Wednesday, November 28, 2018

උඩගෙදර කතා 19 (කෙහෙම්මල)

                               "කෙහෙම්මල..."

මයෙ අප්පච්චිගෙ කෘෂිකර්ම (ප්‍රායෝගික) පාඨමාලාවෙන්..                        අංක 19.

"අප්පච්චි අප්පච්චි... අද අලුත් මහත්තයා ගුනදාසට බැන්නා. එයා ඇඬුවත් එක්ක. ඉතිං මං බේරුවා.."
"මොනවා..? කතන්තර ගොඩක්. මොනවා කියලද බැන්නේ?"
" 'කෙහෙම්මල' කියල."
"කියංටකො මොකද්ද වුනේ?"

"අලුත් මහතයා ලමයිංට කිව්වා කෑමට ගන්න මල් ජාති කියංට කියල"
ඉතිං..?"
"ඉතිං.. ලමයි එකක් දෙකක් කිව්වා. ගුනදාසට කියංට  කිව්වම එයා 'බුස්සරණ' කිව්වා. ඉතිං අලුත් මහත්තයට එක පාරම හරියට තරහ ගිහිං තමයි අර වාගේ බැන්නේ.. 'එව්වේ කන්නේ අල, මල් නෙවෙයි මෝඩයෝ' කියලත් කිව්වා"

"ඉතිං මයෙ පුතා ඒක බැණුමක්‍ යැ. තරහ ගියාම එහෙම කියනවා තමයි.. ඒ වුනාට ඒක බැනුමක් නෙවෙයි. කෙහෙල් මලට කියන්නේ කෙහෙල් මුවේ කියල. ඉතිං මයෙ පුතා කිව්වේ නැද්ද කෑමට ගන්න මල් ජාති ?"
"ඇයි නැත්තේ... අලුත් මහත්තයත් දවසක් කියල දුන්නා. ඇයි.. අප්පච්චිත් දවසක් ගොඩාක් කියල දුන්නේ.. මං ඉතිං ලෝලුමල් කහට මල් ගැන එහෙමත් කිව්වා. අන්තිමට මං කිව්වා..'මහත්තයා, ගුනදාස බොරු නෙවෙයි කිව්වේ.. මුස්සැන්න වලට අපි කියන්නේ බුස්සරණ කියල.' ඊට පස්සේ ඕං මහත්තයා දුකෙං වාගේ ගුනදාස දිහා බැලුවා."
"මයෙ පුතා බොහොම හොඳයි.." කියාගෙන අපෙ අම්මත් අපි ලඟට ආවා.

"අප්පච්චි... සඳුදා එනකොට මල් ජාතියක් කංට හදන හැටි අහගෙන එංටත් කිව්වා. මට කිව්වේ කෙහෙල් මුව හදන හැටි අහගෙන එංට කියල.
"හ්ම්... කෑම කංටකො දැං. පස්සේ කියල දෙන්නං."


                           *                          *                        *


                "සමහර කෙහෙල් ජාති වල මුවේ තිත්තයි. කන්නා තියා හිතංටවත් බෑ. නැට්ට කපල ඩිංගක් දිවේ ගාල බැලුවම දැනෙනවා. ඇඹුල්, අළු කෙහෙල් වාගේ කෙහෙල් මුව තිත්ත නෑ. කෙහෙල් මුව කොයි විදියට හදංටත් ලියා ගංට ඕනෑ.

"අප්පච්චි 'කොයි විදියට හදංටත්..' කියල කිව්වේ
විදියවල් ගොඩක් තියෙනවද?
"ඔව් .. ඔව්.. කීපයක් තියෙනවා. මෙව්වා ඔක්කොම කිව්වට මයෙ පුතාට මතක තියෙයිද.. පන්තියෙදි කියංට?" අපෙඅම්මා එහෙම කිව්වම උත්තර දුන්නේ අප්පච්චි..
"කමන්නෑ.. එකක් දෙකක්වත් මතක හිටිංට කියල දෙමුකො."

"කෙහෙල් මුව තෙල් දාන හැටි ඉස්සර වෙල බලමු. අර වාගේ හීනියට ලියා ගත්ත එව්වා ලුනු වතුරේ දාල ටිකක් වෙලා තියනවා. මිරිකල සෝදල ඇන්න ලුනු, මිරිස්, තුනපහ අතගාල තියා ගන්නවා. තෙල් ටිකක් ලිපේ තියල ඒකට හීනියට ලියා ගත්ත රතුලූනු, කරල දෙකට තුනට කැඩුව වේලිච්ච මිරිස් කරල් තුන හතරක් විතර, රම්පේ, කරපිංචා ටික ටික දාල ටික වෙලාවක් බැද ගන්නවා." අප්පච්චි කිව්වා.

"අපෙ ගෙවල් වල ඔය තරං දේවල් දාන්නෑ මයෙ පුතා. නොවැරදීම ලුනු මිරිස් ලූනු එක්කර ගන්නවා. අනික, තුනපහ ජාතිවල රහ මතුවෙල එනවට අප්පච්චි නං  කැමතිත් නෑනෙ." අපෙඅම්මා කිව්වා.

"ඔව් මයෙ පුතා එව්වා වැඩි වුනාම මුල් එලවලුවේ රහ නැතුව තුනපහ රහටනේ කංට වෙන්නේ. ඉතිං මයෙ පුතා, අර බැදෙන තෙල් වලට කෙහෙල් මුව
දාල හොඳට කවලං කරල ඒ තෙල් වලම ටික වෙලාවක් ඉදෙංට ඇරල බා ගන්නවා. අබ ටික්කුත් තෙල් වල පුපුරුවා ගත්තොත් හොඳයි.ඔන්න එක විදියක්. 

අයෙ බලමු කෙහෙල් මුව මාලුව. අර වාගේ ලියාගෙන හෝදල මිරිකල ගත්ත කෙහෙල් මුව වලට ලුනු මිරිස් තුනපහ කහ ටික ටික දාල අත ගානවා. ගොරක කෑලි දෙකක් විතරත් දානවා... තක්කාලි දාල අපිට නං රහයි. දිය කිරි ටිකක් දාල ලිප තියල හොඳට තැම්බෙන කොට මිටිකිරි ටිකක් දාල ඒවා හිඳීගෙන එනකොට බානවා. ඒ විදියත් හරි ඔන්න. ඉඳියප්පකං කංට කෙහෙල් මුව මාලුව පංකාදුයි. ආයෙ...."

"කෙහෙල් මුව සම්බෝලේ කියල දෙමු පුතාගෙ අප්පච්චි.."
"කෙහෙල් මුව ලියාගෙන තද උණුවතුරේ දාල ටික වෙලාවක් තම්බනවා. අනික් වෑංජන වලටත් තම්බල ගත්තම රහෙං වැඩී.. ඒ වුනාට ගුනෙං අඩුයිලු. 

ඉතිං ඊට පස්සේ හෝ්දල මිරිකල ගත්ත කෙහෙල් මුව එක්ක  ඒ වාගෙම හීනියට ලියා ගත්ත අමු මිරිස්, ලූනු ටිකක් එක්ක කවලං කරනවා. තක්කාලි ගෙඩියක් හමාරක් කෑලි කපල එක් කරනවා. ඒ වෙනුවට දෙහි දැම්මත් හොඳයි. දැං කවලං කරල කෑමට ගන්නවා. අමු මිරිස් වෙනුවට ලිපේ කබලේ බැදල හරි ගිනි අංඟුරු උඩ තියල හරි අතිං කුඩු කෙරුව වේලිච්ච මිරිස් දැම්මම රහ වැඩී."

"මයෙ පුතා... කෙහෙල් මුව අච්චාරු දාන්ටත් පුලුවං. ඒකට සමහර පැතිවල කෙහෙල් මුව පැහි කියනවා. අමු මිරිස්, ‍රතුලූනු බික් ටිකකුත් උනුහුං ගස්සල අර සෝදල මිරිකල ගත්ත කෙහෙල් මුව එක්ක මැටි බාජනේකට දාල අච්චාරු වලට වාගේ අබ ටිකක්, මුරුංගා පොතු කෑල්ලක් ගලේ සිනිඳුවට අඹරල විනාකිරි ටිකකිං දියකරනවා. 

අපි විනාකිරි කන්නෙ නෑනෙ.. එහෙම ඇත්තංට විනාකිරි වෙනුවට සියඹලා බොර ගංට පුලුවං. රහ වෙනසක් නෑ. දැං හොඳට වහල තරමක වෙලාවක් තැම්බෙංට තියල කෑමට ගන්වා.

කෙහෙල් මුව මැල්ලුමත් හදනවා. පොලොස් ලියනවා වාගේ කෙහෙල් මුවේ පිටින්ම හැත් ගගහ ලියාගෙන වෙන මැල්ලුං වාගේ හදනවා. මැල වුනාට පස්සේ තෙල් දාල ගත්තම රහ වැඩී.  

තව... කෙහෙල් මුව, ඔය කට්ලිස් එහෙම හදංටත් ගන්නවලු. එව්වා ඉතිං අපි හදන්නෙත් නෑ දන්නෙත් නෑ. හා.. තව එකක්.. කෙහෙල් මුව අර්සස් අසනීපේ තියෙන අයට එහෙම ගුණයි කියනවා මයෙ පුතා."

"එච්චරයිද අප්පච්චි? මට ඔය තරං මතක තියා ගංට නං බෑ. අර තෙල් දාන හැටියි මාලු උයන හැටියි අයෙ සැරයක් පස්සේ කියල දෙංටකො. ඒ ඇති."
"මටත් හිතුනා. ඔච්චර කිව්වට මොකද මයෙ පුතාට මතක තියා ගංට නං අමාරුයි කියල. එහෙම ගොඩක් කියංට ගිහිං පැටලුනොත් අලුත් මහත්තයා මයෙ පුතාටත් කියයි...."

" 'කෙහෙම්මල' කියල, නේද අප්පච්චි?"

                                                     simple "s"

No comments:

Post a Comment