"මං නොකතයියා..... "
ඈත ඈත කාලෙක ඈත ඈත ගමක එක්තරා පව්ලක රූප සම්පත්තියෙන් ද හයිහත්තියෙන් ද අනූන සොහොයුරන් තිදෙනෙක් විසූහ. වයස වෙනස් වූයේ මාස දහයෙන් දහයෙන් ය. ඒ නිසා අයිය මලෝ වෙන්කොට හඳුනා ගැනීමත් අසීරු ය. ගමේම දැරිවියෝ බුරුතු පිටින් මේ තිදෙනාට හදවතින් සෙනෙහෙ පෑවත් එලි දක්වන්නට නොකැමැති කණගාටුදායක හේතුවක් වී ය. තිදෙනාට ම ගොතයක් හෙවත් වික්කලයක් ද සමඟ කතා කිරීමේ දුබලතාවක් තිබුනි.
එකල විවාහ යොජනාවක් පල දැරීමට පියවර කීපයක් පසු කළ යුතු වී ය. යෝජනාවක් ලැබීම, බලන්ට යාම, මව්පිය සහෝදර සහෝදරියන් සමඟ ගේදොර බලන්ට යාම, නැකත් කීම, අඳින්ට තැබීම, මුදු මාරු කිරීම ආදී වශයෙනි. දෙදෙනෙක් "හොරෙන් පැන යාමකදී" මේ එකදු පියවරක් හෝ නැත්තේ ය.
පිට ගමකින් ලද යෝජනාවක් අනුව දිනක් මේ සොහොයුරන් තිදෙනාට ද වැදගත් කුලවත් පොහොසත් රූමත් එකම පවුලේ දූරු තිදෙනෙක් "බලන්ට යන්ට" සිදු වී ය. සෑම විශේෂ අවස්ථවක දී මෙන්ම මව්පිය දෙදෙන දරුවන් තිදෙනාට මෙසේ උපදෙස් දුන්හ.
"වැඩිය කතා කරන්ට එපා"
තරුණයින් තිදෙන යෝජිත මනාලියන්ගේ මිදුල හරහා පිලට ගොඩ වෙත්ම පසෙකින් තිබුණු අබ කොල පිරි වට්ටියක් නෙත් ගැටුනි. ගෙහිමි වැඩිහිටියන් දෙදෙන දොරකඩ ය. එක තරුණයෙකුට තම දුර්වලතාව ද උපදෙස් ද මොහොතකට අමතක වූයේ අබ කොල වට්ටියේ සිටි පනුවෙකු දැකීමත් සමඟ ය. ඔහු පනුවන්ට බය ය.
"අ..අ..අබ කොල වට්ටියේ ප..ප..පව්වෙක් ඉව්වා.." යැයි ඔහුට වහා කියැවිනි.
"ඒ.. ඒ.. ඒක හබව්වා" දෙවැනියා පිළිතුරු දුන්නේ ය.
ක්ෂණයකින් මව්පිය උපදේශය සිහිපත් වූ තුන් වැනියා එය අකුරටම පිළිපැද්දේ...
"කව්රු කතයියා මං නොකතයියා.." කියමිනි!
* * *
හරියටම සමහර ලිපි බලන මං වාගේ!
simple "s"
No comments:
Post a Comment