Saturday, November 17, 2018

උඩගෙදර කතා 04 (හීං තඹල)


                                "හීං තඹල"

මගේ අප්පච්චිගෙ කෘෂිකර්ම (ප්‍රායෝගික) පාඨමාලාවෙන් .                              (අංක 04)

                   අපෙ ගුරුතුමී ... දවසක් කුමාරතුංග මුණිදාස  කියලා මහත්තයෙක් ගැන කියලා දුන්නා. එතුමා කරපු කියපු දේවල් අම්මෝ..! පස්සේ ගුරුතුමී ළමයිංගෙං ඇහැව්වා,  අපි දන්න වැඩිම මොලේ තියෙන එක්කෙනා කව්ද කියල...

                  එක එක්කෙනා එක එක නම් කිව්වා. අපෙ ගුරු තුමී, ලොකු මහත්තයා, දුටු ගැමුණු රජ්ජුරුවෝ  වාගේ. මයෙ වාරේ ආවේ අන්තිමට...

"මයෙ අප්පච්චී..." මං කිව්වා. සමහර ළමයි හිනාත් වුනා මං දැක්කා.
"ඔය පුතා ඇයි එහෙම කිව්වේ ..?" ගුරු තුමී ඇහැව්වා.
"මයෙ අප්පචිට කියංට පුලුවං. වැහි එන වෙලාව ... , ගොඩක් සීනි කෑවම, අව්වේ වැඩ කරලා එකපාරම නෑවම වෙන දේ එහෙම.. ආයෙ..., තුවාල වුනාම බේත් ජාතිත් දන්නවා... " මං කිව්වා.
"හොඳයි. කියන්න බලන්න තුවාල වලට බේත් මොනවද කිව්වේ."

                    අලුත් උදැල්ලට මයෙ කකුල කැපුන දවසේ වුන දේවල් මං කිව්වා. මතක විදියට...

                    *                    *                     *

                     දවසක් අප්පච්චියි මායි උදුළු ගාද්දී මයෙ ඉස්සරහිං තිබ්බ ගල් කැටේක උදැල්ල, අර මයෙ කොන්ඩ උදැල්ල වැදුනා... උදැල්ල පැත්තට හැරිල ඇවිත් මයෙ කකුලේ වැදුනා. කකුල පැත්තකට ගංට මට හිතංටවත් ලැබුනෙ නෑ.. කකුල කැපුනා. ගොඩක් නෙවේ. ඒ වුනාට ලේ නං හුඟක් ආවා. අප්පච්චි කිව්වේ මාන්සි වෙල, අව්වේ ඉඳල හිටිය හින්දා ලේ ගොඩක් ආවේ කියල. ඉතිං අප්පච්චි වැටේ තිබ්බ පුංච් ගහක කොල ටිකක් හපල තුවාලෙට තිබ්බා. ටිකකිං ලේ නතර වුනා... මයෙ අප්පච්චිගෙ තොල් දෙක කවදත් රතු පාටයිනෙ. එව්වා හැපුවට පස්සේ තව රතු පාට වුනා..

"අප්පච්චි.. මොනවද ඒ කොල..?"
"අපි කියන්නේ හීං තඹල කියල..."
"ඉතිං කිට්ටුවක හීං දඹල තිබ්බේ නැත්තං..?"
"ම්හ්ම්... හීං දඹල නෙවෙයි... හීං තඹල. එව්වා නැත්තං ඔයෙ කරල් හෑබෝ, හුළං තලා වාගේ එව්වත් ඒ වෙලාවට හොඳයි... "
"ලේ නං නතර වුනා. තුවාලේ සනීප වෙංට වෙන බේතක් දාංට වෙයිද අප්පච්චි..?"
"ලොකු තුවාලයක් නෑනෙ මයෙ පුතා. වෙන මොකුත් ඕන්නෑ. ඔයෙ හීං තඹල වාගේ කොලවල කහට තියෙනවා. එව්වා තුවාලේ උඩිං බැඳෙනවා.. එතකොට විෂ බීජ.. ඒ කියන්නේ කුණු යන්නෙ නෑ තුවාලෙට. ඉතිං තුවාලේ වැඩි වෙන්නෙ නෑ. තුවාලේ ලොකුයි නං වෙනම බෙහෙත් දාංට වෙනවා තමයි.."
"ඉතිං අප්පච්චි කුඹුරෙදි තුවාලයක් වුනොත්..
ඔය ගස් ජාති නෑනෙ...?"
"කුඹුරෙදි කීකිරිඳිය කියන පැලෑටියෙ කොල හොඳයි.  කුඹුරු වල එව්වා තියෙනවා..."
"අපි සෙල්ලං කරනකොට, දවසක් සේන වැටිල දනිහ හීරුනා... ලේත් ටිකක් ආවා. ඉතිං කට්ටිය...  අඟුරු ගෙනත්, ගලකට කෙල ගහල ... ඒකේ අඟුරු අතුල්ලල තුවාලේ ගෑවා.."
"පොඩි කාලේ කව්රුත් එහෙම කරනවා මයෙ පුතා.. ලොකු ඇත්තොත් පුංචි හීරීමක් එහෙම වුනොත් ඉස්සෙල්ලම කෙල ගාන පුරුද්ද තියෙනවා.  ඇයි තව කුරුම්බැට්ටි ගලේ අතුල්ලලත් ගාන්නේ.."
"ඔව් ඔව් .. අප්පච්චි... ලමයි එහෙමත් කරනවා තමයි.."
"සුදු පාට වුන කොන්ඩා කළු කරංටත් සමහර බවලත් ඇත්තෝ හීං තඹල කොල සිනිඳුවට කොටල ගානවලු. හරියෙට හරිලු .."
"අප්පච්චි වත්තේදී හරි කුඹුරේදී හරි හදිස්සියේ අතක් කකුලක් එහෙම පිස්සුනොත්.. ?"
"වැල් බැබිල කොල තලල හරි හපල හරි ගානවා. ටක් ගාල දැවිල්ලත් ඇරෙනවා. තක්කාලි කොල, කෝමාරිකා මඳ එහෙමත් හොඳයි. තව අත් බෙහෙත් කියන්නංකො විට්ං විට. "  
"අප්පච්චි කොයි කොල ජාතියත් මෙහෙම හපල තුවාල වලට තියනවද?"
"අප්පෝ නෑ. හැම කොල ජාතියම හපංට හොඳත් නෑ. දන්නේ අඳුරන්නේ නැති මොන දෙයක්වත් කටේ දාන්නෙ නෑ මයෙ පුතා."
"අර එහා වැටේ ලස්සනට මල් පිපිල තියෙන ජාතිය? ගෙදර ඇන්න ගිහිං හදා ගංටත් හිතුනා. එච්චරකට ලස්සන.."
"කොයි මට පෙන්නන්ට.. "

                 මං අප්පච්චි එක්ක ගිහිං එව්වා පෙන්නුවා. අප්පච්චි මට 'අප්පච්චි' කියලත් කිව්වා එදා..!

"මයෙ අප්පච්චියේ... මෙව්වා නං අත ගහංටවත් එපා. මල රුව වුනාට කොලයි අලයි වහ.... වහ... ! කෑවොත් මැරෙංටත් පුලුවං. මෙව්වේ නම නියඟලා... වහ නියඟලා කියලත් කියනවා."
                
                     *                   *                    *
                  ගුරුතුමී ළමයිංට කිව්වා මට අප්පුඩි ගහංට කියල. එදත්..!

"අප්පච්චි, වැහි එනවද නැද්ද කියලා කියන්නේ කොහොමද කියලත් අපිට කියලා දෙනවා නේද..? පුතේ.." ගුරුතුමී ඇහුවා.
"..ං හා.." කියන විදියට මං ඔළුව හෙල්ලුවා.

                   ගුරුතුමී ළඟට ඇවිත් මයෙ ඔළුවත් අත ගෑවා ...!

                                                   simple "s"
2017.11.05

                 
                 

No comments:

Post a Comment