Monday, November 26, 2018

උඩගෙදර කතා 78 (වාසනා)

  
                                "වාසනා... "

"අක්කේ, සෑන්ඩ් විචස් .. ගන්නවද?"
"ම්.. හා. දෙන්න."

              මා එසේ කීවේ කෙල්ලගෙ හිත රිදවන්න බැරි නිසා විනා කෑම අවශ්‍ය නිසා නො වේ.

             මේ වන විට අප ගමන් ගත් මාතර කෝච්චිය කඩුගන්නාව දුම්රිය ස්ථානයේ ය. ඉදිරියෙන් කොලඹ දෙසට වන්නට පදික වේදිකාවේ පසෙක මිනිස්සු විස්සක් විසිපහක් රැස්වී යමක් බලති. අප ඉදිරියේ වාඩි වී සිටි මැදි වියේ පුද්ගලයා දුම්රිය අසලින් යන කෙනෙකුගෙන් ලබා ගත් තොරතුර ශෝචනීය ය. ඒ,  මොහොතකට පෙර, දුම්රියක හැපී මිය ගිය තරුණයෙකුගේ දේහය ය.

            මා සමඟ සිටින්නේ වාසනා ය. ඈ මේ දක්වා වැඩ කර ඇත්තේ නුවර රජයේ කාර්යාලයක ය. ඊලඟ සඳුදා ඈ මාතර කාර්යාලයක වැඩ බාර ගනියි. ඇගේ ගම් ප්‍රදේශයත් නිවසත් ඒ ආසන්න ප්‍රදේශයක ය. මේ, නුවර කඩුගන්නාව අතර ගමනේ දී ඇගෙන් ලැබුනු ඇගේ තොරතුරු ය. අලුත් තොරතුර සමඟ ඈ තිගැස්සුනු බව පෙනේ. ඈ අත වූ පාන් පෙත්ත දැන් උකුල මත ය. මම වෙනසක් නොපෙන්වමි. ඈ ආහාර ගැනීම ද නවත්වයි.

"අක්කේ, 'ආදරයට ආදරය කිරීම' කියන්නේ හරියටම මොකක් ද?" යළි ගමන් ඇරඹූ පසු ඈ අසයි.
"මට වැටහෙන හැටියට නං මෙහෙමයි. කෙල්ලෙක් කොල්ලෙක් ගොඩක් ආදරයෙන් ඉන්නවා. කෙල්ල හිටි හැටියෙම වෙනස් වෙනවා. කොල්ලා කෙල්ලගෙන් දරුණු විදියට පලි ගන්නවා... ඒ කියන්නේ කොල්ලා ආදරය කරලා තියෙන්නේ කෙල්ලගෙ ආදරයට. ඒකනේ ඒක නැති වුනාම එයා නපුරු වෙන්නේ.. "
"හ්ම්.." කියමින් ඈ සුසුමක් හෙලයි.

              මම කිසිවක් නො විමසමි. ඈ දුකකින් සිටින බව මා නිරීක්ෂණය කළේ ඈ දුම්රියට ගොඩවී මා සමීපයෙන් අසුන් ගත් වේලේම ය. දෑස් රතු වී ව්ඩා බර ගතියක් තවමත් පෙනේ. ඒ සිදුවීම් කිසිවක් මම තවමත් නොවිමසමි.

"අක්කා බැඳලද?" බතලේගල තවමත් නොපෙනුනත් ඒ දෙස බලා සිටින ඈ මගෙන් විමසයි..
"ඔව් නංගී.. මට දරු දෙන්නෙකුත් ඉන්නවා."

               මොහොතක පමාවක් නැතිව මම ඇයට හාණියක් නැති බොරුවක් කියමි. එහෙත් මගේ සිත ද වේදනාව පිරි ඉසව්වකට ඇතුලු වේ.

"කවදා හරි අපේ දුවෙකුට අපි 'වාසනා' කියලා නම තියමු." අප කවදා හෝ විවාහ වනවා ද යන්න  නිශ්චය කර නැති කාලයේ වසත් කියූ සිය ගණන් එවැනි කතා අතරට එක් දිනක් මෙය එකතු කළේ විහිළු ස්වරයකින් නොවේ. ඒ කතා බොහෝ විට අසා සිටියේ මාත් නුවර වැවේ හීනි දිය රැලිත් පමණි.

             මා දැන් සිටින වයස මගේ බොරුවට හරි හැටි ගැලපේ. වසත්... ආදරණීය වසත්... මා ආදරයට ඇමතූ මගේ .. වසත්!

"අක්කේ, මං කතා කරොත් අක්කට වදයක්ද?"
"අපෝ නෑ නංගී.. ගෙනාව පොත කියවන්නත් එලිය මදි. කියන්න නංගිගෙ විස්තර."
"මට කතා කරන්න අක්කා මුණ ගැහුන එක ලොකු දෙයක්. අනේ අක්කේ මං ගොඩාක් දුකෙන් ඉන්නේ අද.."
"සන්තෝසෙන් වැඩ කරපු තැනක්, නැවතිලා හිටිය තැනක් දාලා යන කොට එහෙම වෙන එක ස්වාභාවිකයි. අනික.. අව්රුදු තුනකටත් වැඩී කීවා නේද?."
"ඒ හින්දම නෙවේ අක්කේ.. මගෙ දිග කතාවක් තියෙනවා.. "

              එදා මා නුවරින් පිට වෙද්දී මගේ කතාව අහන්න කිසිවෙක් සිටියේ නැත. මට කිසිවෙකුට කීමට වුවමනාවක් තිබුනේත් නැත. ඒත් එදා කිසිවෙකුට හෝ කියා සිතේ හිර කරගත් වේදනාව මා පිටකර හැරියා නම් දැන් ජීවිතය පුරා ගෙනයන මගේ වේදනාව අඩු වන්නට ඉඩ තිබුනි. ඒ දැනට වසර විසි පහකට පෙරදී ය.

"අක්කේ මගෙ කතාව හුඟක් දිගයි. මම කෙටියෙන් කියන්නං.."

                වාසනා නුවරට ආවේ ඇගේ පුංචි අම්මා සිටින්නේ නුවර කිට්ටුව නිසා උසස් පෙළ උපකාරක  පංති යාමේ පහසුවට ය. ඇයට පංතියේ යහළු යෙහෙළියන් රැසක් හැදෙන්නට වැඩි කාලයක් ගත නොවුනි. එක හේතුවක් වන්නට ඇත්තේ ඇගේ  බාප්පා ප්‍රදේශයේ ප්‍රසිද්ධ බලවතෙකු වීම ය.

                වාසනා හඳුනා ගත් නව මිතුරු කැල අතර උන් කළණ හැඩ රුව ඇති කොලු පැටියෙකි. ඔහු වාසනා කෙරේ විශේෂත්වයක් දක්වන බව අනෙක් අයට හෙලි වන්නට කාලයක් ගත වුනි. ඒ ඔහු සිය හැඟීම් වල සැරි සැරුවේ වාසනාටත් හොර රහසේ වීම නිසා ය. වාසනාත් සුසන්තත් අතර ප්‍රේම සම්බන්ධයක් පවතින බවට පැතිර ගිය රාවයක් ද කළණ පසුගාමී කරවී ය. වරක් වාර අවසානයට කිට්ටු දිනයක කළණ ඔහුගේ සමරු පොත වාසනාට දුන්නේ අනෙක් සියල්ලන්ට හොරෙන් ය. එයට ලැබුනේ අසතුටුදායක ප්‍රතිචාරයකි.

"මැණිකෙට දෙන්නද?" වාසනා පමණක් ඒ වන විට දැන සිටි රහසකින් ඈ කළණට දමා ගැසුවා ය. මැණිකේ යනු කළණට මහත් හිරි හැරයක් වූ ළමයෙකි.

"එපා.." එම වචනය ඔහුගෙන් පිට වුනේ විදුලි වේගයෙනි. කෙසේ හෝ වාසනා ඔහුගේ සමරු පොත එසේ ප්‍රතික්ෂේප කළා ය.

                මේ දෙදෙනාගේ මිතුරු මිතුරියන් අතර ප්‍රේම සම්බන්ධතා  පහක් හයක් පැවතුනි. හොර රහසේ නොවේ. ඒ තරුණ තරුණියන්ට වාසනාත් කළණත් අතර සම්බන්ධයක් ගොඩ නඟන්නට දැඩි අවශ්‍යතාවක් තිබුනි.

                "මම කීප වතාවක්ම ඔයාගෙ හිත රිදෙව්වා. ඒ ඒක එහෙම විය යුතු නිසා විනා ඔයාව පහත් කරන්න නෙවේ. අපිට සමීප හිතවත් කමක් පවත් වන්න පුළුවන් පසු බිමක් නැහැ කලණ. මට සමා වෙන්න. මම හැමදාම සහෝදරියක් වාගේ ඔයා සමීපයෙන් ඉන්නං. අපිට එහෙම ඉඳලා හුවමාරු කර ගන්න දේ සීමාවක් නැහැ. විශේෂයෙන්ම අපේ මූලික අරමුණට. අනික ඔයා දන්නෙ නැතිව ඇති මම ඔයාට අවුරුද්දක් වැඩිමල් කියලා. ඔබටදළදා හාමුදුරුවන්ගෙ පිහිටයි!..  මේ දයාබර වාසනා."

                 ඒ දිනක් කළණගේ සමීප මිතුරා ඔහුට ගෙනැවිත් දුන් ලිපියක ය. කළණට කිසිවක් හිතා ගැනීමට නොහැකි වී ය. යහළුවන් කළ බොළඳ කුමන්ත්‍රණයක ප්‍රතිපලය එය විය. කළණ ලියන හැටියට ඔව්න් වාසනාට දුන් ලියුමට පිළිතුර එසේ වන බවක් ඔව්හු ද නොසිතූහ. එනිසයි ලිපිය නොබලාම කළණ අතට පත් කළේ.

            කළණ කිසිවක් සිදු නොවූ හැටියට දවස ගෙවා නිවසට ගියේ මෙහි සත්‍යය සෙවීම වෙනත් මිතුරියකට පවරමිනි. ලිපියේ අනෙක් කොටස් වලට වඩා ඔහුට වයස පිළිබඳව ලියැවුනු වාක්‍යය වැදගත් විය. ලිපිය කීප වරක් කියවී ය. ඒ කොටස කපා ඔහුගේ පුද්ගලික සටහන් පොතේ කවරය තුල රඳවා ඉතිරිය කුඩා කෑලි වලට ඉරා ඉවත දැමුවේ ය.

"ඒයි.. බඳිමුද?" පසු දින, කළණට පිටුපසින් සිටි අයෙක් හඬ නගා කීවේ ය. ඒ සුසන්‍ත, ඔහුගේ සමීප හිතවතෙක් නොවේ. වාසනාට කරදරයක් ව සිටින තරමක් අප්‍රසන්න දඟ කාරයෙකි.

"බෑ.. බෑ... උඹ මට බාලයි!" පන්තියේ ඉදිරි පෙලක සිටි අයෙක් හඬ නගා කියන විට කළණගේ සිත කීරි ගැසී ගියේ ය. සිදුව ඇති සියල්ල දැන් කළණ දනී.

             එදින බොහෝ සෙයින් කළණගේ සිත පෑරී තිබුනි. ඔහු වඩාත් ලජ්ජාවට පත් වූ හේතුවක් විය. දැන් තමා ද "P P" කාණ්ඩයට ඇද වැටේ. එය පන්ති වල තරමක නිග්‍රහයකි. "පරාජිත පෙම්වත්තු!"

             කෙසේ හෝ තමා වාසනාගේ සිත දිනා ගන්නා බව නිදි නැති රැයක් අවසානයේ ඔහු සිතට ගනී.. එවැනි කිසිත් අවශ්‍යතාවක් ඇති බවක් ඔහු වාසනාට නොපෙන්වා ඇගේ අධ්‍යාපන කටයුතුවලට හැකි සෑම උපකාරයක්ම කළේ ය. තම කටයුතු ද පෙරටත් වඩා උනන්දුවෙන් කර ගෙන ගියේ ය.බොළඳ කුමන්ත්‍රණය කළ යහළුවෝ ද දැඩිව කණගාටු වූහ.

               මාස දෙකක් පමණ ගෙවෙද්දී කළණත් වාසනාත් දැඩිව බැඳුනු පෙම්වතුන් ය.

"අක්කේ කළණට වෙච්ච දේ ගැන මට හුඟක් කණගාටු හිතුනා. ඒ හින්දා එයාට ඉස්සරටත් වැඩිය ලං වෙලා ඉන්නවා කියලා මං තීරණය කළා.. ඒ වුනාට ඒකේ ප්‍රතිපලය වුනේ මටත් නොදැනී මම එයාව අයිති කර ගත්ත එක.."
"ලස්සණ කතන්තරයක් නංගී.." මම කියමි. ඒ අතර මම මොහොතක් මගේ අතීතයේ තනි වෙමි. ඈ කී සමහර කොටස් මගෙන් ගිලිහී ගිය අවස්ථා ද තිබුනි.

              මේ අතර, සරසවි සිහිනය අහිමි වූ ඔවුන්ගේ පළමු උසස් පෙළ තරඟයේ ප්‍රතිපල ද සහාය කර ගෙන රජයේ දීප ව්‍යාප්ත තරඟ විභාගයකට ද ඔවුන් පෙනී සිටියහ.  නිවෙස් වලට හොරෙන් යා හැකි සියළු ලස්සණ තැන්, මාවත්, මංමාවත් ඔවුන්ගේ දෙපා පහස ලැබීය. ඉතා මිහිරි වචන දෙඩවූවෝ ය. දහසක් සිහින මැව්වෝ ය. අනාගත සැලසුම් පිළියෙල කළෝ ය. වැරැද්දකට කිසිදා යොමු නොවී, මේ සියල්ල අතරේ අධ්‍යාපන කටයුතු සහයෝගයෙන් හොඳින්ම කළෝ ය. විභාගය ආසන්න වෙද්දී එකඟතාවෙන්ම ගමන් බිමන් අත් හැරියෝ ය.

              විභාගය අවසන් වූ පසු තම ජයග්‍රහණ‍ය පිළිබඳ දැඩි විශ්වාසයක් ඔවුන් තුල පැවතුනි. එහෙත් වාසනාට හිමිව තිබුනේ A සාමාර්ථ දෙකක් හා C සාමාර්ථයකි. කළණට A සාමාර්ථ තුනක් ලැබුණි. කළණ වාසනාගේ සිත සැනසුවේ දැඩි  සෙනෙහසින් යුතුව ය. වාසනා රජයේ තනතුර ලැබුවා ය. කළණ විශ්ව විද්‍යාලයට, නීති වේදී පාඨමාලාව සඳහා තේරුනේ ය. අවසන් දින, ඔවුන් කිසිදා වෙන් නොවන බව සපථ කළහ. සමු ගත්තේ කදුළු පිරි නෙතිනි.

              වාසනාගේ සේවා ස්ථානය ඉතා යහපත් පරිසරයක් විය. ඇගේ ඊළඟ අපේක්ෂාව වූ විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධියට සහයෝගය එහිදී ඇති තරම් ලැබුණි. සති අන්තවල කළණ නොවරදවාම නුවර එන්නේ වාසනා දැක ගන්න දැඩි නොඉවසිල්ලෙනි. ඒ දිනය වන තුරු වාසනා සිටින්නේ ද එලෙසම ය.

               කාලය ගෙවී යද්දී වාසනා කළණගෙන් ලබන ලියුම් සීමා විය. සීමා වීම ප්‍රවේගයක් වෙද්දී ඈ මිතුරියක මගින් ඔහු ගැන සොයා බැලුවා ය.  ලැබුනේ අවාසනාවන්ත පුවතකි. දැන් කළණ වෙනත් ගැහැණු ළමයෙකුගේ පෙම්වතෙකි. ආදරයෙන්ම ඈ සොයා ආ එක් සති අන්තයක ඔහුගේ හැසිරීම හා වචන ඇගේ සිත තුල යම් වේදනාවක් ඇති කළ ද ඈ කිසිවක් නොවිමසුවා ය. දැන් එදා උපන් සැකය තහවුරු වී ඇත.

                ඈ හැඬුවා ය; සියළු එදිනෙදා කටයුතු අත් හැරියා ය; දින කීපයක් සේවයට නොගියා ය; තම සිහිය විකල් වේ යැයි බිය වූවා ය. පැවසීමට කිසිවෙකු නැත. හිසරදයක් බව පමණක් පුංචි අම්මාට කීවා ය. පුංචි අම්මා ඈ දෙපා මත තබා නැලවූවේ නැතිවා පමණි. දින දෙක තුනක් ගත වූ පසු සිය ආදරණීය පුංචි අම්මා සැනසීම සඳහා ඈ බලෙන් පොරෙන් සිය ඉරියව් වෙනස් කළා ය. අවසානයේ සිත සනසා ගත්තා ය.

                 තමා බරපතල කරදරයක වැටී සිටින බවත්  නොවරදවාම ඊ ලඟ සති අන්තයේ හමු වීමට අවශ්‍ය බවත් දිනක් කළණ එවූ ලිපියක සඳහන් විය. ඈ අවසන් වරට ඔහු හමු වන්නට සිත හදා ගත්තා ය. වේස් පාක් හි පුරුදු නා සෙවනේ දී ඔවුහු හමු වූහ.

"මගෙ වෙනසක් ඔයාට තේරිලා තියෙනවා. ඒක මං දන්නවා වාසනා.. ඔයා මට සමාව දෙන්න වාසනා. මට මේ ගැන කියන්න ඉන්නෙත් ඔයා විතරයි. මාව බේරා ගන්න පුළුවන්නෙත් ඔයාට විතරයි."
"ඔයා කියන්නේ ආශටයි ඔයාටයි ආශිර්වාද කරන්න කියලානෙ. හරි... මං හිත හදාගෙන ඉවරයි. ජීවිතයේ තව කවදාවත් අපි මුණ ගැහෙන්නෙ නෑ.. මං ඔය දෙන්නට සුබ ප්‍රාර්ථනා කරනවා.. කළණ. අපි තව මෙතන රැඳෙන්න ඕන නෑ." ඈ කීවේ ඉකිය මැඩ ගෙන ය.

"ඔයා ඔයෙ තරං මේ ගැන දන්නවා කියලා මං හිතුවෙ නෑ.. මට කියන්න තියෙන දේ තව ඉවර නෑ වාසනා.. ටිකක් ඉවසන්න.."

"මට තවත් ඔයාගෙ හුරතල් අහන්න බලන්න බෑ කියලා ඔයා දන්නවානෙ. තව විනාඩි පහකිං අපි මෙතනිං පිට වෙන්න ඕන."
"වාසනා.. මගෙ අතිං ඒ ගර්ල්ට කරදරයක් වුනා. දැං එයාට බබෙක් ලැබෙන්න ඉන්නවා කියලයි එයා කියන්නේ... බඳින්න ඕනලු.."
"ඔය වගේ කාගෙත් වචන ඔය. මම කීවනෙ මම දැං අයිං වෙලා ඉවරයි කියලා. කිසි පැකිලීමක් නැතිව ඔයාට කැමති තීරණයක් ගන්න පුළුවං. මට තවත් කරදර කරන්න එපා."
"ඔයා කැමති නං මම ආගම මාරු කරලා ඔයාවයි.."
"මේ මොන ජරා කතාවක්ද? තව මාව තරහ ගස්සන්න එපා. කරුණාකරලා අපි දැං යමු. හැබැයි එකවර නෙවේ. වෙන් වෙන්ව."

              වාසනා එසේ කීව ද කළණ ඈ සමීපයෙන්ම ගමන් කරයි. තම අවධානය අව්ල්ව ඇති නිසා ඈ වඩාත් සැළකිලිමත් ය. කළණ නොනවත්වාම කියන්නේ.. වාසනා විවාහ වුනොත් ඔහුට ආශාගෙන් වෙන්වීමට හැකි බවත් එදිනම විවාහ විය යුතු බවත් ය. වාසනා තුල කිසිසේත් ම බුරුළක් නැත. ඇයට දැන් කළණ කරදරයකි. තමා එදින ඔහු හමු නොවුනා නම්.. කියා සිතූ වාර රාශියකි.

"මේ කරදර එක්ක මට දැං හිතිලා තියෙන්නේ කෝච්චියට පනින්න." දුම් රිය පාර අසබඩින් එන අතර ඔහු කියයි.
"කෝච්චියට... ? ඔය එන්නේ.. ඉතිං පනින්න.. ඕවා කියලා මගෙ හිත බොළඳ කරන්න දැං බෑ.. කරුණා කරලා මට තවත් වද දෙන්න එපා දෙයියනේ.."

             මේ වනවිට ඔව්න් දුම්රිය හරස් මාර්ගයක් පසු කරමින් සිටිති. රියැදුරුට වේගය පාලනය කර ගත නොහැකි ලොරියක් ඔව්න් දෙසට වේගයෙන් ඒ පැත්තෙන් පල්ලමේ පහලට එයි. හූ හංඩ නගමින් දුම්රිය මේ පැත්තෙන් එයි.
"අක්කේ.. එයා එක පාරම මාව තාර පාරේ පැත්තකට තල්ලු කරලා දැම්මා.. මම තාප්පෙක හැප්පිලා වැටුනා. ඊලඟට දැක්කේ කෝච්චියේ වැදිලා වීසි වෙන කළණව.. ඊට පස්සේ ගේට්ටුවත් කඩාගෙන ලොරිය කෝච්චියේ වදිනවත් යන්තං දැක්කා මතකයි.  මට සිහිය එනකොට මයෙ වටේ ඩොක්ටර්ස්ලයි නර්ස්ලයි .."

               වාසනාගෙ දින කීපයක් රෝහලේ ගෙවෙයි. තම දෙමාපියන්ට ඇත්ත කීමට ඇයට සිදුවේ.. පොලීසියටත් කළණගේ දෙමාපියන්ටත් කට උත්තර දීමට ද සිදුවේ..

"මම තාප්පේ හැප්පිලා වැටුනා. ඊට පස්සේ සිහිය එනකොට ඉස්පිරිතාලේ.." සිද්ධිය පිළිබඳ ඇගේ කට උත්තරය එපමණි. ඉතිහාස කතා ඊට දිගු වේ.
"අක්කේ දුටු සාක්කි වලින් මොනවා කිය වුනත්, ඇත්තටම කළණ කෝච්චියට පැන්නද.. ලොරියේ හැප්පිලා කෝච්චියට වීසි වුනාද මම හරියටම දන්නෙ නෑ.. මට ඉවසන්න බැරි, ඒ තරං දෙයක් වෙයි කියලා නොහිතා 'කෝච්චියට පනින්න' කියලා මම කීව එකට. අනික එයා මාව බේරුවා.. නැත්තං මේ කතාව කියන්න වාසනා කෙනෙක් අද නෑ.. එයාගෙ කශේරුකාව හුඟක්ම ඩැමේජ් වෙලා ලු. කවදාවත් සනීප කරන්න බැරි ලු ..... මම අක්කට ගොඩාක් වදයක් දුන්නා.. අනේ අක්කේ තරහ වෙන්න එපා.. මගේ හිත හෑල්ලු කර ගන්න කරපු මේ උදව්වට පිං. අක්කේ. මං හෙටම අක්කට කතා කරනවා."
"නෑ නංගී මට වදයක් වුනේ නෑ.. අපහසු වුනත් මේ අතීතය සම්පූර්ණයෙන්ම අමතක කරන්න බලන්න." මා කීවේ එය කළ නොහැක්කක් බව නොදැන නොවේ. ඈ කී වරක් හැඬුවාදැයි නොදනිමි. දෑස් රතු වී මුහුණ තඩිස්සි වී ඇත.

             මේ වන විට අප පසු කරමින් සිටියේ කලුතර පලමු පාලම ය. ඉදිරියෙන් සුදට සුදේ බබලන දාගැබ් වහන්සේ ය. වම් පසින් සැනසිල්ලේ ගලා බසින කළු ගඟ ය.  දකුණු අත පැත්තෙන් තරමක් ඈතින් මුහුද හා  කැලිඩෝව ය. එහි වැල්ලේ රතු පැහැති පැරසෝලයක් හත්තක් සේ දිස්වේ. ඒ තුල සිටින කිසිවෙකුටත් මෙවන් අත්දැකීම් නම් කිසිදා සිදු නොවේවායි මම මොහොතකදී පතමි. වාසනා සමඟ මගේ ගමන කෙලවර වන්නට තවත් ඇත්තේ විනාඩි කීපයකි. කළුතර දකුණ දුම්රිය ස්ථානයෙන් මා බැසිය යුතු ය.  ඈ මාතර දක්වා යා යුතු ය. වාසනා මගේ අත තරයේ අල්ලාගෙන සිප ගනී. යම් හේතුවක් නිසා,  මා තවත් ඈ සමඟ යන්නට කැමති බව ඈ නොදනී.
              "නංගියෝ.. මං කොහොම උඹේ වැරැද්දක් කියන්නද.. කොහොම වුනත් නුඹ මට වඩා වාසනාවන්තයි. නුඹ ඔහුගෙන් වෙන් වුනත් ඔහු  තවමත් ජීවතුන් අතර... එහෙත් මගේ ආදරය..."  කියා මං කොහොම කට ඇරලා කියන්නද?
"හොඳයි නංගියෝ.. පරිස්සමෙන් යන්න. තෙරුවන් සරණයි!" මම ඇගේ හිස පිරි මදිමින් කියමි. අපහසුවෙන් වුව ද මම මගේ කඳුළු හිර කර ගනිමි.

                                                     simple "s"
2018.01.21

(ඉඳහිට හෝ හමුවන සත්‍යයක් ඇසුරිනි.)

               

            
            
             

No comments:

Post a Comment