Wednesday, November 28, 2018

උඩගෙදර කතා 20 (පොලොස්)


                               "පොලොස්..."

මගෙ අප්පච්චිගෙ කෘෂිකර්ම (ප්‍රායෝගික) පාඨමාලාවෙන්.                  (අංක 20)

             අදත් අපෙ පන්තියේ නෝන මහත්තයා අපෙ ගෙදෙට්ට එනකොටම මං දැන ගත්තා මොකක් හරි කෑමක් ගැන කතා කරංට තමයි කියල. අතේ පොඩි පාරසලේකුත්. ඔන්න ඒක ලිහංට මට ආසා හිතුනා. පත්තර කෑල්ල කියවංට!

"එංට... අපෙ නෝන මහත්තයා.." අප්පච්චි බෝම ගෞරවයෙං කතා කෙරුවේ. කිළුටක් නැතත් කරේ තිබුන කම්බි ලේංසුවෙං පුටුව පිහදාල වාඩි වෙංට තිබ්බා.
"ඔහොම තියංට මාමේ..."
"අපෙ නෝන මහත්තයා හුඟක් දවසකිං දැක්කෙත්."
"ඔන්න මාමෙ එදා මම තලප ගැන ලීව ලිපිය මේ සඟරාවේ පල වෙලා තියෙනවා. මේ බලන්න. ඕක මාමට තියා ගන්න ගෙනාවේ."
             අප්පච්චිත් එක්ක මාත් ඒක බැලුවා. එදා කියෙව්වේ නැති කෑල්ලකුත් ලිව්ම අගම තිබ්බා. නෝන මහත්තයගෙ නම, ඉස්කෝලේ  නම, ලිව්ං ලැබෙන හැටි..ඔක්කොම අච්චු ගහල. විසේසෙම්ම...
"ස්තුතිය: තොරතුරු ලබා දුන්.... ට." අප්පච්චිගෙ නම මයෙ අප්පෝ... අච්චු ගහලම මයෙ අප්පච්චිගෙ නමත්.. අපෙ කායෙවත් නමක් අච්චු ගහල තියෙනවා මං දැක්ක පලවෙනි සැරේ. මට හරියෙට සංතෝස හිතුනා.

"මාමේ මේ දවස් වල හේං වල කුඹුරු වල එහෙම වැඩ නම් ඉවර වෙලා නේද?"
"ඔව් නෝන මහත්තයා... වක් මහට කිට්ටු වෙනකල් කීප දවසක නිමාඩුවක් තියෙනවා."
"අද මම ආවේ කොස් ගැන මාමගෙන් තොරතුරු ටිකක් අහගන්න. අද විවේකයක් නැත්තන් වෙන දවසක වුනත් කමක් නෑ. තලප ගැන ලිපිය දැක්ක හුඟ දෙනෙක් මට ලියුම් එවලා ගමේ ගොඩේ කෑම ගැන තව ලියන්න  කියලා. 
"අද විවේක දවසක්, අපි කතා කරමු. හැබැයි කොස් ගැන කැටියක් කතා කරංට තියෙනවා. අනික් එක කොස් වලිං හදන කෑම ජාති ගැන නං කව්රුත් වාගේ දන්නවනෙ නෝනමහත්තයා."
"නොදන්න අය ඉන්නත් පුලුවන් ... දන්න අය නොදන්න විදිහවල් මාමලා හදනවා වෙන්නත් පුලුවන්. ඒ හින්දා අපි ඒ ඔක්කොම ලියමු මාමේ."

               අප්පච්චි නෝනමහත්තයට කුරුම්බා ගෙඩියකුත් කපල දීල කතාව ආපහු පටං ගත්තේ .

"නෝනමහත්තයා... කොස් ගහ මනුස්සයගෙ වාසනාවට හැදිච්ච එකක්. හදංට කියලවත් සාත්තු කරංට කියලවත් මහංසි වෙනවා කියල එකක් තියෙන එකක්යැ.. ඒ වුනාට තියෙන පොරෝජනේ.!

ඔය කොස් ගහේ වේලිච්ව පොත්තයි අලුත් පොත්තයි අතරේ තියෙන, අර පොඩි අය සෙල්ලං බත් ඉයනකොට කහ කියල ගන්න කුඩු තියෙන්නේ. කුඹුරක හැඩේ එංට කෑලි කෑලි මූට්ටු කරල මහගන්න සිවුර පඬු පොවංට ගන්න පාට හදංට අන්න ඒ කුඩු ගන්නවා. විසේසෙම්ම කටින සිවුරට.  ආයෙ, මෝරල වැටෙන වරකා කොස් කොල තම්බල බොනවලු දියවැඩියාව තියෙන ඇත්තෝ."
"මාමලාගෙ ගම්පැතිවල ඉතින් දියවැඩියා ලෙඩ්ඩු නෑනෙ. දාඩිය වැටෙන්න හැමදාම වැඩපොල කරන හින්දා .."
"ඒක ඇත්ත නෝනමහත්තයා....
කොස්කොල කංට එලුවෝ බෝම මනාපයි. කොස් ලී දඬු, ලෑලි එහෙම බෝම හයියයි. අර දොර..... තනි ලෑල්ල ඉරල ගත්ත එක්කිං හදල තියෙන්නේ. හැබැයි ඉතිං තනිකර අරාටුවම ගංට ඕනෑ. එලේ අහු වුනොත් කිරි ගුල්ලා ගහනවාම තමයි.

නෝනමහත්තයා.... කොස් ගෙඩියේ එක එක සන්දියට එක එක නං හදාගෙන තියෙනවා."
"පොලොස් කොස් වැල වරකා වාගේ නේද මාමේ."
"නෑ.. නෑ.. ඒ විතරක් නෙවෙයි. පොලොස් ගත්තොත් පොලොසුත් කෑමට හදන විදියේ හැටියට එක එක නං තියෙනවා. ඉස්සර වෙලම ඉරි බේරෙංටත් කලිං.. පුංචිම කාලෙදි, කුඩු කොටන පොලොස්. හොඳටම ලපටි ගෙඩිය. මදුලු ඇට වෙංකරල අඳුරා ගංටවත්  බැරි තරං කාලේ. කපනකොටම කහට පිපෙනවා. ගෙඩිය හතරට පහට පලල ඇන්න, යංතං කොස්කට්ටයි නහයයි ටිකක් අයිං කරනවා, පිටොස් කියන කොටසත්  ඉතුරු වෙංට..."

"පිටොස් කියන්නේ මාමේ?"
"කටුවයි ඉරියි අතරේ තියෙන සුදු පාට ගනකං කොටසට.."
"ඊට පස්සේ යංතං තම්බනවා. ගොඩක් තැම්බුනොත් වනේ කොටනකොට මැටි වාගේ වෙනවානේ. මේ කුඩු මැල්ලුම හදංට තරමටයි තම්බන්නේ. තැම්බුන පොලොස් කෑලි හීනිවට පෙති ගහල පිරිසිදු වංගෙඩියේ තෙරපනවා. කෙටුනම අතිං මල් කරගංට, ඒ කියන්නේ තෙත නැතුව කුඩු කරංට පුලුවන් තරමට. ඊට පස්සේ කහ ටිකකුයි සම්බෝලේකුයි දාල තෙල් දාල මලවල ගන්නවා. හරි රසයි.

ඊගාවට ගන්නේ සාමාන්නිය පොලොස් ගෙඩිය. කහට නැති හොඳ පොලොස් ගෙඩිය තෝරා ගන්න හැටි රහසක් තියෙනවා. ඔය පොලොස් ගෙඩියේ නැට්ට වටේට කොලපාටට මල් පෙත්ත වාගේ  තියෙන එව්වා තමයි හොඳ. ඒක පලලට තියෙන තරමට හොඳයි. විනාඩියකට මේ ගහ ගාවට එංටකො."

                 අප්පව්චි නෝනමහත්තයා එක්කරගෙන ගියා ගල් වැට ගාවා කොස්ගහ ලඟට. ඒ ගහේ බිම ඉඳලම ගෙඩිනෙ. කුඩු කොටන ගෙඩියි ඒ කිව්ව මල් පෙත්ත වාගේ එකයි පෙන්නුවා.

"තෝරා ගත්ත පොලොස් ගෙඩිය පහට හයට පලල කොහොල්ලෑ අයිං කර කර නහය ඒ කියන්නේ සමහර අය වහල්ල කියන එකයි කට්ටයි කපල අයිං කරල ටිකක් ලොකු කැට කපා ගන්නවා. හොඳට මිරිස් තුනපහ ගොරක හරි සියඹලා හරි ටිකක් දාල සුදු ලූනු  කුරුඳු පොතු එනසල් කරාබු නැටි ටිකකුයි වැඩිපුර පොල් කිරියි දාල ලිප තියනවා. කිරි මැද්දෙං පැහීගෙන එනකොට ගිංදර අඩු කරල මද ගින්නේ සෑහෙන වෙලාවක් ඉදවනවා. සමහර ඇත්තෝ රැයක් එලිය වැටෙනකල් මද ගින්නේ ඉයනවා කියලත් කියනවා.

කොහොමහරි ඉස්ම හිඳෙනකල් ඉදෙංට අරිනවා. හරියට පදම ආවා නං, හොඳ කොස් ගහක ගෙඩියක් නං පොලොස් කෑලි මැද රෝස පාට වෙනවා. සමහර ඇත්තෝ එහෙම වෙංට, බුලත් විටට කන හුනු ඩිංගක් දානවලු. එව්වා නං හොඳ නෑ මයෙ හිතේ."

"මයෙ පුතා අම්මා කොහෙද කියල බලල කේතලේ ලිපට ලං කරංට කියංට." අප්පච්චි මට කිව්වා.

එතකොටම අපෙ අම්මා පිඟානකට මොනවාදෝ ඇන්න එතෙංට ආවා. හ්ම්.. අග්ගලා...!
"අපෙ නෝනමහත්තයට දැං සිබහත් නැතෑ. අපි තේ වතුර උගුරක් බීල ඉඳිමු."
"මට නම් නෙවේ නැන්දේ.. මාමටයි මහන්සි ඇත්තේ."
"මට මොන මහන්සියක්ද නෝන මහත්තයා. ඔන්න මේ මොනවද කියංට බලංට නෝනමහත්තයා..."
"මම දන්නවා... නැන්දා කොස් ඇට අග්ගලත් හදලානෙ. මම ආසයි ඒවට. අනේ නැන්දේ ගොඩක් පිං."

                  අපි ඔක්කොම කොස් ඇට අග්ගලා කාල තේ වතුර බීවට පස්සේ අප්පච්චි කතාව පටං ගත්තා. අපෙඅම්මත් එහෙමම නතර වුනා.

"නෝනමහත්තයා... ගෙදරවල්වල එදඑදා කෑමට පොලොස් ඇඹුල්ම ඔය තරං පිළිවෙලට හදන්නෑ. අපි පොලොස් මාලුව හදනවා. ඒකට ඔය මුලිං ගත්ත පොලොස් කැට තව කුඩාවට ගන්නේ. මිරිස් තුනපහ ලූනු ලුනු එක්ක, තියෙනවා නක් තක්කාලි ගෙඩි දෙකක් විතර ලොකු කෑලි කපල දාල කිරි ටිකක් එක්ක ලිප තියල ඉදෙනකොට බා ගන්නවා. අබ ටිකක් පුපුරවල තෙල් ටිකක් දාල ගත්තොත් තව හොදයි.

ඔයිට වැඩිය ටිකක් මෝරපු පොලොස් ලියල මැල්ලුම හදනවා. එහෙම ලියංට ලේසියි කටුව පිටිංම ඇන්න දෙපැත්තට හැත් ගහ ගහ ගන්න එක. එහෙම ලියල ඉවර වෙලයි හෝදන්නේ. එව්වට සම්බෝලයක් දාල මලවනවා.

ඕකම විස්තර නැති තෙල් දැමිල්ලකුත් කරනවා. ලුනු මිරිස් තුනපහ අමුමිරිස් දමල වතුර ටිකක් ලිප තියනවා. ඒක පැහීගෙන එනකොට ලියන ලියන පොලොස් ඒකට දම දම ඉදෙංට අරිනවා. ඉදෙද්දී එක සැරයක් පෙරලනවා. වතුරත් හිඳිල ඉදුනම තෙල් දානවා. පොල් තෙල් වෙනුවට මී තෙල් දාල ගංට පුලුවන් නං වැඩිය රහයි. අබ ටිකක් පුපුරවල ගත්තම තව හොඳයි. ඔය අවාරෙට හැදෙන පොලොස් ගෙඩියක් ටිකක් ලොකු ලොකු කෑලි කපල ඔහොම ගොඩේ වෑංජනේ හදනවා. ඒ කාලෙට ඒක හරි රහයි. තම්බපු පොලොස් එක්ක ඔය කට්ලිස් කියන එව්වා හැදුවමත් රහයිලු."
"කට්ලිස් ජාති හදන හැටි මම වෙලාවක නැන්දට කියල දෙන්නම්කො."

                  ඔය අතරේ අපෙ නෝනමහත්තයට මාත් එක්ක කතා කරංට ඕනෑ වෙල ඉන්නේ කියල මට  කලිංම තේරුනේ.
"මෙයත් දන්නවද ඔය ඉවුම් පිහුම්..?"
"අනේ නෝනමහත්තය තවම මොන ඉවිලිද? මේ ඊයේ පෙරේදා තමයි බත් ටික කවන එක නතර කෙරුවේ ඕං.." අපෙඅම්මා කිව්වා.
                 මට ටිකක් ලැජ්ජා හිතුනා. මං බිම්බලාන කකුලෙං බිම හාරනකොට ..
"එයාට දැම්ම ඔව්වා ඕන නෑ. හොඳට ඉස්කෝලේ  වැඩ ටික කරගෙන ඉන්නවා. කවදාහරි ලොකු මහත්තයෙක් වෙන්න පුලුවන්නෙ... ගුරුවරුත් ආදරෙයි. හැමදාම එහෙම ඉන්න ඕන.." අපෙ නෝනමහත්තයා කිව්වා.

                 අපෙඅම්මයි අප්පච්චියි යංතං හිනාවුනා විනා මොකවත් කිව්වෙ නෑ. මට හරි ආඩම්බරයක් දැනුනා. මං කවදාහරි ලොකු මහත්තයෙක් වෙනවා තමා... මං තවත් හිතා ගත්තා.

"මාමෙ පොලොස් වලින් හදන ඒවා තව තියෙනවද?"
"තව අපට වැඩිය හුරු නැති එකක් දෙකක් අහල තියෙනවා. පොලොස් අච්චාරු දානවලු... මයෙ පුතා නං කිව්වා ලොකු දුවලෑ ගෙදර ගිය දවසක අර තෝසේ කංට හදන පුලි ආනමටත් දාල තිබිල කෑවා කියල.

අනික මට කියංට අමතක වුනා... පොලොස් වාත කාරකයි. ඉතිං වෑංජන හැටියට කොහොම හැදුවත් සුදුලූනු බික් තුන හතරක් එක්කරංටම ඕනෑ."

"දැන් හවස් වේගෙනත් එනවා, මාමටත් මහන්සියි. කොස් එහෙම ගැන අයෙ හෙට කතා කරමු."
"හොඳයි.. නෝනමහත්තයා. හෙට නෙවෙයි අනිද්දා කමක් නැද්ද.. අපිට එදාට මීට වැඩිය කතා කරංට දේ තියෙනවා."
"හොඳයි මාමේ මම අනිද්දා නොවරදවාම එනවා. මේවා අපේ දේවල්නෙ. අහගෙන ඉන්නත් ආසයි..."
"නෝන මහත්තයට ගෙදර ඇන්න යංට අග්ගලා ගෙඩි කීපයක් ලෑස්ති කරල දුන්නට කමක් නැද්ද අපෙ නෝනමහත්තයා .." ඒ අපෙඅම්මා.

                    ඉස්සර වෙලා නෝන මහත්තයා අග්ගලා දෙකක් කෑවා. අපෙ අම්මත් දැක්කා. කැහුලාකම....!

                                                       simple "s
2018.08.17

No comments:

Post a Comment