Saturday, November 17, 2018

උඩගෙදර කතා 02 (කොන්ඩ උදැල්ල)

  
                       "කොන්ඩ උදැල්ල ...."

මගේ අප්පච්චිගෙ කෘෂිකර්ම (ප්‍රායෝගික) පාඨමාලාවෙන් ....                           (අංක 02)

                 කලිං දවසේ රෑ නින්ද ගියාද කියල මට මතක නෑ. අප්පච්චිගෙං ලැබුන තෑග්ගක් හින්දා..! පුංචි උදැල්ලක් . "කොන්ඩ උදැල්ලක්...!". අර.. උදලු තලේ පිටිපස්සෙං කොංඩෙයක් වාගේ තියෙන්නේ.

"හදවල දුන්නා වාගේ නෙවෙයි ... පැටියා තුවාලයක් කර ගනීද කියල බලා ගංට ඕනෑ.." ඒ අපෙඅම්මා..
"හ්ම්.." ඒ අප්පච්චි.
"උදුළු ගාංට එපා කියයි වද්ද.." එහෙම බය වුනේ මං.

                අප්පච්චියි මායි වත්තට ගියේ උදේ කාල  බීල.. මට කංට බොංට වුවමනාවක් තිබුනේ නෑ. ඒත් අප්පච්චි වාගේ ලොකු උදැල්ලකිං වැඩ කරංට නං හොඳට කාල ලොකු වෙංට ඕනැලුනෙ.. ඒ හිංදා මාත් කෑවා. තම්බපු මෑකරල් ඇට. පොලුත් එක්ක.

                මාත් උදැල්ලට වැංදා... අප්පච්චි වාගේ.

"ඇයි අප්පච්චි ඒ...?"
"අපි වැඩ කරන ආයුද වලට ගවුරව කරංට ඕනෑ මයෙ පුතා.  එතකොට අපිට පරිස්සං වෙංටත් හිතට එනවා.."

                    මං උදුළු තල දෙක තුනක් කෙටුවා...

"මයෙ පුතා.. මේ කකුල ඔච්චර ඉස්සරහට කර ගංට එපා...
"උදැල්ලට කෙටෙයිද.."
"ඒ විතරක් නෙවෙයි... විසි වෙල එන ගල් කැට ඒ කකුලේ වදිනවත් වැඩීනෙ"

                    ආපහු පටංගෙන ගත වුනේ තප්පරයයි. එයාගෙ උදැල්ල පැත්තක තියල අප්පච්චි මයෙ  ලඟටම අයෙමත් ආවා..

"මයෙ පුතා.. උදැල්ල මෙහෙම අල්ලා ගංට..." එක අතක් උදළු මිට කෙලවර කිට්ටුවටයි අනික් අත මැද්දට ටිකක් පහළටයි හිටිංට අල්ලල පෙන්නුවා.

"ඇයි එහෙම..?"
"එහෙම වුනාම උදැල්ල පහල අතේ කැරකෙන්ට ලේසියි.. මාංසියත් අඩුයි එතකොට.."

                      තරමක වෙලාවකිං අපෙඅම්මා කහට තේ ඇන්න ආවා. අප්පෝ... ! ඒකේ රහ ඒ වලාවේ..

"හ්ම්.. ඔන්න අත් දෙක රතු වෙල මයෙ පුතාගෙ.." තේ වතුර ටික මයෙ අතට දෙන ගමං අපෙඅම්මා කිව්වා..

                     අප්පච්ච් මයෙ දිහාවත් අත් දිහාවත් බැලුවෙ නෑ.

"මයෙ පුතා දැං අදට ඇති.. ආයෙ හෙට...අම්මත් එක්ක දැං ගෙදර යංට... ඊට කලිං මේ ටිකත් අහගංට.. ආයුදේකිං වැඩ කරනකොට එක දිගටම ඒක තදිං අල්ලාගෙන ඉංට එපා. උදැල්ලෙන් නං, ඒක බිමට පාත් කරන වෙලාවේ, බිම වදින වෙලාවේ තදින් අල්ලා ගංට... අනික් වෙලාවට අත බුරුල් කරල අතට හුළං වදිංට ඉඩ දෙංට."

"ඇයි ඒ?"
"අතට හුළං වැදුනේ නැත්තං අත් රත් වෙනවා. ඉස්සර වෙලා ඔහොම රතු වෙනවා. ඊට පස්සේ දිය බිබිලි ඇවිත් පුපුරනවා. කරගැටත් හැදෙනවා.."

                 එදා රෑ අපෙඅම්මා කැවුං හැදුවා.. මං බාලාංසෙදී පල වෙනියා උනාම වාගේ. ඒවයිං මයෙ  අත් දෙක තැව්වා..

"මේවට දිය බිබිලි සනීප වෙනවද අපෙඅම්මා..?"
"ඒකට විතරක් නෙවේ මයෙ පුතා, මයෙ පුතා අද ලොකු හපං කමක්නෙ කෙරුවේ, උදුලු ගෑව එක.. ඔය ඒ හින්දා ඕං... මයෙ පුතාට යෝද බල යෝද වීරිය ලැබෙංට ඕනෑ.." මයෙ ඔලුව ඉඹින ගමං අපෙඅම්මා එහෙම තව ගොඩාක් එව්වා කිව්වා.

                   පහුවදා මගෙ අත් ... හීංමාමණ්ඩිලෑ කිරි  නංගී ගොඩක් ඇඩුව දා එයාගෙ ඇස් දෙකයි මූණයි තිබ්බ හැටි වාගේ. අපෙඅම්මා කිව්වේ. " මයෙ පුතාගෙ අත්වල මුතු ඇටත් ..." කියල.
"තැලුං තෙල් ටිකක් ගාන්ට." අප්පච්ච් කිව්වා..!

                      
                                              simple "s"

No comments:

Post a Comment