Saturday, November 17, 2018

උඩගෙදර කතා 31 (හත් දුරුත්ත)

                              

                                     "හත් දුරුත්ත...."

උඩගෙදර කතා ..... අංක 08

"එක දිගටම වහිනවා ලොකු අත්තා..."  

                   ජනෙල් රෙද්ද ටිකක් මෑත් කරල එලිය බලල රනුදය කියනවා. මාත් ඒ ජනේලෙම්ම එලිය බැලුවේ. තවම හරියට එලිය වැටිල නෑ. කමිසේකුත් නැතුව ගහ වාගේ ඉන්න මයෙ පපුවටයි මූණටයි එක පාරම තද සීතලක් දැනුනා. හරියට මයෙ හීං සංදිය ගුලි කරල දමල ගැහැව්වා වාගේ . 

                   තෙත බරි වුන කපුටෙක් අපෙ ගෙදර අගුවේ ඉඳල එහා ගෙදර වහලෙට ඉගිලෙනවා. "කාං.." ඒ කෑගැහිල්ලෙත් සීතල! මයෙ පැටියා කපුටා දිහා බලල යංතං හිනාවෙල මයෙ මූණ දිහා බලනවා.

"අයියෝ.. එයා ගෙදර ගිහිං වෙන සූට් එකක් මාරු කර ගන්ටයැ. පව්.. "
"අත්තක් යටටවත් වෙල නොතෙමී ඉංට පුලුවංකම තියෙද්දීනෙ ඔය. තියෙන දහංගලේටම නෙවෙයි මයෙ පුතා. උදේම කංට මොකවත් හොයා ගංටත් ඕනෑනෙ."

                      කපුටා හරියට ඒකාලේ, කට්ටිය එක්ක මෙහෙම වැස්සේ මඩේ නටල ගෙදර එන මං වාගේ.. තටු ඔක්කොම ඇඟට ඇලිල. ඒක පැටියට කියංට බෑ. එහෙම ඇඟිලි තුඩු රැලි වැටිල හිරි වැටෙනකල් වැස්සේ මඩේ දඟලනවා තියා, ගේ ඉස්සරහ ඈත උඩවත්තාකැලේ කන්ද යන්තං මී දුං පාටක් වුනත් එලියේ ඉංටවත් එයාට තහනං. කොහෙද එයාටත් මූණ හෝදල පිහිනකොට යංතං තෙත ටිකක් ඉසකේ අස්සේ ඉතුරු වෙල තිබ්බත්... හච්ච්ං... හච්චිං... කෙලවරක් නැතුව, ඉන්හේලර් ද මොකද්ද එක උරංට දෙංටත් ඕනෑ.

"අන්න ලොකු අත්තා අර බල්ලා බලංටකො."
                  ඉස්සරහ සමුපකාර කඩේ පිලේ තෙමිච්ච බල්ලෙක්. එයා උදේම රවුමක් ගිහිං ඇවිත් වාගේ. කංකුංඩා වාගේ වකුටු වෙල වකුටු වෙල තව වකුටු වෙංට වීරිය...!           
                

                  ජනෙල් පඩියටත් කකුලක් තියල පැටියා නගිනවා මයෙ කරට. 

"වැටෙයි කොලුවෝ... අනික.. මයෙ කොන්ඳ..!"
"එහෙනං ඔය ටෙඩියව පැත්තකට කරන්ට.. මම බැස්සොත් එයා මගෙ කරට නඟිංට එනවා."
"හා.. හා.. ටිකක් ඔහොම ඉංටකො. ඔහොම ඉන්නකොට මටත් කොන්දට හීතල දැනෙනවා අඩුයි!"

"ලොකු අත්තලා ඒ කාලේ මෙහෙම වහින්කොට, සීතල තියෙනකොට මොනවද කෙරුවේ..?"
"ගෙවල් වල අයෙ මෙහෙම දුවංට පනිංට ඉඩක් තිබ්බ එකක්‍ යැ මයෙ පුතා. ඉඩ ටිකක් තිබ්බ තැනක, සීතල ඇරෙංට මොකක් හරි උඩ පැනිල්ලක් කරකර හිටියා. මෙහෙම නොනවත්වා වහිනකොට කියනවා 'හත් දුරුත්ත' කියල. දුරුතු මහට නං තව මාසයක් හමාරක් තියෙනවා. දැං වැහි කන්නවල් කාලගුනේ එහෙම වෙනස් වෙල මයෙ පුතා."

"ඉතිං ලොකු අත්තා දර එහෙම තෙමුනම? කෑම හදා ගංට මේ වාගේ කාලෙට කරදර වුනේ නැද්ද?"
"මයෙ පුතා... දර හේත්තු කරලා තිබ්බේ පිදුරු පරිස්සං කරන්ට උසකින් ගොඩ ගහල තිබ්බ පිදුරු පංසල කියන එක යටනෙ. තෙමුනෙ නෑ. ටිකක්වත් තෙත තියෙනවා නං ඒ ඒ වේලට උයනකොට ලිප්බොක්කේ දර අහුරල වේලා ගන්නවා. අයෙ ගෑස් ලිප්, රයිස් කුකර්, අවන් වාගේ ජාති අහලාවත් තිබුන එකක්‍ යැ."

"අර පොප්කෝන් හදලා දුන්නා කිව්වේ මෙහෙම දවස් වල...?"
"අන්න මයෙ පුතා මෙහෙම දවස් වල කම්මැලිකමට කකා ඉංට නොයෙක් දේ කබලේ බැදල දුන්නා. ඉරිඟු ඇට.. එව්වෙන්නේ පොප්කෝන් හදන්නේ. ආයෙ කොස් ඇට, මෑ ඇට, දඹල ඇට, මුං ඇට, කරල් ඉරිඟු ඇට වාගේ එව්වා."
"ඉතිං ලොකු අත්තලා දැන් වාගෙම එව්වා කැවේ පොල් එක්කද?"
"මොන පොල්ද මයෙ පුතා...! කබලේ බැදෙද්දිම ලුනු වතුර ටිකක් ඉහිනවා.. එච්චරයි."

"මෙහෙම වැස්සේ ඉස්කෝලේ ගියේ කොහොමද?"
"දැං මයෙ පුතාලට වාගේ කොන්ද කැඩෙංට පොත් ගොඩක් උස්සාගෙන යංට තිබ්බේ නෑ. දෙක තුනයි. ඒක නොතෙමී බේරා ගංට තමයි වැඩියෙං මහංසි වුනේ. කුඩයක් තිබ්බ ලමයිත් හිටියා. වැඩියෙංම ඉතිං ඉටි රෙදි ගොට්ටෙයක් තමයි. සමහර ලමයි තල අතුත් ගෙනාවා."

"එහෙම දුක් විඳගෙන... ඉගෙනගෙන රක්ෂා වලටත් ගියා ඉතිං..?"
"එව්වා මහ දිග දිග කතා මයෙ පැටියා."
"ඉතිං මෙහෙම වැස්සේ වැඩ කරන්ටත් බෑනෙ. ලොකු අය මොනවද කෙරුවේ.."

"වැහි දවස් වලදී කරංට වැඩත් තිබ්බා. එහෙමත් නැත්තං ඉතිං ඔය, අජූත කියල කාඩ් කුට්ටමෙන් කරන සෙල්ලමක් තියෙනවා. ඒක සෙල්ලම් කරනවා. එක දිගට සති ගනන් පවා, සෙල්ලම් කරන අය මාරු වෙවී කරන බොහොම නම්බුකාර එකක්.."
"ඉගෙන ගත්ත හැටි කතාවත් මගෑරියා. මේකවත් කියලා දෙන්ටකො..."

"අයෙ පස්සේ..
"ලොකු අත්තා කුට්ටම කියන්නේ දෙකටනෙ... සපත්තු කුට්ටම, කන්නාඩි කුට්ටම වාගේ. කාඩ් කුට්ටමේ කාඩ් ගොඩයිනෙ... ඇයි එහෙම?"
"දෙකටත් කියනවා.. කාඩ් කුට්ටම වාගේ තව එව්වටත් කියනවා..."
"දැන් ඉතින් ඔය නවත්තන්ටද හදන්නේ..?"
"හ්ම්.. අදට දැං ඇති. මයෙ කොන්දත් රිදෙනවා. දැං ඉතිං ඔය මගෙ පිටේ ඇනෙන කුට්ටමත් අරන් බහින්ටකො.. "

                                                    simple "s"

2018.11.06

No comments:

Post a Comment