Friday, November 30, 2018

උඩගෙදර කතා 39 (කිරිබංඩි)


                               "කිරිබංඩි"

අපෙ වෙද මහත්තයා..                 04

             අර ඇත්තෝ ඇවිත් ගියාට පස්සේ අපෙ අම්මයි අප්පච්චියි ඉන්නේ හරි සන්තෝසෙං කියල මට හිතෙනවා. පුංචි පුංචි විහිළු, හිනාව එහෙම ගෙදර පිරිල. අපි විතරක් ඉන්න තැන වාගේ නෙවෙයි, අප්පච්චිත් ඉන්නවානං අපෙ අම්මා සද්දෙං හිනාවෙන්නෙ නෑ. එහෙම කලාතුරකිංවත් ඇහුනා නං ඒ අපි කව්රුවත් නෑ කියල ඒ දෙන්නා හිතන වෙලාවක. ඒ වුනාට අපෙ අම්මගෙ  ඒ මීරි හිනාව මට නං දෙතුං සැරෙයක්ම ඇහිල තියෙනවා. අපිත් එක්ක ඉන්නකොට හිනාව වෙනස්. ඒ රහස් හිනාවට සමවෙන හිනාවක් මං මේ වෙන තුරා කායෙංවත් අහල නෑ. ඒ තරම්ම කනට පිරියයි.

                මං මයෙ කාමරේට එනවා ඒ දෙන්නම දන්නෙ නෑ. කතාවේ මැද්දක ඉඳල මට ඇහුනා..

"මයෙ දුවට.. මයෙ දුවට...මයෙ දුවගෙ.. මයෙ දුවගෙ.. කොච්චරවත්! ඉතිං ඒ දවස්වල මටත් ඔව්වා හදල දුන්නේ නැත්තේ ඇයි මයෙ දෙයියෝ? අනිත්තෙක ලොකු ලමයි දෙන්නට.."
"ලොකු දුවගෙ ඒ දවස්වල ඇස් වටේට කලු වෙල තිබ්බනෙ. ඒත් ඔයෙ ඇස් එක්ක මයෙ ගනු දෙනු නෑනෙ. හීං දුවට මෙව්වා කරංට වෙලාවක් තිබ්බ එකක්යැ. දුවලෑ අම්මට නං ... එව්වා කතා කරනවා තියා මූණ දිහාවත් කෙලිං බැලුවා නං අපෙ මාමණ්ඩි මං ගහල පන්නයි. අනික ඉතිං තව හැඩවැඩ කරංට අඩුවක් තිබ්බායැයි? එහෙමත් කෙරුවා නං මස්සිනා.. හොරෙං උස්සාගෙන යංටත් තිබ්බා.." අපෙ අම්මගෙ අර මීරි හිනාව ඔන්න අයෙම.

"මේක හැදුව එකත් හොඳයි දෙයියෝ.. කෙල්ලගෙ මූණේ කුරුලෑ ගෙඩි දෙක්කුත් ඇවිත් තියෙනවා"
"ඒකට මෙව්වා හරි යන්නෑ.. ඔයෙ, මේ වාගේ වෙලාවට හැටි! කල්පනා කර කර ඉන්න එක.. කොච්චරවත් කණ්ණාඩියේ එල්ලෙන එක.. අමතක වීම.. තනියෙම හිනා වෙන එක.. කීයක් ලෙඩද? ඇයි දුවලෑ අම්මත්... මතක නැද්ද..? අපි ඉතිං එව්වා ඉවසාගෙන එයා සංතෝසෙං තියන එක තමයි බෙහෙත.."
"ඔව් ඔව්.. තනියෙං හිනා වෙනවා.. කොල කෑලිවල මොනොවාදෝ ලියනවා.. කල්පනා කරනවා..වැඩ ගොඩයි.."

               අයෙත් අපෙ අම්මගෙ අර හිනාව.
හරි.. දැං මං ආවා කියල පෙන්නංට හොඳ වෙලාව.. මං හීං සද්දයක් කෙරුවා..
"මයෙ දුව.. මයෙ දුව.." අප්පච්චි මට අඬගහනවා. හොරා.. !
"අප්පච්චී.."
"මයෙ දුවත් එංටකො.."

"මේ කුඩ දවසට දෙසරයක් මූණෙයි බෙල්ලෙයි ගාංට ඕනෑ. රෑට නං ගාගෙන ඉංට බැරි වෙයි.. ඒකට හැන්දෑවේ ගාල පැයක් හමාරක් තියාගෙන හෝදල දාංට.. එළකිරි වලිං ඒ ඒ වෙලාවට තලපේ වාගේ හදාගෙන හීං තට්ටුවක් ගාංට. කිරිවල යොදේ අයිං කරල ගංට ඕනෑ. තෙල් ගතිය මූණට හොඳ නෑ. වේලිච්ච හමට නං වැරැද්දකුත් නෑ. කුරුලෑවලට, මයෙ දුව මේ බෙහෙත් පටං ගංට කලිං දවස් දෙකක් විතර දවසට හතර සැරයක් විතර සබං ගාල හොඳට හෝදල දාංටකො.. සබං සේසයක්වත් ඉතුරු වෙංට බෑ.. ඒ වෙලාවට මූණ හොඳටම වේලිල වාගේ දැනෙනවා නං අරලුප්පිටි ඩීංගක් ගාල දාංට... හා.. මේක ගැන කියල දෙංටත් එපායැ.. මේකේ තියෙන්නේ සුදු හඳුං, කොකුම් පොතු, මුං ඇට. තව.. ටික ටික., වේලිච්ච සමන් පිච්ච මල්, වේලි කහ.. මේක ගාන දවස් වල මයෙ දුවට ලෙඩ්ඩු බලංට නං එංට බෑ.. හෝදල දැම්මත් කහපාට මූණේ ඉතුරු වෙනවා දවසක් දෙකක් යනකල්. කමක් නෑ එව්වා මං පස්සේ කියල දෙන්නං."
"මේ දවස් වල ගිනියං කෑම නවත්තල සෞම්මිය එව්වා ගංට වෙයි.." අපෙ අම්මා කිව්වා.
"ඔව්.. කුම්බලා කරෝල, කටුවල, දෙල් වාගේ එව්වා එපා. බල කරෝල, හරක් මස් එහෙමත් හොඳ නෑ.. එව්වානං අපි ගන්න එකක්‍ යැ.. ඔයෙ බෙලිමල් වතුර  එහෙම හොඳටම හොඳයි.. තව එව්වා පස්සේ මං  කියන්නං.."

             ඉයන ගෙට ගියාට පස්සේ මං අපෙ අම්මගෙං ඇහැව්වා..
"ඔච්චර විස්තර නං කිව්වා.. මෙව්වා ඇයි ඔයෙ?"
"මයෙ දුව තව ලස්සන වෙංටනෙ.. මංගල්ලෙට කලිං.. අයෙ ඕකට ඉතිං මූණ රතු කර ගංට දෙයක් තියෙනවායැ. එහෙම මූණ රතු වුනාමත් මයෙ දුව ලස්සනයි. හැබැයි.. කිසි වෙලාවක තරහ ගංට නං හොද නෑ.. මූණ කැත වෙනවා කිව්වා ඕ."
"අප්පෝ මේ මදැයි.. අපෙ අම්මා.."
"අප්පච්චිට එහෙම ලස්සන මදි වෙංටෑ.." අපෙ අම්මා හිනා වෙවී කිව්වා, මයෙ ඔලුවත් අත ගගා..

              අයෙත් මං තනි වුනා. ඒත් ඉතිං එකම දේ මං කී සැරයක් හිතනවද? ආපහු මතක් වෙංට තියෙන්නේ ඒ ටිකම විතරයි..

               එදා ලස්සන හීං බබෙක් ඇන්න අම්මෙකුයි දුවෙකුයි ආවා.. ඒ කිරි කැටියා දැක්කම මට ඉහිලුං නැතුව ගියා. රෝඕඕස පාටයි. ඔලුව ගස්ස ගස්ස දකින දකින එව්වා දිහා බලන හැටි... මං "ංක්කු.. ංක්කු... " කිව්වා... ඒකට හොක්ක කටිං.. හිනා වෙනකොට ගිලිංට හිතෙනවා. මට මොනවාදෝ මොනවාදෝ  මතක් වෙංට පටං ගත්තා..මයෙ ඇඟිල්ලක් අල්ලා ගෙනමයි  හිටියේ..

"අපෙ වෙද මහත්තයා මේ දරුවගෙ ඇඟ මුලුවස්සං බිබිලි ජාතියක්."
"කොයි බලංට.. "

               අප්පච්චි ඇස්, දිව, අල්ල, යටිපලු එහෙම බැලුවා. බෙල්ලට අත තියලත් බැලුවා.
"බය වෙංට දෙයක් නෑ.. මේ දවස් වල පෑයිල්ලට දාඩිය බිබිලි. රතේ හැදෙංටත් වාගේ.. නාවනකොට රත් කර ගන්න වතුර එකට රත්මල් ටිකක් බේත් අනෝද කොල ටිකක් දාල තම්බංට. නාවල හෙමීට පිහින්නේ.. පිහදාල ඉවර වෙල අරලුප්පිටි යාංතං ඇඟේ තවරංට.  විසෙසෙංම මේ කිරිබංඩි වල වතුර තියෙංට දෙංට එපා. හොඳට සිනිඳු පාංකඩ කැල්ලකිං හිමීට
පිහල අරලුප්පිටි තවරංට. කිරි දෙන අම්මා කිසිම ගිනියං .. සැර කෑමක් බීමක්, තක්කාලි අන්නාසි වාගේ සැර ඇඹුල් ගංට එපා ටික දවසකට, දුහුල් කෑම බීම විනා. මේ රත කල්කේ ගම්මිරිස් ඇටයක් විතර මව් කිරි වල දිය කරල උදෙයි හවහයි පොවංට. පරන වේට්ටි කෑල්ලක් වාගේ සිනිඳු රෙදි කෑල්ලක් විතරක් ඇඟට දාංට. පැදුරටත් ගොරෝසු රෙදි එලංට එපා.. බෙහෙත්  පටං ගන්න දවසේ නාවංට එපා. ඊට පස්සෙත් මේ බිබිලි යට යනකල් දවසට දෙසරේ නාවන්නෙ නැතුව මද්දහනට කලිං එක සැරෙයක් නාවල ගංට. අද හැන්දෑවට ලමයගෙ ඇඟ වැඩිපුර රත් වෙනවා නං හරි,වැඩිය අඬනවා නං හරි බේත් ඔක්කොම නවත්තල හෙට උදේම ඇන්න එට ඕනෑ.. ඔක්කොම තේරුනා නේද? හොඳයි එහෙනං ගිහිං එංට. තුනුරුවන්නෙ පිහිටයි." අප්පච්චි ඒ පැටියගෙ අතක් ඇල්ලුවේ මලක් අල්ලනවා වාගේ බොහොම සීරුවෙං. පැටියා හිනා වුනා..දරු පැටියට බුදුන්නේ සරණයි.. මාත් හිතිං හිතුවා.

"මයෙ දුව මං දරුවා හොඳට බැලුවේ.. දෙය්යන්නේ ලෙඩ වද්ද කියල. අර සරම්ප කියන එක. මං ඒ බැලුවේ නළලෙයි යටි පතුල් වලයි තමයි ඉස්සර වෙලම හැදෙන්නේ..එහෙම වුනා නං නාවංට හොඳ නෑ... සෙම වඩන මොකවත් දෙංට හොඳ නෑ.. "
"අප්පච්චි එතකොට ඒ දෙයියන්නේ ලෙඩ ජාති හැදුනම කාගෙවත් ඉඳුල් කංට හොඳ නෑ කියන්නේ?"
"ඒක මයෙ දුව අනික් පැත්තට ඔය දැං කියන්නේ.."
"ලෙඩා කෑව බීව දේ අනික් අයටයි කංට හොඳ නැත්තේ.. ඒ තියා එයා පාවිච්චි කරන කෝප්පේ පිඟාන වාගේ දේවලුත් වෙං කරංට ඕනෑ.. ඒ ඔක්කොම. අනික් අයට බෝවෙන හිංදා.."

                 අප්පච්චි තව කතාවකට මුල පුරංට හදන කොටම තව කව්දෝ මිදුලේ උගුර තනනවා ඇහුනා.
"එංට කියංට මයෙ දුව.."

                 ටිකිරි අක්කයි ඒ නැංදම්මයි. ටිකිරි අක්කා දැක්කම මට දුකක් හිතුනා. එයාට කසාදයක් කර ගංට බැරි වුනා.. දැං අවුරුදු තිස් පහක් වත් ඇති. දැන්නං ඒ බලාපොරොත්තු අත් ඇරලත් ඇති. වැඩට පලට ඉලංදාරියෙක් වාගේ හැඩි දැඩි වුනාට, හරිම අහිංසක ගෑණු කෙනෙක්. බාල කාලේ මං ඉස්කෝලෙට එක්කර ගෙන ගියේ ටිකිරි අක්කා. දවසක් මා ඔයේ නාංට ගිහිං එපා කිව්ව එකක් කරල මං වතුරේ පෙවෙංට ගියා. පණ එපා කියල එගොඩ ඉඳල ඇවිත් ටිකිරි අක්කා එදා මං ඇදල ගත්තේ නැතුවා නං... මයෙ අප්පෝ..! ඒ වෙලාවේ මයෙ කම්ඹුල් දෙකට ගැහැව්ව පාරවල් දෙක නං ජීවිතේට අමතක වෙන්නෑ. ඒ විතරක් නෙවේ, අපෙ අම්මලාට කියන්නෑ කියල වෙච්ච පොරොන්දුව අද වෙනකලුත් කැඩුවෙ නෑ. එදා මට තරහිං ගැහැව්වේ කියල මං බොහොම කාලයක් හිතාගෙන හිටියේ. ඒත් එහෙම වෙලාවක හිතේ එන ගැස්සීම නැති කරන්නේ එහෙමලු කියල පස්සේ දැන ගත්තා.

"අප්පෝ ටිකිරි අක්කා.. එංට එංට.. මං බලංටද... අප්පච්චිට කතා කරංටද? '
              ටිකිරි අක්කා මූණ හරවල පෙන්නුවා. ටිකක් ඉදිමිල..
"දතේ අමාරුවක්..?
"ඔව්.. මයෙ නංගී.. දවසක් දෙකක්ම.."

"ටිකක් දවස් ඉඳලම අපෙ මාමණ්ඩී... මාසයක් විතර විදුරුමහ වන වෙංට පටංගෙන.. මැද්දට යන්නෙත් නෑ, දත් මුල් කලු වෙලත්. ඊයේ උදේ ඉඳල ලේ ටිකකුත් ආවා.. "
"හ්ම්...දත්මුල් වනවෙල තමයි. දත් මුල් දිය වෙංටත් පටංගෙන.. ඕකට අපි උදේ හවා මදිංට දත් බෙහෙතක් හදාගමු. ඕක සතියක් යනකොට මගෑරිල යයි. දැං යන ගමං පල්ලෙහා වෙලෙං, කටු ඇනගන්නැතුව නීර මුල්ලිය දන්ඩක් දෙකක් කපාගෙන හප හප යංට. හෙට උදෙත් හපංට. හෙට හවහ ඉඳල දත් මදිංට මේ කුඩ හදා ගංට. ඉඳහිටක කරඳ මුල් කෑල්ලක්, බෝඹු දඬු කෑල්ලක් කපාගෙන දැහැටි කුරක් හදාන දත් ටික මදිංට.. හිඟුරු කෝටු කෑල්ලක් වුනත් කමන්නෑ.. දත් අස්සේ යන කෑම කෑලි රැඳිල තියෙනවනේ. එව්වා අයිං වෙනවා අඩුයි ඇඟිල්ලෙං විතරක් මැද්දට. දත් කුඩු ටික හදා ගන්නේ මෙහෙමයි.. අරළු ගෙඩි හත අටකුයි කරුංකා පුවක් ගෙඩි දෙක්කුයි ඇන්න පිටපැත්ත යන්තං කළු වෙනකල් පුස්සා ගංට. අරළු ඇට අයිං කරගෙන ඒ දෙවගේ හොදට කුඩු කර ගංට. දහයියා අලු, ඒ කියන්නේ කලු පාටට, සමව ඇන්න සහිඳ ලුනු ගම්මිරිස් ඇට දෙකක ප්‍රමානේ පිටි වෙනකල් කුඩුකරල හොදට කලවං කරල ගංට. ඒකෙං උදේ හවා දෙදවහක් විතර දත් ටික මදින කොට ඕක හරි යනවා පුතේ. ඒ කුඩෙං ටික කාලයක් දත් මදිංට.. ඔය දත්කුඩු ටිකට තෙතමනේ වදිංට දෙංට එපා. සහිඳ ලුනු තෙත උරාගෙන කැට ගැහෙනවා."
"අපෙ අයියට පිං සිද්ද වෙනවා."
"මයෙ දුව ඔය සහිඳ ලුනු ටිකක් ඊයං කොල කෑල්ලක ඔතල දෙංට."
"අපෙ අයියා කෑම බීම..?"
"එව්වා පුරුදු විදිහටමයි. ඒත් ඉතිං කතුරු මුරුංගා කොල ටිකක් තැම්බේරියා කොල ටිකක් මැල්ලුං කනවා නං බොහොම හොඳයි. පොල් තෙල් වෙනුවට තල තෙල් නං වැඩියම හොඳයි. ඒ වාගෙම මැල්ලුමටත් වැඩිය සම්බෝල ගුණයි. කතුරුමුරුංගා මල් වෑංජනෙත් ගුණයි.. කට දෙපැත්ත වන වෙනවටත් බෝම ගුණයි නංගී."

                 ටිකිරි අක්කලා තේ වතුරත් බීල,
"හතර කෝල්ලේ යංට කලිං මං අයෙත් එන්නංකො අපෙ නංගී බලංට" කියල හිනා වෙල, මයෙ කම්බුලත් හෙමීට මිරිකලයි ගියේ.

                 ටිකිරි අක්කලා යනකොටම අප්පච්චි ඉයන ගේ පැත්තට ආවා.
"ඒ ඇත්තෝ තේ බීවා නේද? ඒ කෝප්ප හොඳට හෝදල උණු වතුර අල්ලල ගංට. ඕක බෝ වෙනවා මයෙ දුව.."
"ඒත් අප්පච්චි ඒ නැංදම්මට නෑනෙ.. "
"ඒක ඇත්ත. ඒ වුනාට අඩමානෙට වැඩිය විස්වාසේ හොඳයිනෙ මයෙ දුව.."

                 මට ටිකක් ආයෙත් තනි වෙංට හිතුනා. මං මිදුලට ගියා..
                 සේඳිරික්කා මල් පිපිල.. දවල් ග්‍රීස්මේ වැඩි  හිංදාදෝ හීං හුලං රැල්ල බෝම සනීපයි. ඇලෙං එහා වෙලේ ගොයමේ පැලපත තාලෙට රැළි නගිනවා.. දවසේ අන්තිම පැණි බිංදුවත් ගංට ආව පැණි කුරුළු ජෝඩුවක් මිදුල කොනේ අපෙ වද ගහේ.. කුරුල්ලා, වකුටු හොට වද මලක මුලට ඇන්න කිරිල්ළී වටේ තප්පරෙං තප්පරේට, කොනිත්තැව්වා වාගේ තටු දෙකයි පෙංදයි ගස්ස ගස්ස එයාගෙ ආදරවන්තියට සිංදු කියනවා. නටනවා... ළිඳ ලඟ පුවක් ගගේ මල් සුවඳ හැංගෙංට පටං ගත්තට, ඇල අයිනේ රුක් අත්තන ගහ අර පිස්සු හදන මල් සුවද බෙදංට පටං ගන්නවා. හැම තැනම ලස්සනයි. ඒ විතරද.. මේ ලෝකේ කිසි කෙනෙකුට නැති... ! මට මොන තනියද්ද.....?
              
                      *                     *                      *

'"ඔය නලලට, බෙදුන නිකටට උරුම කියා
කම්මුල පාත, හිනැහෙන නුබෙ වලත් තියා
ගැඹුරු නීල දෑසේ හැඩ කවක් ලියා
එන්නේ කවදාද උකුලට මයෙ  පැටියා?

පුරවමි මෙට්ටයක් වියළුනු පිච්ච මලින්
අඩ සඳ කොට්ට තවරමි සුදු සඳුන් වලින්
තොටිල්ල වට හැඩකර රන් කැකිරි පලින්
පුරවමි බිලිඳු ලෝකය රස සිහින වලින්."

             
                                                simple "s"
2018.03.03

             
           

1 comment: