Saturday, November 17, 2018

උඩගෙදර කතා 32 (මව් මරා උපන් කුමරා)

                             

                            "මව් මරා උපන් කුමරා... "

උඩගෙදර කතා    32

"මෙන්න වැඩක්! නාකි දන ගානවා.ඉලංදාරියෙක් වුනාමත් ඔහොම ලොකු අත්තා එක්ක හුරතල් වෙවී ඉංටද හිතාගෙන ඉන්නේ?"

"අත්තම්මට වැඩක් නෑනේ.."
"ඒක තමයි... ඒක අපි දෙන්නා බලා ගන්නං නේද මයෙ පුතා.."
"බලා ගන්නං තමයි.. දුව ඊයේ පෙරේදත් නෝක්කාඩු කිව්වා.. අප්පච්චි හින්දා තමයි කොල්ලා හදාගන්ට නැත්තේ කියල."
"මේ වැස්සේ හීතලේ මයෙ පැටියා මොනවා කරන්ටද.. ඔහෙ තුරුල් වෙලා හිටපුදෙං..."

"මේහ්.. මං කියන්ට ආවේ... එලවලු මොකවත් නෑ ගේ හරියක. මේ වැස්සේ කඩවල් ගානේ යන්ටයැ. අලුකෙහෙල් ගෙඩි කීපේකුයි කැකිරි ගෙඩියකුයි තියෙනවා.. එච්චරයි."
"අපෝ ඒ මදෑ.. දවල් වෙනකොටවත් වැස්ස ටිකක් තුරල් වෙයිද බලමුකො.. දැන්නං කඩවල් ගානේ.. මඩ චරිප්පේ මට බෑ යංට.."
"නෑ.. නෑ.. මාත් කිව්වේ ඒක තමයි. එහෙනං අලුකෙසෙල් ගෙඩි හදනවා.. "
"ඔව්.. අලුකෙහෙල් ගෙඩියි, අර තෙල් දැමිල්ලයි, පරිප්පුයි, ආයෙ... සෝයා මීට් ටිකක්."
"අලු කෙහෙල් ගෙඩියි පරිප්පුයි?"
"ආ... ඒකත් හරි, එහෙනං අලත් බෑනේ. ඔන්න ඔය  අනික් තුන ඇති. ඔයා කියලා මොනවා කරන්ටද!"
"දුවලටයි පැටියටයි තව මොනවා හරි හදන්ට කියන්නං. ඉස්ම මොකුත් නැති හින්දා අලු කෙසෙල් සුදට තමයි හදන්ට වෙන්නේ.."
"හැබැයි උලුහාල් සේරුවක් විතර දාන්ට එහෙම එපා."
"ඉතිං පිඟාන වටේ අලවන එකනේ තියෙන්නේ.!"
"ඒ වුනාට ඊලඟ වේල වෙනකල් අහුලන්ට එපායැ ."

"ඇයි ලොකු අත්තා කැකිරිත් තියෙනාවා කිව්වනෙ. "
"මයෙ පුතා මෙහෙම සීතල දවස්වල කැකිරි පුහුල් කරවිල වාගේ සීතල කෑම ඕන නෑ. ඔය කිව්වට අත්තම්මා මොනවා මොනවා හරි හදයි. ඉන්ටකෝ බලන්ට!"

"ලොකු අත්තා තෙල් දාන්ට මොනවත් තියෙනවා කියල අත්තම්මා කිව්වෙ නෑනෙ. ඉතිං මොනවද තෙල් දාන්නේ..?"
"මයෙ පුතා ඔය අලු කෙහෙල් පොතු සැහැල දාන එව්වා අත්තම්මා ලියලා ඉඳහිට තෙල්දානවා. මම නං හරි කැමතියි. මයෙ පුතාට නං දෙන්නෙ නෑ වෙන්ට ඇති."
"අද මාත් කන්නංකො. ඒ වාගේ වෙන මොනවද අහක යන එව්වා වෑන්ජන හදන්නේ?"

"ආයෙ මට මතක් වෙන්නේ .. වැටකොලු පොතු විතරයි. එව්වත් අර වාගෙම ලියලා අරං තෙල් දානවා. බටු නැට්ටේ පොත්තයි ගෙඩිය වටේ තියෙන කොටසයි බටු තෙල් දාන එකටම එකතු කරනවා. තව අර කොස් හිවිඩි පපඩම් වාගේ බදිනවා. ඔව්වා පුතේ තාම ගොඩේ කෑම හැටියට තමයි සලකන්නේ.!"

"අලු කෙසෙල් ඇර වෙන මොන කෙසෙල් ගෙඩිද උයන්ට ගන්නේ ලොකු අත්තා.."
"මයෙ පුතා දැකලත් නැතිව් ඇති. සුරු මුන්ඩං  කියල‍යි දිය මුන්ඩං කියලයි දෙවගයක් තියෙනවා. එව්වත් ගන්නවා. අලුකෙහෙල් තරම්ම රහ නෑ."
"ඇයි මෙව්වට අලු කෙසෙල් කියන්නේ?"
"එව්වේ අතු මුල, කරටියේ එහෙම අත් වලත් එක්ක  ගෑවෙන අලු තියෙනවනෙ, ඒකයි. ඔය ගැනත් පරන
කතන්තරයක් තියෙනවා. වයසක අම්මා කෙනෙක් බඩගිනි වෙලා පුතෙක්ගෙ ගෙදරට ගියාලු. ඉතිං පුතත් එක්ක යේලී හූසල් බත් හදලා ගිනි රස්නේ පිටිං අර අම්මගෙ කටට දැම්මලු.. දැවිල්ල ඉවසා ගන්ට බැරුව ඒ අම්මා දුවලා ගිහිං වත්තේ තිබුන කෙසෙල් ගස් බදා ගත්තලු. ඒ ගස් පිච්චිලා හැදුන අලුලු ඔය.."

"පිස්සු කතා.."
"නෑ.. නෑ.. මයෙ පුතා ඉස්සර ඔයවාගේ දුක හිතෙන කතා වලිං කියල දුන්න උපදෙස් තියෙනවා. මේකෙං කියන්නේ වයසට යනකොට මව්පියන්ට හිරිහැර නොකර හොඳින් සලකන්ට කියන එකනෙ."
"ඔහොම නෙවෙයි ඇත්ත කියල හිතන්ට පුලුවන් කතා හිතට දැනෙන විදියට හදලා හරි කියනවා නං හොඳයිනෙ ලොකු අත්තා."
"ඒක ඇත්ත.. දැන් ළමයින්ට ඔහොම බොරු ගොං කතා, උපදේශ කියමන් එහෙම හරි යන්නේ නෑ."

"අලු කෙසෙල් ගෙඩි සුදට හදනවා කිව්වනෙ. වෙන කොහොමද හදන්නේ?
"තෙල් දානවා. හීනියට ලියලා අරන් සම්බෝලයක් දාලා මැල්ලුම හදනවා.. හැබැයි තෙලුත් දාන්ට ඕනෑ, ආයෙ බැදලා උයනවා. ඕවා තමා දැනට මතක් වෙන්නේ. හොඳට ගැඹුරු තෙලේ බැදලා පපඩම් වාගේ ගත්තමත් හරි රසයි. එව්වම අමු මිරිස් ලූනු තක්කාලි ලුනු දාල කලවං කර ගත්ත සලාදෙත් හරි හොඳයි."  

"ඇයි ලොකු අත්තා අලු කෙසෙල් ගෙඩි අනික් එව්වා වාගේ ඉදවන්නෙ නැත්තේ?"
"ඉදිච්ච අලු කෙහෙල් ගෙඩි අනික් එව්වා වාගේ රහ නෑ. ඒ වුනාට පුදුම ගුණයක්ලු. ඒකනෙ ගෙදර ගෙනාවම මෝරලා පාට වැටුන අලු කෙහෙල් ගෙඩි හාල් පෙට්ටියේ දාල තියල හොඳට ඉදුනම අත්තම්මා මයෙ පැටියටම කවන්නේ."

"කෙසෙල් ගෙඩි කිසි අගුණයක් නෑ නේද?"
"එහෙමම කියන්ටත් බෑ. ඔය ලේවල සීනි වැඩි අයට හොඳටම ඉදුන කෙහෙල් ගෙඩි කන්ට හොඳ නෑ. අලු කෙහෙල් වුනත් පිරිමි අයගෙ හයි හත්තිය අඩු කරනවා කියනවා. වෙන නං කියන්ට වරදක් නෑ. ඇඹුල්, ආනමාලු දෙවගේ සෙම් කාරකයි. ඒත් ඇඹුල් බඩ වේලීම තියෙනකොට හරිම ගුණයි. කෝලිකුට්ටු ගුණෙන් ඉහලයි. සීතලයි . හැබැයි බඩ වේලවනවා."

"ඇත්තටම වැඩියෙන් හොඳ මොන කෙසෙල්ද ලොකු අත්තා?"

" හ්ම්.. කෝලිකුට්ටු  තත්වෙං ඉහලයි.! හිතවත් අයට ගෙනියන්ට සලකන්ට කෝලිකුට්ටු, ඇම්ඹුං, තමයි ගන්නේ. ගස් උස යන්නෙ නෑ නැව් කෙහෙල් වලයි බිං කෙහෙල් වලයි. ඉස්සර තිබ්බා වතුපාලු, රබර් කියලා දෙජාතියක්. කිසි කෙනෙක් ගනං ගන්නෑ. දැං සීනි කෙහෙල් කියල තියෙන්නේ අන්න එව්වම වෙනස් වෙලා ඇවිත්. රහෙං අඩුයි. පූවාලු සුවඳෙල් දෙකත් හොඳයි. වල් සුවඳෙල් කියලත් වර්ගයක් තියෙනවා. රත් කෙහෙල් කියන එව්වා තද රතු පාටයි. රහෙං  කෝලිකුට්ටු වාගේ. ඇටි කෙහෙල් කියන එව්වත් දිලිසෙන රතු පාට. එව්වා කන්ට බෑ. ඇට ගොඩ. උගුඩුවෝ එව්වා කන එක ගැන උපදේශ කියමනකුයි කතාවකුයි තියෙනවා."

"අනේ ඒකත් කියන්ටකෝ ලොකු අත්තා.."
"ඇටි කෙහෙල් කෑවම උගුඩුවට ටොයිලට් යන්ට බැරිව වද විඳිනවලු. කන හැමදාම හිතා ගන්නවලු අයෙ නං කන්නෙ නෑ කියලා. ඒත් ආයෙම එව්වා දැක්කම සුවඳ දැනුනම, 'අයෙ ගහ ලඟට ගියාට මම කනවයැ'  කියලා ලඟට යනවලු 'ගහට නැග්ගට කනවයැ', 'ගෙඩියක් කැඩුවට කනවයැ', 'සුවඳ බැලුවට කනවයැ', 'පොතු ඇරියට කනවයැ' ... ඔය වගේ හිත හිත එදත් කාල විඳවනවලු.  ඉතිං  මිනිසුත් ඒ වාගේ පස්සේ කරදර වෙන වැරදි වැඩක් කරන් නෑ කරන්නෑ කියලා හිත හිත කරනකොට කියනවා  'ඇටි කෙහෙල් කෑව උගුඩුවා වාගේ' කියලා.

  ඔය ඔක්කොටෝම වැඩිය පුතේ, දැන් දැන් තියෙන ලොකු වගා වලට ඇර කෘතිම තෙල්  පොහොර නැතුව ගමේ ගොඩේ හැදෙන දෙයක්නෙ කෙසෙල්. අපිරිසිදු කමකුත් නෑ. අපෙ හැම උත්සවේටම කෙහෙල් ගෙඩි නැතුවම බෑ..." 

"කෙසෙල් ගෙඩි තව රස විදියක් තියෙනවා.."
"ඒ මොකක්ද?"
"පෙති කපලා පැණිවල දාල..
"ඔයා කොහොමද දන්නේ?"
"අප්පච්චියි මායි හොරෙන් හදලා කනවා.."
"හොරු.. අපි නං එහෙම එව්වා කරලා නෑ."

"කෑමට ගන්නවා ඇර කෙසෙල් ගහෙන් ගන්න තව ප්‍රයෝජන තියෙනවද ලොකු අත්තා?"
"හිතන්ටවත් පුලුවන්ද.. මුලු කෙහෙල් ගහෙන්ම ප්‍රයෝජන තියෙනවා මයෙ පුතා. මෙහෙම වහිනකොට හදිසියට දැන් වුනත් කෙහෙල් අතු ඉහලාගෙන යනවා. කොල කෑම හදනකොට එලන්ට, තව් මරලා බත් බඳින්ට, පිඟන් වාගේ කෑම කන්ට, අරින්ට, කෙනෙකුට යවන්ට ගන්නවා. ඒ තියා සමහර බත් කඩ ඉස්සරහ "කෙහෙල් කොලේ බත් කමු" කියලා ලොකු අකුරෙන් ගහලත් තියෙනවා. බන්දේසි වල පිරෙන්ට කෙහෙල් කොල මෝස්තරේ අච්චු ගහලත් තියෙනවා. කෙහෙල් මල් කෑමට ගන්නවා.. කලින් දවසක් ඒ ගැන කියලා දුන්නනේ... ගං වතුර තියෙන පැති වල ලමයි ඔරු හදන්ට කෙහෙල් කඳං ගන්නවා. සුදු පාට පතුරුයි බඩෙයි පිදේනි, තොරන්, මඟුල් පෝරු එහෙම හදන්ට ගන්නවා. දෙමල අයගෙ උත්සව වලදී හිටවන්ට, තොරන් බඳින්ට ගස් පිටින්ම ගන්නවා.මෝරපු කෙහෙල් පතුවල නූල් වලිං ගෝනි වියනවලු. ඉස්සර මිනී පෙට්ටිවල අඩියට අතුරනවා, මිනිය නරක් නොවී තියා ගන්ට. රඹුටන්, බුලත් වාගේ ඒවා තොගයට ගෙනියනකොට පෙට්ටි වාගේ හදනවා. වේලුන කෙහෙල් පතු වල පට්ටා වලින් පලා වාගේ දේවල් මිටි ගැට ගහනවා. අලු කෙහෙල් අලයි බඩයි බේතටත් ගන්නවා." 

"ලොකු අත්තා අන්න අත්තම්මා මොනවාදෝ කියනවා."
"දැන් නං වැහි පායලා. අයෙත් වැහි ඇල්ලක් එන්ට කලිං එලවලුවක් ගන්ට බැලුවොත් මොකද.. හැබැයි කොහෙන් ගත්තත් දවස් දෙක තුනක් යනකල් කොල ජාති නං ගංට එපා. පොලොස් ගෙඩියක්, කෙහෙල් මුවයක් ගන්ට තියෙයිද බලන්ට..."

"සව් සරා සසිරි මුදුනේ            වඩින්නේ
නැව් පුරා රුවල් සුළඟේ     වැනෙන්නේ
ගව් ගණන් ගොසින් මහතුන් දකින්නේ
මව් මරා උපන් කුමරා             කියන්නේ "


                                                       simple "s"

2018.11.09

No comments:

Post a Comment