Wednesday, November 7, 2018

උඩගෙදර කතා 36 (1958 දී)

                                "1958 දී ..... "

"අපෙ වෙද මහත්තයා"               2 කොටස

"මට තේරෙනවා ගමේ අයගෙ සනීපාරක්ෂාවට තව කෙරෙන්න තියෙන දේවල් බොහොමයි. දැනට වැසිකිළි හදා ගන්න නොමිලේ කොන්ක්‍රීට් ලෑලියි ටකරනුයි දුන්නා. රුපියල් දහයක් සල්ලි වලිනුත් දීලයි තියෙන්නේ.. වල කපා ගන්නයි බිත්ති බැඳ ගන්නයි. එහෙම කරලාවත් මිනිසුන්ගෙන් මේ වැඩේ කරවා ගන්න බොහොම අමාරුයි. දෙතුන් දෙනෙක් නම් දැන්ටම හොඳට හදා ගෙන. එක්කෙනෙක් දෙන්නෙක් කොන්ක්‍රීට් ලෑල්ල විකුණන්ටත් හෙව්වා කියල ආරංචියි. මට මේ වැඩ ටිකයි මිනිසුන්ට ගුරුහරු කම් දීමයි තනියම කරන්නයි අපහසු.. "

"ඒත් මහත්තයෝ මේ වැඩත් එක්ක මම ඔව්වට සම්බන්ද වෙන, ගමේ ඇවිදින එක නං බොරුවක්.."
"නෑ නෑ තාත්තා මෙව්වට සම්බන්ධ වෙන එක කරන්න බැරි දෙයක්. අද මමම හොඳට දැක්කනෙ. ලෙඩ්ඩු ඉවර වෙනකල් ටික වෙලාවක් මම එලියේ ඉඳලයි ආවේ. ඔන්න ඔයෙ විදිහටම මිනිස්සුන්ට හොඳ සෞක්‍ය පුරුදු කියල දෙන එකම ලොකු දෙයක්.

ඉවර තියෙන වෙලාවට මේ වැඩ පටන් ගන්න තැන් වලට ගොඩ වෙන්නත් බලන්න. මම දැනටම ගෙන් ගෙට ගිහින් ලමයින්ගෙ නිය පොතු, කහළ ගොඩවල් එහෙම බලලා උපදෙස් දෙනවා.. ගෙන් ගෙට ගිහින් කියා දෙන එකට වෙලාව මදි. මීට පස්සේ ඉස්කෝලෙදි ලමයින්ට කියා දෙන්නයි ගොවිතැන් වැඩ ගැනත් එක්ක සෞඛ්‍ය චිත්‍ර පටියක් දෙකක් ඉස්කෝලෙදි පෙන්නන්නයි සමිතියක් වාගේ කට්ටිය රැස්කර ගන්නයි පිළිවෙල යොදලා තියෙනවා.."

              මහත්තයා තව තව පැහැදිලි කරනවා. අප්පච්චි බොහොම පැහැදීමෙං කැමැත්තෙං අහගෙන ඉන්න බව මූණේ ලා හිනාවෙංම පේනවා.

"මහත්තයෝ වැඩ ටික නං බෝම අගෙයි. මට පුළුවං හැම උදව්වක්ම කරන්නං. මිනිස්සු අහක දාන, මායිං නොකරන ගුණ එල්වලු පලා ජාති ගැනත් කියා දුන්නොත්..."
"ඔව් තත්තා, මේ වැඩවලට සමිතිය හදා ගන්න එක වැදගත්. ඒකටත් මිනිස්සු එක්කර ගන්න අපහසු වෙයි කියලා හිතෙනවා.. ලොකු හාමුදුරුවොයි ලොකු මහත්තයයි මෙම්බර් මහත්තයයිත් මේ වැඩ ටිකටයි සහයෝගය දෙන්නයි බොහොම කැමතියි. ආ මට කියන්න අමතක වුනා.. පනු බේත් දෙන වැඩ සටහනත් ආපහු පටන් ගන්න කතා කර ගත්තා"
"චින්නපොඩියම් ද?"
"අන්න හරි.. "

              අප්පච්චි මයෙ මූණ දිහා බලනකොට මට තේරුනා තේ හදංට කියන්නේ කියල. ඒක හිතලම අපෙ අම්මත් කල් තියාම ලෑස්ති වෙල.! මං ආපහු කාමරේට යනකොට කතා කර කර හිටිය එකෙං කොටසයි ඇහුනේ..
"... අතරමඟ ඉස්කෝල ගමන නවත්තන එකත්..."
කියනවා විතරයි.
"අපි තේ වතුර ටිකක් බිබී කතා කරමු.. යං.."

               මේ කතා බහ බොහොම වැදගත් වග මටත් තේරුනා.. අවසානේදී මහත්තයා කීව කතාව නං  මයෙ හිත කලබල කෙරුවා..

"කොලොංගහ හන්දියේ රෙදි කඩේ ලඟ පාක්‍යම් කියලා ඇපෝතිකරි කෙනෙක් බෙහෙත් ශාලාවක් පටන් ගන්න යනවලු. එයා පව්ල පිටින් ඇවිත් මේ කිට්ටුව ගෙදරකලු පදිංචි වෙන්න යන්නේ.."
"හොඳයි මහත්තයෝ.. ගම් පැත්තේ අයට යහපතක් වෙනවා නං.. ඒක හොඳයි."
"තාත්තා වාගේ අතිං සල්ලි වියදම් කරලා නෙවේ.. අය කරලානෙ "
"මං ලාබ ප්‍රයෝජනයක් බලාගෙන කරන දෙයක් නෙවෙයි මේ. ඉතිං සල්ලි තියෙන ඇත්තෝ එහෙ යයි.. මේ කරමෙට කැමති අය මෙහෙ එයි.. කවුරු ආවත් ගියත් මයෙ වෙනසක් නෑ. ඉක්මනිංම ඔහොම වැඩක් පටං ගැනෙයි කියල මං දැනගෙන හිටියා මහත්තයෝ."

             අප්පචිචි එහෙම කිව්වේ බෝම උපේක්සාවෙං, ඉවසීමෙං.. සැන්ටි බෝට් මහත්තයා
ආපහු ගියේ තව ටික වෙලාවක් කතා කරල... අයෙත් දවසක එනවත් කියල, බෝම ගෞරවයෙං අම්මටයි අප්පච්චිටයි ආචාර කරල, මටත් හිනා වෙල...

             සතියකිං විතර ආරංචි වුනා පාක්‍යම් බෙහෙත් සාලාව ඇරියා කියල.
             තව සතියක් දෙකක් විතර යනකොට අප්පච්චි ලඟට බේත් ගංට එන ඇත්තොත් ටිකෙං ටික අඩු වුනා. අප්පච්චි කලබලයක් නෑ;  විවේක වැඩි හින්දා.. කල්ක, අරිස්ට, බේත් තෙල් වගේ දේ හදා ගත්තා; පරන පුස්කොල පොත් මිටිය ආපහු කියවන්ට පටං ගත්තා; ලඟට එන හැම ලෙඩෙකුටම හොඳිං බේත් කෙරුවා..; උපදෙස් දුන්නා.

             මම තවත් අප්පච්චිට කිට්ටු වුනා. අප්පච්චී මට තව තව කියල දෙන එකත් වැඩි වුනා. ඒ වුනත් මට අප්පච්චි දකිනකොට බඩ දාල යනවා. මම කොයි වෙලාවකවත් පාක්‍යම් බෙහෙත් සාප්පුව ගැන කතා කරේ නෑ.

             මේ වෙන කොට බෝරට එහෙම මයෙ අප්පච් නිකංම නිකං වෙදා! පාක්‍යම් දොස්තර මහතයා එක කුඩු මුලෙන් ලෙඩ්ඩු සනීප කරන දෙවි කෙනෙක්..!

              මේ අතරේ රටේ හුඟක් තැං වල දෙමළ මිනිසුන්ට හිරිහැර කරනවා කියල ආරංචියක් ආවා. සමහර ඇත්තං මරලත්ලු. ගෙවල් කඩවල් ගිනි ගහලලු. පොලීසියට කිසි දෙයක් හොයා ගංට බැරිලු.
  
             අප්පච්චි හැන්දෑවක ලෙඩෙක් බලන අතරේ කඩේ බඩු කිරන ගුනදාස හති දාගෙන ආවා.

"මට වෙදමහත්තයට කතා කරන්ට ඕනෑ... මේ දැංමම."
"ගුනදාස හැති ඇරල ඉන්ටකො ටිකකට.."
"අපෙ වෙද මහත්තයා.., මුදලාලී කියන්ට කිව්වා.. අද රෑ දොස්තර මහත්තයගෙ ගෙදරට ගහන්ට කාන්ඩයක් ලෑස්තියිලු. බෝරයා එහෙම."
"හ්ම්.. මං ඉක්මනිං එනවා කියංට. මුදලාලිටත් ලෑස්ති වෙල ඉංට කියංට මාත් එක්ක ගමනක් යංට.." අප්පච්චි විනාඩියක් විතර කල්පනා කර කර ඉඳල ගුනදාසට කිව්වා.

"මේ රෑ වෙල කොහෙ යංටද?" අපෙ අම්මා එහෙම කිව්වේ 'යනවට මං නං කැමති නෑ මයෙ දෙයියෝ" කියන ඇවටිල්ල අඟවන විදියට.
"මොකා වෙච්චත් අසරණ වෙලාවනෙ. මං පරිස්සමිං ගිහිං බලල එන්නං."

             අප්පච්චී එංට ටිකක් පමා වුනා. අපෙ අම්මගෙ කලබලේ එංට එංටම වැඩි වුනා.
"පණිවිඩයක් වත් ගන්ටයැ.. බෝරයා එහෙම නහයට කටුවට ඇති එවුංද? ජරාව කට ගාගෙන ඇති.."
"නෑ අපෙඅම්මා අප්පච්චිට කලබොලයක් කරංට  එන්නෑ. අපෙ අම්මා බය වෙංට එපා. "

                 අපෙ අම්මගෙ හිත හදංට මං එහෙම කිව්වට මයෙ තොල් දෙකත් ගැහෙනවා. මයෙ අප්පච්චිට තුරුනුවන්නේ සරණයි.. යහපතක් කරංටනේ ගියේ..

"තවම මොකවත් කලබලයක් නෑ.. ඒ ඇත්තංටත් රටේ කලබල ගැන ආරංචි වෙල. පොඩි දෙන්නෙකුත් එක්ක ගැහි ගැහි මුලු ගැන්නිල ඉන්නවා අපි යනකොට. කොල්ලෝ තුං හතර දෙනෙක් එක්ක ඒ ඇත්තන්නේ නෑයෝ කාන්ඩෙයක් ඉන්න තැනකට යැව්වා.. මිඩ්ලන් වත්තේ." ආපහු ආව අප්පච්චි එහෙම කිව්වා.
               අප්පච්චිලා දැක්කමත් ඉස්සරවෙල ටිකක් බය වුනාලු. විස්තර කතා කෙරුවමලු මූණට හිනාව කලඳක් ආවේ. පොඩි ඇත්තෝ බඩ ගින්නේ දවසක්ම ඉඳල තියෙන්නේ. සුදු ආප්ප ගිහිං දීල තේ වතුර ටිකක් අප්පච්චිලාම හදල දුන්නලු.
 
               පහුවදාත් උදේම බෝරයා හීං එකියක් එක්ක බුලත් අතකුත් ඇන්න අප්පච්චි මුණ ගැහෙන්ට ආවා..

"අපෙ වෙද මහත්තයා, මේකිගෙ කං කැක්කුමයි කියනවා.. ඊයෙ රෑ තිස්සේ ඇහැරගෙන ඉඳල. මං ගෙදර හිටියෙත් නෑ.."
"ඇයි කොහෙ ගිහිංද.."
"මේ මේ.. කොලේකට ගියා අපෙ වෙද මහත්තයා."
"මේ දවස් වල..?"

                 කාලයක් සද්ද අඩු වෙල තිබ්බ අපෙ ගෙදර අයෙත් මිනිසු ගැවසෙන්ට පටං ගත්තා. දවසට පස් හය දෙනෙක් වත් බුලත් අත් ඇන්න එනවා. පෙලක් අය කෙහෙල් ගෙඩි ඇවරි දෙක තුනක්,  කටුවල ටිකක්, පැණි පුහුල් ගෙඩි දෙකක් තුනක් වාගේ දේත් ගෙනාවා. තව ඇත්තෝ වැලි තලප, කිරි රොටී, කැවුම් ටිකක් වාගේ ගෙනාව දවසුත් තිබ්බා. එහෙම වෙලාවක ඒ ඇත්තෝ බෙහෙත් ගත්තේ නැති වුනත් අප්පච්චිට වැඳල "හීං එකීට දැං සනීපයි අපෙ වෙද මහත්තයට බුදුබව අත් වෙන්ට" වාගේ දෙයක් කියලයි යන්නේ. ඒ මොන දේකටවත් අප්පච්චි වැඩි වෙනසක් පෙන්නුවේ නෑ. "තේ වතුර ටිකක්වත් බිව්වද?" වාගේ වචනයක් දෙකක් කතා කරනවා විතරයි.

             මේ කාලේ මට ඉගෙන ගංට ලැබුන දේ අතරේ වනවෙල තියෙන පරන තුවාලයක් සුද්ද වෙංට හුලං ඉස්කෝතුවක් වතුරේ පොඟවල බඳින එක, දෙයියන්නේ ලෙඩ හැදිල කලු පාට හංපලු ඇඟේ ඉතුරු වුනාම මුං ඇට එලකිරෙං අඹරල ගාන එක,  කම්මුල් ගෙඩි හැදුනම දවස් කීයක් ගියත් ඉදිමුං  තියෙනවා නං නාවංට හොඳ නැති එක වාගේ කාරනා ගොඩක්.

               සැන්ටිබෝට් මහත්තයා තව දවසක් දෙකක් ගෙදර ආවා. වැඩ ටික කෙරෙන හැටි අප්පච්චිට කියල ගියා.

               සමිතිය පටං ගත්ත දවසේ අප්පච්චිත් ඉස්කෝලෙට ගියා. එව්වා ගැන අප්පච්චි අපිටත් කැමැත්තෙං කිව්වා. චිත්‍රපටි පෙන්නපු දවසක අපෙඅම්මත් එක්ක මාත් ඉස්කෝලෙට ගියා. බෝරයා එදත් බීල ඉස්කෝලෙට ඇවිත් කෑ ගැහුවා. හැබැයි කිව්වෙම සැන්ටිබෝට් මහත්තයගෙ වරුණාව.

"අපෙ ගමට දෙයියෝ එව්ව මහත්තයෙක්" වාගේ කතා. ඉස්කෝලේ ලොකු මහත්තයා කතාවක් කෙරුවා. සැන්ටිබෝට් මහත්තයා ගෙවල් දොරවල් වල පිරිසිදු කම වාගේ දේ ගැන කතා කෙරුවා.

                මේ අතරේ හිටිය ගමං අපෙ ගෙදරත් පුංචි කලබලයක්... මට හේතුවක් කියන්නැතුව ගමේ දෙන්නෙකුත් ගෙන්නාගෙන වත්තයි ගෙදරයි අස් කරනවයි.. බඩු මුට්ටු පිහිනවයි.. පාර, මිදුල අස් කරනවයි... ඒ මදිවට කැවුං කොකිසුත් හදනවා.. අලුත් පුටු කවරත් අපෙ පුටු කීපෙට දැම්මා. ලොකු අක්කලයි හීං අක්කලයි හීං අම්මලයිත් පවුල් පිටිංම ගෙදර ආවා..

"මයෙ දුවගෙ ලැබීම .. තුං සරණේ පිහිටයි. සියලු දෙවි දේවතා උන්නාන්සෙලගෙ රැකවරණයි" කියල හීං අම්මා මයෙ ඔලුව අත ගාල කිව්වා. බ්‍රාස්පතිංදා
සැන්ටිබෝට් මහත්තයගෙ අම්ම තාත්තලා අපෙ ගෙදර එනවලු ... !

                                                    simple "s"
2018.02.26

No comments:

Post a Comment