"වදල"
මගෙ අප්පච්චිගෙ කෘෂිකර්ම (ප්‍රායෝගික) පාඨමාලාවෙන් .. අංක 05
"අනේ... අප්පච්චි මං හිටුවපු මිරිස් පැල ටික මැරිල..."
"ංආ...අපි පස්සේ තව ටිකක් හිටුවමු.."
"ඉතිං අප්පච්චි එතකොට වැහිත් එයි.. හවසුත් වෙයිනෙ..."
"ඒ දෙකම හොඳයිනෙ මයෙ පුතා .. දැං අපි මේ ඉරිඟු ඇටයි මෑ ඇටයි හදල ඉඳිමු.. "
"හ්ම්."
"මං මේ කොටන වලවල් වලට ඉරිඟු ඇට දෙක දෙක දාල පස් දාංට. ඉස්සර වෙල දහයක් ගනං කරල අතට ඇන්න ඒක වලවල් කීයකට ඇති වෙයිද කියලත් හිතංට... වල උඩ වතුර රැඳෙන්නෙ නැති වෙංට පස් වලිං ආපහු වල වැහෙංට ඕනෑ."
"අප්පච්චි.. ඇට පැල වෙංට වතුර තියෙන එක හොඳයිනෙ... සමහර වෙලාවට අපෙඅම්මත් එක්ක වතුර ඇන්න ඇවිත් දාන්නේ අප්පච්චිත්... මිරිස් තවාං වලට එහෙම.."
"ඒ පායන දවස් වල, පොලොවේ, මේ වලවල් වල තෙත වේලෙනවානෙ.. ඒකෙං යට කරපු ඇට වලට පැල වෙංට බැරුව යනවා.. ඒ වාගේම වැහි දවස්වල, වලවල් උඩ වතුර රැඳුනොත් ඒවත් උරාගෙන තෙත වැඩි උනාමත් ඔය ඇට ජාති නරක් වෙනවා. ඉතිං එව්වා පැල වෙන්නෙ නෑ. පැල වුනත් එව්වා හොඳ පැල නෙවේ පුතේ.. අව්ව වතුර දෙකම ඕන. තරමකට."
"ඉතිං අප්පච්චි මිරිස් ඇට තවාං වලට වතුර දාන්නේ.. ?"
"මිරිස් බටු වගේ ඇට ජාති වල පොත්ත තද වැඩී. අපිට පේන්නෙ නෑ... පැලවෙන කාලෙට ටිකක් වැඩියෙන් තෙත ඕනෑ. පොඟල, පොත්ත බිඳගෙන පැලේ එලියට එංට පාසු වෙංට. හුඟක් පායන කාලෙදි නං ඉරිඟු ඇට රෑක් විතර වතුරේ දාල තියල ඇරගෙනත් හිටවනවා. එතකොට පැලවීම ඉක්මං වෙනවා. "
"හ්ම්.. අර බිත්තර .. පැල වෙංට දානකොට වාගෙ නේද..?"
"ආන්න හරි. බිත්තර නෙවේ මයෙ පුතා බිත්තර වී, පැලවී වෙංට.. "
"අප්පච්චි මං හිටුවපු මිරිස් පැල ටික දැං.. "
"තව ටිකක් අව්ව සැර අඩු වුනාවයි.."
"ඇයි ඒ..?"
"මයෙ පුතා ඊයේ මිරිස් පැල හිටෙව්වේ අව්ව සැර වෙලාවේ.. එතකොට අව්වට එව්වා පිස්සෙනවා .. සමහර වෙලාවට පසට යට වුන හරිය නං තවම හොඳට ඇති..ඒ වුනාට අපි අලුත් පැල ටිකක් හිටුවමු. දවසක් දෙකක් යනකල් මොනවාහරි අතුවලිං වහල තිබ්බොත් වැඩිය හොඳයි. ඇට ජාති උදේ වරුවෙයි, පැල ජාති හැන්දෑවරුවෙයි තමයි හිටවංට ඕනෑ..."
"අප්පච්චි දැං කිව්වා පැලයක් සරු වෙංට වතුර ඕනෑ කියල. වෙන මොනවද..?"
"ඇයි මයෙ පුතා.. පැලේට ඕනෑ තරමට ඉර එලිය, පස්.. හොඳ පොහොර පස්, ඉඩ, ආරස්සාව..."
"ඉඩ ඕනෑ කිව්වේ අප්පච්චි..?"
"අර බලංට ... අර මිරිස් තවානේ.. මැද පැලයි, වටේ ඉඩ තියෙන තැංවල පැලයි දිහා .. වටේ පැල සරුයි නේද? එව්වා හැදෙංට හොඳට ඉඩ තියෙන හිංදා ඒ.."
"මේ හිටවල තියෙන එව්වා අතරේ තියංට ඕනෑ ඉඩ කොච්චරද කියල කොහොමද දන්නේ අප්පච්චි..?"
"මයෙ පුතා, මයෙ අප්පචි මට කියල දුන්නා, උන්දැට උන්දැගෙ අප්පච්චි... අන්න ඒ වාගේ තමයි."
"මයෙ අප්පච්චී මට කියල දෙනවා.. "
"ආන්න හරි.. "
"එතකොට අප්පච්චි ඉර එලිය ඕනෑ කිව්වේ?"
"ඒ තවානෙම අර අතන පැල ඇයි සරු නැත්තේ.. සමහර තැං පාලුම වෙලත්නෙ. ඒ පැල වලට ඉඩත් තියෙනවා.. අනික් එව්වට වගේම වතුරත් වැටිල.. පසුත් තියෙනවා. ඒත් ඇයි එහෙම කියල හිතුවෑකිද..?"
"ම්හ්ම්.. බෑ අප්පච්චි.."
"අන්න අර පේර අත්ත... ඒකේ දලුක් දඹල වැලකුත් යාං වෙලනෙ. එව්වෙං හෙවන වෙල. ඉතිං ඕනෑ තරමට ඉර එලිය වැටෙන්නෑනෙ. ඒකයි.. එහෙම ඉර එලිය වැටෙන්නේ නැතුව දිගටම වැහිල තියෙන එකට කියනවා වදල කියලත්, තව වචනත් තියෙනවා... හොඳට හැදුන පැලේකට ගහකට වුනත් ඒ ඔක්කොම දේ තියෙංට ඕනෑ.."
"අප්පච්චි.. ගේ ඉස්සරහ ගල් වැටේ.. ගලක් උඩ .. පස්ටිකක් තියෙන වලක ... ආං හොඳට තක්කාලි පැලයක් හැදෙනවා. වතුර දැම්මෙත් නෑ. මොකුත්..."
"ඒක මෙහෙමයි ..මයෙ පුතාට තේරෙයිද මං දන්නෑ... ගස් වැල් සත්තු හැම එකම තව තව බෝ වෙංටනේ බලන්නේ.. සොබා දර්මේ නියම කරල තියෙන්නේ එහෙම... ඉතිං ඉඩක් තියෙනවා නං ගහක ඇටයක් දන්ඩක් බලන්නේ පැල වෙල හැදෙංට ... ඊට පස්සේ එයත් තමන්නේ අය බෝ කරංටමයි තනන්නේ. ඒකනේ අර..."
"අනෙ අප්පච්චි.. මට ඒ ටික තේරෙන්නෙ නෑ."
"ඔව් මයෙ පුතාට දැම්ම තේරෙන්නෙ නෑ පුතේ. ලොකු වෙනකොට..., ලොකු පන්ති වලට යනකොට, මයෙ පුතාට ඒව්වා යසට තේරෙයි.. ඒකනෙ මං කියන්නේ.. හොඳට බත් කාල ලොකු වෙල .. හොඳට හොඳ..ට ඉගෙන ගංට කියල මයෙ පැටියෝ.. "
"හ්ම්.. අප්පච්චී, හැම ගහකට පැලේකටම ඔහොම ඉර එලිය, වතුර ඕනැද?"
"හොඳ ප්‍රස්නයක්.. පුතේ සමහර කොල ලස්සන මල් ගස් තියෙනවා වදලේ හැදෙංට කැමති එව්වා. එව්වේ කොල ඉර එලිය වැටුනොත් ලස්සන අඩුයි. තව ගස් ජාති තියෙනවා වතුර වැඩිය කැමති නැති එව්වා. ඒ විතරක් නෙවෙයි මං අහල තියෙනවා අර මුද්දරප්පලං.. එව්වේ වැලේ මුල හෙවනෙයි, කොලත් එක්ක වැල අව්වෙයි තියෙංට ඕනැලු හොඳට පලගංට නං."
"අමුතු ගස්... නේද අප්පච්චී?"
"සමහර පව්ලක වුනත් අනික් අයට වෙනස් කෙනෙක් ඉන්නවනෙ මයෙ පුතා...!"
simple "s"
2017.11.07
No comments:
Post a Comment