"පීකුදු බස්නේ"
"අපෙ වෙද මහත්තයා.." 1 කොටස.
"හොඳයි, අපි කසාය ටිකක් බීල බලමු. මේ මං එක කියල දාල තියෙන කසාය අටේකට හින්දල උදේ හවා
කල්කාඬු මී පැණි දාල දවස් තුනක් උදේ හවා බොමු. ඊට පස්සේ දවසක් අතෑරල දෙක කියල දාල තියෙන මේක බොන්ට ඕනෑ. ඒකත් අටේකට. ප්‍රතිවාපෙට මී පැණි විතරයි. ඒක හැලි දෙකක් වත් තම්බන්ට වෙයි. මොකද දවස් පහක් හයක් විතර බොංට ඔනෑ. අතිඋඩයං හොයා ගංට එහෙ නැත්තං පල්ලෙහා පිහිල්ලේ ලිඳ වටේට තියෙනවා ඔන්න. උණු වතුර ටිකකිං ඇඟපත හෝදා ගත්තට කමන්නෑ. බෙහෙත් ඉවර වෙනකල් ඇල් වතුරෙං නාංට නං එපා. ඔයෙ බේත් ටිකට ඕක ඇරිල යනවා.. හොඳයි එහෙනං තුරුනුවන්නේ සරණයි!"
ඒ අම්මයි පුතයි ගියේ කරේ දාගෙන හිටිය සාලුව බිම එලල දණ ගහල අප්පච්චිට වැඳල.
ඊලඟට ආවේ මාත් දන්න මාමා කෙනෙක්.
"ආ....හීං මළයා මොකදෑ මේ පැත්තේ? දැං කුඹුරු වැඩ එහෙම ඉවරයි..?" මේ ප්‍රස්නේ අවසාන කරන්ට 'ද' යන්නකුත් ඔනෑ, ඒත් අන්තිම වචනේ අග හරිය කියන විදිහෙං ඒක ඇඟෙව්වේ.
"කුඹුරු වැඩ ටික ගිය සුමානේ වෙනකොට ඉවර කර ගත්තා. වැස්සයි පෑයිල්ලයි ඕනෑ විදිහට තිබ්බානේ. ඒකට මොකදෑ වැඩ ටික ඉවර වෙනකොට මේ හෙම්බිස්සාවක් පටං ඇන්න කෙලවරක් නෑ.. දැං හුස්ම ගංටත් ඩිංගක් ඩිංගක් අමාරු දැනෙනවා..."
අප්පච්චී මාමගෙ අත ඇන්න නාඩි බැලුවා. බෙල්ල යටට ඇඟිලිවල පිට පැත්ත තියල බැලුවා. දිව දික් කරංට කියල උගුරත්.. බැලුවා.
"සෙම... හොඳටම නරක් වෙල. උනත් ටිකක් තියෙනවා. ඒ මදිවට සෙං ගෙඩිත් ඕං..මම තැම්බුමක් ලියල දෙනවා. පොට්ටණි බැඳල කඩපිම්මේ තම්බල ගංට. ඒක තුං වේලක් බීල බලමු. ඕක අඩුවෙල යනකං ඇල් වතුර පාවිච්චිය බෑ. දවසට දෙසරයක් තුන්සැරයක් දෙහි කොලයි පාවට්ටා කොලයි තම්බල හොඳට මොකක් හරි පොරවා ගෙන හුමාලේ අල්ලංට වෙයි. තැම්බුමට කොත්තමල්ලි ඇට තුන හතරකුත් දාංට. කැස්සත් ටිකක් තියෙනවානෙ. මං ඒකටත් එක්කල දෙන්නං. ටිකක් පරිස්සං වෙංට වෙයි. හුමාලේ අල්ලල හුලං වදිංට එහෙම හොඳ නෑ."
අප්පච්චි ලිව්ව දහයක් දොලහක් ඖෂද වලට වැල්මී, අමුඉඟුරු, වෙනිවැල් ගැට, කුඩුමිරිස් දළු, යකි නාරං දලු ලියනවා මට පෙනුනා. අප්පච්චි ඉගෙන ගත්තේ හාමුදුරු කෙනෙක්ගෙං හිංදද මං දන්නෑ තරමක් ඇදේට වැල් අකුරු ලිව්වේ.
"මයෙ දුව.. ඔයෙ බුලත් කොලේක ඔතල නවරත්න කල්කේ තේ හැඳි බාගයක් විතර මෙහෙට ගත්තා නං.." අප්පච්චි මට කිව්වා. මාත් ඒ මාමා ගෙනාව බුලත් අතෙංම කොලේක කල්කේ ටික ඔතල දුන්නා.
"පොට්ටණිය මිරිකල ඇන්න ඇබුල් දොඩං ඉස්ම බිංදු තුන හතරක් දාල මේ කල්කේ තිත්ත තිබ්බුටු ගෙඩියක් විතර දිය කරල බොංට. ටිකක් අමිරහ තියෙයි.. බීල සීනි ඩිංගක් කටේ දා ගංටකො. සීතල දේවල් මේ දවස් ටිකේ කංට බොංට එපා."
"අපෙ අයියා මේ දවස් ටිකේ මොන දේවත් කංට පිරියක් නෑ.."
"ගෙදර නැත්තං, යන ගමං අක්කට කතා කරල අනුඟ ටිකක් ඉල්ලාගෙන යංට. ඒක කන එක සෙමටත් හොඳයි. ඔයෙ කෑම අප්පිරියාවටත් හොඳයි..
බෙහෙත් ටික ඉවර වෙනකොටත් උගුර රෙදෙනවා නං අමු ඉඟුරු කෑල්ලක් ලුණු කැටයක් එක්ක තලල හීනි පොට්ටනියක් හදල හක්කේ තියාන ඉංට පැයක් හමාරක්.ඒක දියවෙල එන ඉස්ම ගිලෙංට අරිංට හෙමීට.. එහෙනං ගිහිං එංට. තෙරුවන් සරණයි!
මාමා ගියාට පස්සේ ඇතුලට ආවේ බෝරයා. මං හිතුවා අප්පච්චිගෙ මූණ වෙනස් වෙයි කියල. නෑ.. පුරුදු විදිහටම හිනාවෙල බුලත් අත පිළිගෙන වාඩි වෙංට පෙන්නුවා.
"අපෙ වෙද මහත්තයා දැං දවස් දෙක තුනක් බඩ රෙදෙනවා. හැන්දෑ වෙනකොට ඉංට හිටිංට බෑ."
"කොයි.. මෙහෙට්ට වෙමු බලංට.. බැනියම උස්සා ගංට."
අප්පච්චි බෝරයගෙ බඩට මැද ඇඟිල්ලේ පිට පැත්තේ දබරැඟිල්ල තියල වේගෙයක් ඇන්න දබරඇඟිල්ල බඩට තට්ටු කෙරුවා.. තැං තැංවලට. බඩ හීනියට මිරිකලත් බැලුවා..
"බයවෙන්ට දෙයක් නෑ.. බඩ පුරුවා දැමිල්ලක්. ගම්මිරිස් ඇට කීපේකුයි සුදු ලූනු බිකකුයි ලුණු කැටේකුයි කටේ දාල භොඳට හපල ගිලිංට. රස්නේ වතුර කෝප්පෙයක් සැරට ඇන්න කටිං පිඹ පිඹ බොංට. දවසට දෙසරයක් විතර ඇති. එහෙමත් හරිගියෙ නැත්තං කොල්ලු ඇට මිටකුයි සුදු ලූනු බික් පහ හයකුයි ගම්මිරිස් ඇට කීපෙකුයි තම්බල දෙසරයක් තුං සැරයක් බොංට. අඩු වෙල යයි.. හැබැයි මේ දවස් ටිකට වෙන ජාති බොංට බෑ. මේ දවස් ටිකට විතරක් නෙවෙයි.. ඔයෙ වැඩේ අතෑරලම දානවා නං හොඳයි. මේ.. මස් ජාති වාගේ දිරවංට අපාසු දේවලුයි කොස් පොලොස් දෙල් ගෝවා කොල කෑමයි මේ ටිකට නවත්තංට. හොඳයි.. එහෙනං ගිහිං එංට.. තෙරුවන් සරණයි!"
ඊලඟට ආ බවලත් එක්කෙනා එක්ක හිටිය හීං දරුවා කෙට්ටු සුදුමැලි කෙස් ගස් ඉත්තෑකූරු වාගේ කෙලින් තියෙන බඩ මහත කෙනෙක්.
"වෙද මහතයෝ.." දිගට කිව්ව ඒ අම්මගෙ කතාව මෙහෙමයි. ලමයා කෑම කන්නේ ටිකයි. ඉස්සර දඟලාගෙන හිටියට දැං ඔහෙ එක තැනකට වෙල ඉන්නවා. ඇස්වල කොර පොතු හැදිල. දැං දැං පෙනෙනවත් අඩුයි වාගේ. යන්තරයක් බැදල දැං හොඳට නාවනවා, දවස් පතා. හපල හපල ඉරිල ජරා වෙච්ච ලස්සනට නූල්කිං එතුව තල් කොල යන්තරේ තවම කරේ. කකුල් පහලිං කොට්ට ගෙඩි වාගේ ඉදිමිල. අප්පච්චි ඇස් දෙකම මාපටගිල්ලෙං ප්ල්ලෙහාට කරල බැලුවා. ඇස් ඇතුල හොඳටම සුදු මැලිවෙල. දිව දික් කරවල බැලුවා.. දිවත් එහෙම.
"ළමයට පණුවොයි.. මාන්දමයි.."
"වෙද මහත්තයෝ.. දෙතුං සැරෙයක්ම දොට්ට යනකොට පණුවෝ වැටුනා. අර ගුරු ගල් කනවානේ. ඒකට කියල මං හිතුවා.
"මෙන්න මේ බේත් ගුලි දෙක අද රෑ කෑවට පස්සේ උණු වතුර ටිකකිං දෙංට. හෙට ටිකක් සැහැල්ලුවට දොට්ට යයි. තුං සැරෙයක් විතර... දොට්ට යන්නෙ නැත්තං උණු වතුර දෙංට. තුං සැරේට වැඩිය යනවා නං ඇල් වතුර ටිකක් දෙංට. අද රෑයි හෙටයි තෙල් කෑම දෙංට එපා. නාවංටත් එපා. පුලුවං තරං ඉක්මනිං පීකුදු බස්නේ ටිකක් හදල දෙංට වෙනවා. "ගෙදර කරපිංචා ගහක් තියෙනද"
"එහෙමයි අපෙ මහත්තයෝ.."
"හරක් පීකුදු රාත්තලක් විතර හොයාගෙන හරි ගෙන්නා ගෙන හරි අලුත් පිට මේක කරංට ඕනෑ. කරපිංචා කොල අහුරු හත අටක් හෝදල වනේ දාල කොටංට ඕනෑ. එව්වා රළු වැඩි හිංදා වතුර ටිකක් දාල කොටංට වෙන්නේ. ඒක මිරිකල ඉස්ම කෝප්ප දෙක තුනක් ගන්නවා. මේ ඉස්මයි, බුලු ගෙඩි තරමට කපා ගත්ත පීකුදුයි අඹරා ගත්ත කලුදුරු ඇට සුදු දුරු ඇට මේස හැඳි දෙකක් විතරයි ටිකක් හීනියට කැපුව සුදු ලූනු බික් තුන හතරකුයි ලුනු ටිකකුයි දාල ලිපේ තියල කරපිංචා ඉස්ම හිඳෙන කල් මද ගින්නේ තම්බනවා. ඊට පස්සේ වෙන මාලු පිනි තෙල් දානවා වාගේ තල තෙල් මේස හැන්දකට ටිකක් වැඩි වෙංට පැහැවල තෙල් දාංට. උදේට උදේට මේස හැඳි දෙකක් විතර දෙංට ඕනෑ. දියට හදා ගත්ත කිරිබත් ටිකකටවත් හූසල් බත් වත් කමන්නෑ.. ඉඟිනි ඇටේක තරම මැදි කරල ගිලිංට දෙංට වෙයි. කවා ගංට අමාරුයි."
"මං මේ කල්පනා කෙරුවේ අපෙ වෙද මහත්තයෝ ඔව්වා කරංට අපිට ටිකක් අපහසු කං .."
" හා.. ඒත් කොලු පැටියගෙ ඇස් ගෙඩි දෙකයි ජීවිතෙයි.. මේ රුපියල් දෙක තියා ගනිමු.. ඔයෙ කලමනා ටිකට ඇති..
මේ.. මේ... උදේට කාලද ඔය ඇත්තෝ? එහෙනං දෙන්නම පරිස්සං වෙල යංට. දුව අම්මට කියල හූසල් ටිකකුයි ඔයෙ තියෙන දෙයක් එක්ක තේ වතුර ටිකකුයි..."
මං ඉයන ගෙට ගිහිං එනකොට අම්මෙකුයි පුතෙකුයි ඇවිත්.. ළමයා ඇඟිලි කරු කහනවා. සැරව බිබිලිත්. කැඩිච්ච එව්වෙං සැරවයි ලේයි ඇවිත්.
"ඕක වැලි එහෙම අල්ලන හිංදා හැදෙන්නේ. කොටියා සබං කෑල්ලක්වත් ගිහිං තියාගෙන ගාල හැන්දෑවට වත් අත් කකුල් හෝදංට. මේ සද්දහය තියාගෙන සබං කෑලි දෙකක් ගංට. තෙල් ටික හිඳ ගංට තේරෙන්නැත්තං පොල් බටු කරවිල කොල ටිකක් ඇන්න මෙහෙ ඇවිත් ඕක හිඳිංට උදව් වෙංට. ඒ ආවම පාවිච්චි කරන හැටි කියන්නං. දැං යන්ට. තෙරුවන් සරණයි."
ළමයා ඒ ගියෙත් ඇඟිලි කරු කහ කහ.
ඒ අය ගියා නොගියා තරමිං අප්පච්චී කිව්වේ "මයෙ දුව කලිං දැකල නෑ නේද? ඒ තමයි හොරි. අපිරිසිදු කමට හැදෙන්නේ. ඒ තෙල හිඳල පෙරා ගෙන ඉතුරු වෙන රොඩු ටික දවස් තුනක් විතර ඇඟපුරා ගාල ටිකක් වෙලා තියල නෑව්වම ඒකෙංම සනීප වෙනවා. අයෙ හැදුනොත් ගාන්ට තෙල් ටිකත් දීල යවනවා. මං අනිද්දා හැන්දෑවෙ කඩේ යනකොට ගෙංදගං ටිකක් ගේංට මතක් කෙරුවොත් හොඳයි මයෙ දුව.. ඒ තෙලට ඕනෑ වෙනවා.."
ඊගාවට ඇතුලට ආවේ කාකි කලිසං සූට් එකක් ඇඳල තොප්පියක් අතට ගත්ත තරුණ මහත්තයෙක්. බොහොම ගරුසරු ඇතුව අප්පච්චිට ආචාර කෙරුවා.
"මං මෙහෙ සෞක්‍ය පරීක්ෂක. වෙද මහත්තයගෙන් ලොකු උදව්වක්.."
"අපි නං කියන්නේ සැන්ටි බෝට් මහත්තයා කියල. වාඩි බොහොම වැදගත් වැඩ ටිකක් ගමට කරනවා කියල ආරංචියි. පිං සිද්ද වෙනවා මහත්තයෝ.. ආ.. තවම හිටගෙන. අපි යං අතෙංට... වාඩි වෙංට. එන්ට මහත්තයෝ.."
"වෙදමහත්තයෝ. මම මේ ගමට බොහොම බැඳිල ඉන්නේ. ගමේ ලස්සන වාගෙම මිනිස්සුන්ගෙ ඇතුලත ලස්සන."
ඒ මහත්තයා මේ ටික කියනකොට මං එතනිං පිට වෙන්ටයි හැදුවේ. බෙහෙත් ගංට ආව කෙනෙක් නෙවෙයි හිංදා මට එතන රාජකාරියක් නෑ. ඒත්..
"ම්ම්... අපහසුවක් නැත්තං මේ නංගිත් හිටියොත් හොඳයි කියලා හිතෙනවා... මේ දේවල් දැන ගන්න ඕනෑ"
"ඉන්ට" කියන අවසරය ගෑවුනු ඉඟියක් අප්පච්චිගෙ මූනෙන් පෙන්නුවා..
simple "s"
2018.02.25
No comments:
Post a Comment