Wednesday, November 28, 2018

උඩගෙදර කතා 17 (කනත් එලවලු සහ අඩුක්කු)


                  "කනත් එලවලු සහ අඩුක්කු"

මගෙ අප්පච්චිගෙ කෘෂිකර්ම (ප්‍රායෝගික) පාඨමාලාවෙන්.                (අංක 17)

"අප්පච්චි, මටත් එංට ආසයි.."
"ආවට නං කමක් නෑ. ඉස්සර වාගේ කැලෑව එලි කරපු පාරවල් එහෙම නෑ. ඔක්කොම වල් වැදිල තියෙන්නේ මේ වෙනකොට. කටු පඳුරුත්. නිදි වැල් එහෙම. පරිස්සමිං යංට ඕනෑ."
"ඇයි එහෙම? එතකොට ඒ දවස් වල හිටවල තිබ්බ එව්වා එහෙම."
"එව්වේ පල පොරෝජන ඇන්න ඉවරයි මයෙ පුතා. දැං ඒ ගහ වැල ඔක්කොම කනත් වෙල."
"අද අපි යන්නේ ඇයි එතකොට අප්පච්චි?"
"ගිය සැරේ එලවළු හදපු වරකාකෑල්ල මේ සැරේ හේනට ගංට ඕනෑ. කුරහං වපුරංට. මාස් වැස්ස පටං ගංට කලිං ඒ කනත දාගාල උදුළු ගාල දාංට එපායැ. හැබැයි ගිය සැරේ හිටුවපු බටු ගස් දඹල වැල් වල එහෙම කනත් එලවළු දැමුත් තියෙංටත් පුළුවං. කොයි එකටත් ඔයෙ කුට්ටි සාක්කු දෙකක් එහෙම ඇන්න යංකො.. මොකොවත් තිබ්බොත් දාගෙන එන්ට."

                 අප්පච්චිගෙ මල්ලට වතුර පුරුවපු පුංචි ලබු ගෙඩියකුයි පොල් කට්ටකුයි වප්පිහියයි විතරයි ගත්තේ. දවල්ට බත් කංට ගෙදර එංට පුළුවංලු. තේ වතුර ටිකක් උණු කර ගංටවත් පුළුවං එකක්‍ යැ.

"මයෙ පුතා, මේ කනත් එලවළු, කොල, කරල් එහෙම රහෙං වැඩී."
"ඒ ඇයි අප්පච්චි?"
"මේ පෑයිල්ල කාලේ ඔය කොයි දේත් සරුවට හැදිල නෑ.. කොයි දේකවත් වතුර ගතිය අඩුයි. අන්න ඒකයි."

               අනේ.. අපෙ වරකාකෑල්ල වත්ත ලඟට ගියාම බඩ පත්තු වෙල ගියා. හිජ්ජොල්ලේ මිනී පිට්ටණියත් මීට වැඩිය පිළිවෙලයි. ඇතුල් වෙන තැනම ඉදිකඩ කැඩිල.. පරණ ඉරිඟු ගස් එහෙම පඬරැල් වෙල... ඔහේ කිරිස් කිරිස් ගගා හුලඟට කොල ඇතිල්ලි ඇතිල්ලි තියෙනවා. කට කමසෙයියාවක් නැතුව චූයි චූයි ගගා බිම කොල රොඩු අවුස්සන ඒ පාටම කුරුලු රංචු දෙක තුනක්ම. ප්ඬරැල් කුරුල්ලොලු. දෙමලිච්චෝ කියලත් කියනවා. ගල් කන්ද අයිනේ තියෙන සේරු ගහේ කුරුලු ගොයෙකුත් කුරුමානං අල්ල අල්ල ඉඳල දිගට දිගේ තටු දිගෑරගෙන ඉගිලිල ගියා. ඒ පැත්තෙම ගහක බට ගොයි වගේකුත් කූයි කූයි කූයී... කියල විසිල් බිඹ බිඹ ඉන්නවා. ඒ සද්දේ ලස්සනයි.

"මයෙ පුතා සද්ද නොකර අර බලංට." අප්පච්චි රහසිං වාගේ කිව්වේ. කාකුලවත් එහා මෙහා නොකර.

                    මුවෝ දෙන්නෙකුයි පැටියෙකුයි. වැටට ටිකක් එහායිං. ලොකු එක්කෙනාට අං තට්ටුවකුත්. පැටියා අම්මා දෑලේමයි. දැඟලිල්ල, ඩිංගක් එක ව්දිහ්කට ඉංටම බෑ. උලාකන කටිං කටට වේගෙං ඔලුව උස්සල දෙපැත්ත බලනවා. බය. අප්පච්චියි අපෙඅම්මයි මායි වාගේ! මුව අං තට්ටුවකුයි හමකුයි අපෙ ගෙදරත් තියෙනවා.

                    වෙන නං පේංට තියෙන ඇහෙන කිසි දේක ලස්සනක් නෑ වාගේ.  කඩුල්ල ලඟිංම තියෙන ලොකු දඹ අත්ත යට අත්තක් කපල වතුර ලබු ගෙඩිය එල්ලුවා. සමහර තැං වලදී පැල පැත්තට යංට අප්පච්චි වප්පිහියෙං පඳුරු වල අතු කපලයි අඩි පාර හදා ගත්තේ. ඉස්සර එනකොට සරුවට තිබ්බ කිසිම බෝග පැලැස්සක් නෑ. මැරිල වේලිල සත්තු කඩල බිඳල. අපි ඉස්කෝලේ සිල් ගත්ත දවසක ආව පංසලේ පොඩි හාමුදුරුවෝ බණ කියද්දී අපෙ සරීරේ ගැන කිව්ව එව්වා මට මතක් වුනා. අනේ අර ලස්සනට හදල තිබ්බ පැල දිහා බලංට ඊට වැඩිය දුකයි. වටේ ඇදල තිබ්බ අතු වේයෝ කාල. වහලේ පැත්තක්ම බිමට පාත් වෙල.

"අප්පච්චි පැල පරිස්සං කර ගත්තා නං ඊලඟ සැරේ හේනට ඒක අලුත් කරල ගංට තිබ්බානෙ..."
"ඒක හරියන්නෙ නෑ මයෙ පුතා. ඔය ලීත් දිරල තියෙන්නේ. ඇතුලට එහෙම යංට එපා. අලුත් පැල් කොටයක් හදා ගන්න එක මහ වැඩක්යැ.. අනික එන අවුරුද්දේ මේකේ කුරහංනෙ වපුරන්නේ. මයෙ පුතාට මතක නැද්ද උනගොල්ලේ හේනට ගිය වෙලාවේ දැක්කා.. හේනක පැල මීට වැඩිය වෙනස්වටනෙ හදන්නෙ."
"ඔව් ඔව් කුරහං කරල් අඩුවක් එහෙමත් හදංට ඕනෑනෙ.."
"අඩුවක් නෙවේ මයෙ පුතා අටුවක්..."

                 අප්පච්චි හදල තිබ්බ ගල් මැල වැඩි හරිය පෙරලිල. ඌරොලු. ඒත් කර ගහක් ලඟ තිබ්බ ගල් මැලේ හොඳට තියෙනවා. කරකොල කටු වලට ඌරොත් බයයි වෙංට ඇති. එතන පරන වට්ටක්කා වැලත් නාස්ති වෙලම නෑ. මෙන්න ගෙඩියකුත්. පැහිල පැහිල කහම කහ පාටයි.
ඊට එහායින් ගල් කන්ද මුල නිතුල් ගහට යාං වුන කුරුලු දඹල වැලත් පිරෙංට දඹල පලුත්. සමහර එව්වා වේලිලත්. එව්වත් කඩා ගත්තා. අප්පච්චි තියල තිබ්බ එකක් ගංට යනවා වාගේ ගහක් ලඟට ගියා.
"මයෙ පුතා එංටකො.. මේ බලංට..."

                  අප්පච්චි පෙන්නුවේ ගොඩාක් ගෙඩි හැදිල තියෙන තුඹ කරවිල වැලක්. ඉස්සර ඉඳලම ඔය වැල තියෙන්නේ. ගෙඩියක් දෙකක් ඉදිල පුපුරල රතු පාටට. ලෙලි දෙපැත්තට පිටට නැමිල ඇටත් මතුවෙල.
"අප්පච්චි තුඹ වැලක් ගෙදර හදා ගත්තානං හැමදාම මේ වාගේ ගෙඩි කඩාගංට පුලුවන්නෙ. උයලත් රහයි. තලප හොද්දට ගෙඩි පිටිං දාල ගත්තම ඊට රහයි නේද?"
"ඔව්.. ඔව්.. තුඹ වැලේ අල තියෙනවා. එව්වා තමයි අවුරුද්දෙං අවුරුද්ද අලුතෙන් දලු දාන්නේ. එව්වේ පැල වෙන්නෙත් ඔය අලමයි. හූනියං කරන එව්වට එහෙම ඔය අල, එක එක රූප කපල වලලනවලු. ඉතිං මිනිස්සු තුඹ අල ඇන්න පැල වෙංට හිටවන්නේ නෑ.. දන්නෙම නැතුව අර රූපයක් කැපිල තිබිල තමුං අතිංම වැලලෙයි කියල බයේ."
                  

                   වත්ත කොනේ නිදැල්ලේ ඉන්න හරක් රංචුවක්. 

"අප්පච්චි මේ අයිතිකාරයෝ නැති අයද?"
"ඇයි නැත්තේ.. ඔහොම හිටියට හැන්දෑ වෙනකොට ඔය සත්තු පේලියට අයිකාරයගෙ හරක් පට්ටියට යනවා."
"ඉතිං මේ අය කවුරුවත් හොරකං කරගෙන යන්නැද්ද?"
"එහෙම කතාවක් බොහොම කලාතුරකිං තමයි අහංට ලැබෙන්නේ. එහෙම එකක් කරල අහු වුනොත් බොහොම ලැජ්ජාවයිනෙ මයෙ පුතා. අනික,  ආන්ඩුව ගානේ අච්චුත් කරනවා. ඉතිං හිතේ තිබ්බත් කෙනෙක් කරංට බයයි.."

                   සරු නැති වට්ටක්කා කොල, තැම්බේරියා කොල, මෑ කරල්, හීනි බටු, කරවිල, බටුකරවිල, අඟුන කොල වාගේ එව්වා අපෙ මලු දෙක පිරෙංට එකතු කර ගංට පුලුවං වුනා. අප්පච්චි කියන්නේ එව්වා රස වැඩී කියලනෙ. අප්පච්චි වැඩි වැඩක් කෙරුවෙ නෑ.අප්පච්චි වට්ටක්කා ගෙඩියත් එක අතකට ගත්තා. ඉර මුදුං වෙංට කලිං අපිට ආපහු පිටත් වෙංට පුලුවං වුනා.

"මයෙ පුතා.... මෙහෙම අහම්බෙට මුණගැහෙන වට්ටක්කා, අඩුක්කු පුදන ඇත්තෝ ඒ වෑංජනේට ගන්නවා. වටේම ගෙවල් වලටත් බත් යවංට ලොකු මාලු ඕනෑනෙ. ගෙවල් වල පරණ වෙච්ච පැනි රහ වුන එව්වා තමයි වැඩියෙංම ගන්නේ."

"අඩුක්කු ගැන අදවත් කියල දෙංටකො අප්පච්චි.."
"හ්ම්.. ඒකත් හොඳයි ගමං මාංසිය යංටත් එක්ක."
"ඒක දිග කතාවක්ද?"
" මං කියන්නං පුතේ..

                   ඉස්සර මෙහෙ හිටියලු තරමක් තේජවන්ත හන්දුරු මනුස්සයෙක්. එයා ඔය අපෙ රටට ආව සුද්දොංටත් එදිරියට හිටියලු. ඒ අතරේ සුද්දෙක්දෝ කව්දෝ මැරුවත්ලු. එයා අල්ලංට සුද්දෝ එක එක වැඩ කරල තියෙනවා. ඒ වුනාට හරිගිහිං නෑ. එයාට උදව් කරපු ඒ වාගෙම නහයට කටුවට අහන්නැති ඔය හේන මාමා කෙනෙක් එක්ක කුඹුක් ගොල්ලට පැනලලු හැංගිල හිටියේ. එහෙ තියෙන කුඹුරු එයා අස්සද්දපු එව්වලු. කෑමට ගන්න කොල ජාති තැම්බෙංට, වැඩ කරද්දී ඉනේ ගහගෙන ඉඳල එව්වා කෑවලු. එහෙ ඉන්න පව්ල් දෙකතුනට එකතු වෙල ඒ ඇත්තංගෙ ඉරිඟු කුරහං වාගේ එව්වා කෑවලු. එව්වා ඉවර වෙනකොට ගමට හොරෙං ඇවිත් මුලදී මුලදී මිනිසුංගෙං ඉල්ලා ගෙන ගියාලු.. පස්සේ පස්සේ බය කරල ගත්තලු. ඒ දෙන්නට කෑම කොතන හරි තියංට නියම කෙරුවලු. කියන දේ කෙරුවේ නැත්තං දඬුවං දෙනවා. මෙයාට වෙලාවට කෑම, ධාන්‍ය ජාති එහෙම තියංට බැරි වුනාම මිනිසු බයට අසනීප වෙනවා. ලමයි ලෙඩ වෙනවා. හරක් නැති වෙනවා... ඒ නං හොරකං කරගෙන ගිහිං. ඒ වුනාට ඉතිං මිනිස්සු මේ මිනිහා දෙවි කෙනෙක් විදිහට අදහංට පටං ගත්තා.. ඉස්සර වන්නියබංඩාර, වන්නියබංඩාර දෙයියෝ වුනා. 


                  කාලේ ගත වෙනකොට මිනිස්සු අස්වැන්න ගන්නකොටම වන්නියබංඩාර දෙයියංට අඩුක්කුව පුදංට අක්කියල් වී වෙං කරංට එහෙමත් පටං ගත්තා. අපෙ කොලදිං ඉවර වෙච්ච වෙලාවේ කව්දෝ ඇහුවා මතකයිද.. අක්කියල් වී වෙං කෙරුවද කියල.


                   දැනුත් මිනිස්සු කොලදිං ඉවර වුනාම  ලොකු බතක් උයල අඩුක්කු පුදනවා. අපි ඒක අත් ඇරල බෝම කල්..
                   මේ බත එහෙම හදන්නේ පිරිමි අය. ඒකට යොදා ගත්ත එක්කෙනා උදේම ගිහිං නාල පිරිසිදු වෙල, ඒ කියන්නේ පේ වෙල, සුදු ඇඳල සුදු සුම්බරේකුත් බැඳල එනවා. ඊට පස්සේ බත, වට්ටක්කා, මෑකරල්, තියඹරා, කීලං කරෝල වාගේ වෑංජන පහක් හයක් හදනවා. වෑංජන වල ලුණු බලන්නේවත් නෑ. ඉඳුල් වෙයි කියල.

                    වන්නියබංඩාර කිරි රොටී කංට බොහොම කෑදර මිනිහෙක්ලු. ඉතිං එව්වත් හදනවා. කලිංම හෝදල වේලල ලැහැත්ති කරගෙන තියෙන කැකුලු හාල්, පිටි කොටනවා. හාල් පොඟවන්නේ නැතුවම. කිරි රොටී පදම හදාගෙන කිරි රොටී කබලේ ලිඳට පිටි දාල මූඩිය වහල රොටිය තැම්බෙද්දී උඩිං වතුර ඉහිනවා. එහෙම හදාගන්න රොටී කංට හකුරු හරි සීනි හරි එක්ක පොල් අඹරල දිය සම්බෝලයක් වාගේ එකක් හදනවා... මයෙ පුතා දන්නවානෙ... 

බත් එහෙම හදල ඉවර වෙනකොට කලිංම කියල
තිබ්බ යද්දෙස්සා උන්දෑ රතු සුම්බරයක් එහෙම බැඳගෙන එනවා. ගේ ඇතුලේ තැනක වියං බැඳල, පාවඩ දාල අඩි දෙකක් විතර උසිං ලෑලි මේසයක් වාගේ එකක් හදනවා. ඒකටත් සුදු රෙදි එලනවා. අර කෑම ඔක්කොම ඔය මේසේ වාගේ එකේ තියනවා බාජන පිටිංම. ගෙදර ඔක්කොම ඉස්සරහිං වාඩි කරවල යද්දෙස්සා දිගට දිගට යාතිකාවක් කියවනවා. ඒක හොඳට අහගෙන හිටියොත් තේරෙනවා, ඒ කියවන්නේ දෙයියන්නේ අගෙයි, මේ අඩුක්කුව බාරගෙන මේ ගෙදර අයට හරකාබානට බවබෝග වලට හාණියක් වෙංට නොදී රැක දෙංට, වැඩි දියුණු කරල දෙංට කියලයි. ඔය කෑම ජාති මේසේ තියනකොට උස අඩු මේසේකුත් හදල ඒකෙත් බත් මාලු කිරි රොටී බුලත් විටක් එහෙම තියනවා. ඒක අර හේනේ මනුස්සයටලු. 

                 ඔහොම අඩුක්කුව පුදල ඉවරවෙල වටේ තියෙන හැම ගෙදරටම බත් මාලු කිරි රොටී බෙදනවා. ගෙදර ඇත්තොත් කනවා..ඔන්න ඕකයි මයෙ පුතා අඩුක්කු කතාව."

"ඒක කියද්දිත් මට මතක් වුනේ කිරි රොටී, අප්පච්චී."
"මයෙ පුතා කිරි රොටී හදංට අඩුක්කු පුදංටම ඕනැන්නෙ නෑ. අපි ලඟදී දවසක හදමු."
"ඒක හොඳයි."

"වෙන දිහාවල් වලත් ඔය වාගෙම, ඒ ඒ ගම් පලාත් වල ගම්බාර දෙවි වරුංට අඩුක්කු පුදනවලු මයෙ පුතා."
"අප්පච්චි එතකොට ඒ දෙවිවරු ඔක්කොමත් ඔය වාගේ හරක් හොරුද?"

                                             simple "s"
2018.07.25

No comments:

Post a Comment