි ඒ වැදි බාසාවෙං කියන එව්වා මටත් තේරුම් කරනවා. ඒක වැදි මනුස්සයත් තේරුං ගෙන ඒකට වෙලාව දිදී තමයි කතා කෙරුවේ..
"මයෙ දුව ඉස්සර වෙලම ඒ කෙරුවේ ආචාර කරන එක..'බොහොම හොඳයි.' එහෙම නැත්තං 'බොහොම කැමතියි මුණ ගැහුන එකට' කියල ඒ කිව්වේ. ඊට පස්සේ කිව්වේ ..'මේ සුදු නෝනට වෙද මහත්තයා මුණ ගැහෙංට ආසා හිතිල. මාත් බොහොම දවසකිං  දැක්කෙ නෑනෙ. ඉතිං මේ අවුසද ටිකත් ඇන්න මටත් එංට හිතුනා.' කියල."
"වන්නියලැත්තෝ..මාම කැච්චක් මහන්සි පොජ්ජත් මංදො වෙනවා ඇති. මේ නෑනිලැත්තංටත්. ඉතිං තේ රාච්චා තැනමක් කැවිල්ලාන කතා දමමු." ("ඔය ඇත්තංටයි සුදු නෝනටයි හුඟක් මාංසිත් ඇති. ඉතිං තේ වතුර ටිකක් බීල කතා කරමු.")

               එලියේ හිටිය දෙන්නටත් එන්ට කිව්වා.
"මලාලිය පොජ්ජයි මොරියං කැච්චයි ඇන්න මංගච්චංට.." ("දුන්නයි ඊතලෙයි ඇන්න එංට") වැදි මනුස්සයා ඒ ඇත්තංට කිව්වා.

               ගෙදර තිබ්බ ඉස්කෝතු පෙට්ටියකුත් කැඩුවා. ඉරිඟු අග්ගලත් තිබ්බා. අර අම්මලා ගෙනාව දේවලුත් තිබ්බා. උඳු වැල්, කොණ්ඩ කැවුම්, අළුවා...! සුදු නෝනයි මහත්තයයි ඉස්කෝතු වලට අතවත් තිබ්බේ නෑ. කැමති වුනේ අනික් එව්වට. 
"දීස් ආ වෙරි ඩිලිෂශ්. යූ නෙව ගෙට් දෙම් ඉන් ස්වීඩ්න්."
"වයි ඩෝන්ට් යූ ට්‍රයි දිස් ඕල්සෝ..?"
"අයි ෆීල් වෙරි ශයි.. බට් අයි විල් නොට් මිස් එනි. දීස් ප්ලාන්ටන්ස් ආ නොට් වට් වී ගෙට් ඉන් ද.ම්.බාන. ටේක් වන්."

                  සුදු දෙන්නා ඔන්න ඔහොම කිය කිය කෑවා. වැදි දෙන්නත් හැම දේම කෑවා. ඊට පස්සේ තේ වතුරත් බීවා. සීනි දාල හදල තිබ්බේ. 
    
                  සුදු නෝනා අයෙත් මුලිං වාගෙම එයාගෙ පපුවට අල්ල තියල "මම විවේකා.. යුව නේම්? නම්..ම..?" කියල මට ඇඟිල්ලක් දික් කරල ඇහැව්වා. අහන්නේ මයෙ නම කියල මට තේරුනා. මං කිව්වා "රෝහිණී" කියල. හැබැයි මට හිතුනා එයා එයාගෙ නම නං කිව්වේ බොරුවද්දෝ කියල. ඒක සිංහල නමක්නෙ. විවේකා..!
"රෝහිණී..! වෙරි ස්වීට්.." කියල එයත් කිව්වා.

"මේ දවස් මැච්චේ කදාර්නිග දිය තන පොජ්ජ.. කඳපල්ලිග දිය තන පොජ්ජ මාමකැච්චක් මන්දො වෙනවා."
(මේ දවස්වල මී පැණි..බඹර පැණි බොහොම ලැබෙනවා.)

"මේ ඇත්තෝ මේ අවුරුදු මැච්චේ සාසන ගං පොජ්ජේ පෙරෑර පොජ්ජත් මන්දො කරල වන්නියලැත්තොත් මංදෝවෙල මංගච්චංට හිතාගෙන ඉඳතබව්වේ, ඒ ගමංම කදාර්නිග දියතන පොජ්ජයි අවුසද පොජ්ජයි ඇන්න මංගච්චන්ට."
("මමත් මේ අව්රුද්දේ මයියංගනේ පෙරහැරත් බලල  ඔය ඇත්තොත් බලල මී පැණියි අවුසදයි ඇන්න එන්ට හිතාගෙන හිටියේ")
"වෙද ඇත්තෝ මොනේකට මංගච්චනවද? මේ ඇත්තංට පණිවිඩ පොජ්ජක් මන්දො කෙරුවා නං මේ ඇත්තෝ මෙහෙට්ට මංගච්චනවානේ."
("වෙද ඇත්තෝ මොකට එනවද. පණිවිඩයක් එව්වා නං මං එනවානෙ.")
"බුලු රුකං පොජ්ජේ නං මේ මැච්චට ගෙඩි පොජ්ජ කොදුයි. අරළු පොජ්ජ තියෙනවා. බිං කොහොඹ පොජ්ජ කබරා ඇත්තංගෙන් කංකුනා ඇත්තංගෙං පරිස්සං පොජ්ජ මංදෝ කරංට අමාරු. ඒත් තැනමක් මන්දොවුනා."
("බුලු ගස් වල මේ දවස් වල ගෙඩි නෑ. අරළු තියෙනවා. බිං කොහොඹ මුවාගෙං ගෝනගෙං පරිස්සං කරංට අමාරුයි. ඒත් ටිකක් තියෙනවා.")
"හොදමැයි.." අප්පච්චිත් කිව්වා.
"මේ බෙහෙත තුවාලේ වට අතුල්ලංට ඕනෑ. තුවාලේ උඩ ගාංට එපා. දවස් දෙකක්."

               කොල කෑල්ලක ඇඳලත් පෙන්නුවා තුවාලෙයි, ඒක බේරෙංට බෙහෙත් ගාන විදිහයි. බේත් පාවිච්චි කරන විදිහ අප්පච්චිට පුලුපුලුවං විදිහට කියල දුන්නා, සුදු නෝනටයි වැදි මනුස්සයටයි දෙන්නටම..

"තලා ගංට, මිරිකංට එපා. සැරව ඉබේම පිටට එයි. ඇල් වතුරෙං නොතෙමා බේරා ගංට ඕනෑ. උණු කරපු වතුර ලා රස්නෙට ඇන්න තුවාලේ හෝදන්නේ, දවසට එක සැරයක්. දවස් දෙකට පස්සේ මේ පුංචි කුප්පියේ තෙල් ගාංට දවස් දෙකක් උදේ හවා. ඒකත් තුවාලෙට එපා. ඊට පස්සේ ලොකු කුප්පියේ තෙල් ගාංට තුවාලේ උඩත් එක්කම..උදේ හවා. දවස් දෙක තුනක්. තුවාලේ වේලෙන්නේ නැත්තං ඊට වැඩි වුනත් කාරි නෑ. ඒ දවස් දෙකේ ඉඳල නෑවට කමක් නෑ.. මේ තෙල් තුවාලේ සනීප වෙංටනෙ. ඉස්සර වෙල එව්වා කොස්ස විසිරිල සැරව යංට. ඒ දවස්  දෙක යනකොට ඔක්කොම ඇරෙයි."
"කරුකුරු ගච්චල ඇනඋකාලංට පුළුවන් නං මාමකැච්චක් හොඳ වාගේ, හූරා" ("ලියල දෙංට පුළුවන් නං හුඟක් හොඳයි.") වැදි මනුස්සයා කිව්වා.
"හොඳමැයි." අප්පච්චි ලියලත් දුන්නා.

                 ඉදල හිටල සුදු නෝනත් සිංහල වචනයක් දෙකක් කිව්වා. එක වෙලාවක අප්පච්චි මට මෙහෙම කිව්වා.
"ඔයෙ දෙවෙනි තෙල් ටිකත් දෙමු. ඒත් ඔයෙ පලවෙනි තෙල් ටිකෙංම ඇරෙනවා."

                  එතකොටම සුදු නෝනා එක පාරම කිව්වා..
" මැරෙනවා.. නෑ.. නම් අපි එනවා.." කියල. වැදි මනුස්සයා වැරැද්ද හැදුවා. " 'මැරෙනවා නෑ' .. කොදුයි. මැරුනේ කියල කතා දමන්නේ  .. 'මියඹට දමනවා'. "  ( 'මැරෙනවා නෑ නෙවෙයි. මැරෙනවා කියන්නේ පන යනවට."), මේ කතා දමන්නේ 'සනීප පොජ්ජ මන්දෝ වෙනවා' කියල.. 'ඇරෙනවා.. ඇරෙනවා.. ' ("මේ කියන්නේ 'සනීප වෙනවා.. ඇරෙනවා..' ) කියල."
              "සොරි.. සොරි.. " කියල සුදු නෝනා තව  මොනවදෝ මොනවදෝ දුකෙං වාගේ කිව්වා.
"හරියෙට නොදන්න බාසා වලිං බෙහෙත් කියන එක බොහොම අසීරුයි මයෙ දුව..."

                                   ('විවේකා 2 ට..')

                                        simple "s".
2018.03.16
             

No comments:

Post a Comment