Saturday, November 17, 2018

උඩගෙදර කතා 41 (විවේකා 02)

O
                              "විවේකා... 02."

අපෙ වෙද මහත්තයා                06 අංකය

                ඊට පස්සේ කෑමට ගියා. අපෙ අම්මා වෑංජන හත අටක්ම හදල තිබ්බා. අර්තාපල් අල දෙසරේ කිරි දාල,  පරිප්පු මැල්ලුං, සීනි සම්බොල්, මුකුනුවැන්න මැල්ලුං, අංගුලු කරෝල තෙල් දාල, තව තව මොනවදෝ. ඒ ඇත්තෝ ආසාවෙං කෑම කෑවා. දැවිල්ලට 'ඊස් ඊස්ස්' කිය කිය සුදු දෙන්නා සීනි සම්බොලුයි කරෝලයි කෑව හැටි බලාන ඉංට ලස්සනයි! මූණ, කං විතරක් නෙවෙයි, නාහෙත් රතු වුනා.. කෙසෙල් ගෙඩිත් කෑවා. ආයෙම උඳු වැලුත් කෑවා..

"වෙද හූරා රිදී පෝරු තඹ, පෝරු, නිල් කොල පොජ්ජ ඇන උකාලනවා කොදුයි කියල මේ ඇත්තෝ දන්නවා." ("වෙද මහත්තයා සල්ලි ගන්නෙ නෑ කියල මම දන්නවා.") වැදි මනුස්සයා කිව්වා.එනකොටම දැක්කා වාගේ නෙවෙයි. අවුරුදු හතලිහක විතර මේ මනුස්සයා කොයි තරං අහිංසකද, හොඳද කියල මට හිතෙනවා.

"වෙද හූරා.. මේ ඇත්තෝ ඔක්කොම එලිය  පොජ්ජට මංගච්චමු." ("වෙද මහත්තයා.. අපි ඔක්කොම එලියට යමු.") කෑම කාල ඉවරවෙල එයා කිව්වා.

"අඩා මිලිලා කැකුලා, මේ ඇත්තංට සීපද පොජ්ජක් කතා දමාප." ("මිලිලා කොල්ලෝ මේ අයට කවි ටිකක් කියපං.") අපි ඔක්කොම මිදුලට ගියාට පස්සේ එයා අනික් වැදි ලමයට කිව්වා.

"වැල් කොබ්බෑවල දුන්න නමාගෙන
වේවැල් ඉචකේ පිටට එළාගෙන
කුණු ගොන් තඩියෙක් පිට වතුරාගෙන
තෙන තෙඳි නානා තෙඳි නානේ...
බල, දුන්න පිලාවට වර කිරි නෑනේ
තෙන තෙඳි නානා තෙඳි නානේ....
බල, තල මල් ලන්දක් ඊතල අරගෙන
පොල් මල් ලන්දක් දෑතට අරගෙන
ඊතල අවුරක් දෑතට අරගෙන
තෙන තෙඳි නානා තෙඳි නානේ...
බල, තෙන තෙඳි නානා තෙඳි නානේ...."
                  
                   ඒ ලමයා බොහොම මීරියට කිව්වා.. අපෙ අම්මා තමයි වැඩියෙම්ම සංතෝස වුනේ කියල මට හිතුනා.

                   තව ටිකක් වෙලා කතා කර කර ඉඳල, අප්පච්චියි එයයි ආචාර කර ගත්තා.
"මේ ඇත්තෝ  මාම කැච්චක් සංතෝස පොජ්ජෙං තමයි දෙපටුල්ලංතන කැවිල්ලාපුවේ. මාම කැච්චක් හොඳමැයි නෑනිලැත්තෝ.. කැකුලි.." ("අපි බොහොම කැමැත්තෙං කෑම කෑවේ. බොහොම හොඳයි නෝනා.. දරුවා..") කියල අපෙඅම්මටයි මටයි ස්තුති කෙරුවා.

                  සුදු ජෝඩුවත් අත් එක්තැං කරල,  "ආ.යුබෝ..වන්! අපි පස්..සෙත් එන්..නවා."  කියල සුදු නෝනත් ගැස්සි ගැස්සි කැඩිච්ච සිංහලෙං කිව්වා. අප්පච්චිටයි,  අපෙඅම්මටයි. ඒ නෝනා මයෙ අත් අල්ලා ගෙන හිටියා හුඟ වෙලාවක්... මූණ දිහා බලාගෙන, හිනා වෙවී... මටත් දුක හිතුනා...!

"අයිම් වෙරි ඉම්ප්‍රෙස්ඩ්.. ලයික් ටු කම් අගේන්."
"අයි ටූ ලව් ටු... වී ෂුඩ් හෑව් ප්‍රිසෙන්ටඩ් සම්තිං ටු දිස් ලිට්ල් ෆෙයරි..."
"ඕ..! වේට් වේට්... අයිව් බ්‍රෝට් මයි බොට්ල් ඔෆ් සෙන්ට්.." කියල සුදු නෝනා එයාගෙ බෑක් එකෙං  පුංචි කුප්පියක් ඇන්න ඒකෙ තියෙන එව්වා ටිකක් මයෙ කං පෙත්තේ ගෑවා.ඊට පස්සේ ඒක මටම දුන්නා. ගංටම ගංට..! ඒක හරිම සුවඳයි. පිච්ච මල් වල වත් නැති තරං..

"ගෝඩ් බ්ලෙස් යූ.. දෙයි.. පිහි..ටයි!" කියලත් කිව්වා,  මයෙ අත් අල්ලාගෙන. මං හිනා වෙලා "බුදු සරණයි! දෙවි පිහිටයි!." කිව්වා. ඒ ඇත්තෝ ආදරෙං හිනා වුනා.
"වෙරි කියුට්.. ඉස්න්ට් ෂී?
වට් අ ප්ලසන්ට් වොඉස් ඇන්ඩ් අ ෆේස්.. අයි විෂ් අයිඩ් හෑව් මැරීඩ් හර්..!"
"ඩූ යූ තිංක් දීස් පීප්ල්, අව 'ඩොක්ටර් ද ග්‍රේට්' ඉන් පටික්ල, විල් එවර් අල්ව් යූ .. ? මයි මෑඩ් චයිල්ඩ්..!" කියල ඒ ඇත්තෝ අයෙත් හයියෙං හිනා වුනා.. නෝනා මයෙ ඔලුවත් අත ගගා..

                  අපෙ අම්මා ඒ දෙන්නට කැවිලි මල්ලක් දුන්නා. අප්පච්චිත් ලෑස්ති කර ගත්ත බුලත් විට අඩුවැඩියයි කැවිලියි මල්ලකට දාල වන්නියලැත්තංට දුන්නා. ඒ ඇත්තෝ ගියා. සුදු ඇත්තෝ ඈතට යනකල් අත් වන වන ගියේ.

"මයෙ දුව.. ඔය අය ඒ ඇත්තංගෙ බාසාවෙං කතා කරනවට හරීම කැමතියි.. හා.. අනික් කාරණේ, ගෙඩියක සැරව ඇදිල යංට., තැල්මක ලේ ඉහිරෙංට.. සෙවල තියෙන පොතු, කොල ජාති බේතට ගන්න හේතුවක් තියෙනවා. එක පාරම මිරිකල දානවා වාගේ කෙරුවොත් ගෙඩිය තැලිල තුවාලේ වැඩි වෙල වැඩ වැඩි වෙනවා. එහෙම කරංටත් අමාරුයි. ඉතිං එක පාරම නැතුව, හෙමිං හෙමිං, වේලි වේලී ඇකිලෙන බේත් වලට, ඇඟට නොදැනිම ගෙඩිය මිරිකිල යනවා. එව්වේ සුව වීමේ ගුණෙත් තියෙනවා." කියල අප්පච්චී කිව්වා.

"ඇහේ නගන ආවම අත් බෙහෙතක් හැටියට තුත්තිරි පැණි හොඳයි කියල අප්පච්චි දවසක් කිව්වේ.. ඒත් ඒ වාගෙද... අප්පච්චි?"
"අන්න හරි මයෙ දුව.."

              හ්ම්.. ඔන්න අයෙත් මං තනිවුනා..! මයෙ හිත කලබලයි.. ඒකනෙ නාල එන ගමං දිය රෙද්දයි... බාදියයි.. සබං කෑල්ලයි ඔක්කොම බොදලාගෙන  මයෙ කාමරේටම ආවේ! ඒකටම, ඊට පස්සේ අපෙ අම්මගෙ ඉසේ ගාන බෘංගාමලකේ ගංට එයාගෙ කාමරේටම ගිගිං,  මං ඒ කාමරේට ආවේ ඇයි කියල මතක් කෙරුවේ.. මටම හිනා! ඊට පස්සෙත්., අපෙ අම්මා ඇහුව දේකට මොන සම්බන්දෙයක් වත් නැතුව   ".. වෙන කෙනෙක් නෑ මයෙ.. ම්හ්ම්.. ම්හ්ම්.." කිව්වේ. ඒ වෙලාවේ යන්තං එක පදයක් හිතට ආවා විතරයි! මට පිස්සු... අපෙඅම්මට තේරෙංටත් ඇති දෙයියනේ...!

                 එහෙනං සුදු නෑනිත් කසාද බඳිංට තීංදු වෙල. ඒ දෙන්නා ඉන්නේ මහ සාගරෙං එගොඩ මෙගොඩ. දැනටම අවුරුදු දෙකක් විතර මයෙ අප්පා.. මේ ගෑණී..නෑ නෑ මේ මනුස්සයා කොහොම ඉන්නවද මං දන්නෑ. මට නං....?

                        *                        *                        *

හිත කොනකවත් කිළුටක් ඇති වෙන්ට එපා නොහොබින කායෙවත් උපකාරයක් එපා
රැවටිලි මුසා මායං ඇහැ ගැහෙනු එපා
මයෙ ආදරේ ඇර වෙන සෙනෙහසක් එපා

ආදරයෙන් හඳුංපොත මයෙ පුරවන්ට
හීනෙං ඇවිත් මයෙ ඉස පිරිමැද යන්ට.
රෑ දාවල් මයෙ කන ලඟ රැව්දෙන්ට               
"ආදරෙයි" කියල සැරයක් පවසන්ට.

යන්නේ සයනයට ඔය අත අතිං අරං
හිමිදිරියේ නැගිටින්නෙත් තුරුළු කරං
කියවෙන්නෙම දෙවි පිහිටයි හතර වරං
මට වෙන කෙනෙක් නෑ මයෙ රත්තරං තරං

ජය සිරිමා හිමි පිහිට ලැබෙන්ටයි
දළදා හාමුදුරුවන් රකින්ටයි
තෙරුවන් සරණිං ජය අත් වෙන්ටයි
සැම දෙවි මයෙ දෙයියෝ රැක දෙන්ටයි!

                                                    simple "s"
2018.03.16

No comments:

Post a Comment