Saturday, November 17, 2018

උඩගෙදර කතා 42 (පෙම්බර ශිෂ්‍යාව)

(සාමාජිකත්වයෙන් නෙරපා හාරියි කියලා බයට අවුරුද්දකට ඉස්සර මේකත් share කරනවා. ඒ series එකත් ඉවර වෙන්න කලින් ටැබ් සටන ඉවර වෙයිද දන්නෙ නෑ.)

"පෙම්බර ශිෂ්‍යාව.."

අපේ වෙද මහත්තයා.                07 කොටස

"පෙම්බර ශිෂ්‍යාව කරදර කරන එක කෙලවරක් නෑ වෙද මහත්තයෝ."
              ලොකු මහත්තයා එකපාරම බෙහෙත් කාමරේට ඇතුල් වුනේ එහෙම කියාගෙන. කාමරේ හිටියේ අපි තුන්දෙනා විතරක් නෙවේ. සැන්‍ටිබෝට් මහත්තයයි ඒ අම්මයි තාත්තයි දෙන්නත් හිට්යා. අපි බොහොම වැදගත් දෙයක් කතා කර කර හිටියේ!
              අනික අපෙ ඉස්කෝලේ ලොකු මහත්තයා.. මේ ලෝකේ හැම දේම දන්න.. ඇවතුම් පැවතුම් අතිං දෙවි කෙනෙක් වාගේ  ඉන්න එතුමට නුගුණේ හැදීගෙන එනවා වද්ද කියල මට දුක හිතුනා. තනිකඩයෙක් වෙච්ච එතුමා අප්පච්චි එක්ක  විහිළු කරන එක ඇත්ත. ඒත් මෙහෙම කතාවක්..!
"වාඩි වෙංට ලොකු මහත්තයා.." අප්පච්චි කිව්වේ කිසි කලබලයක් නැතුව.
"මම ආවේ ලොකු කතාවකට බාදා කරගෙන වගෙයි. නෑ.. නෑ.. මම වැඩි වෙලාවක් ගන්නෙ නෑ."
               අප්පච්චි ඇර අනික් අපි නැගිටිංටයි හැදුවේ.
"නෑ.. නෑ.. ඔය අයත් හිටියට කමක් නෑ. විශේෂයෙන්ම මේ දරුවයි අපෙ ඉස්පැක්ටර් මහත්තයයි දෙන්නා.."
               ඇත්තටම මට නං ඉංට තමයි හිතුනේ.., සැන්ටිබෝට්  මහත්තයත් එක්ක. මොකද වෙන්නේ බලංට. අම්මලා දෙන්නා විතරක් ගෙට ගියා.
"ඉතිං අපෙ ලොකු මහත්තයා.. අපෙ කතාව හදිස්සියක් නෑ. මොකද්ද අර බර කතාවක් කිව්වේ?"
"නෑ වෙද මහත්තයා.. මේ පෙම්බර ශිෂ්‍යාව තවම බොහොම කරදර කරනවා. ඉවසන්ටම බැරි කොයි වෙලේත් මතක් කරන එක. කෙලවරක් නැතුව. මට දවස් දෙකක් නින්දක් නෑ.."
"බාල සහෝදරයා..වත්? උදව්වක් නෑ.. ?"
"නෑ.. වෙද මහත්තයා.. මං ඉඹගෙනත් හිටියා.."
"එහෙම මදි.. අර සුදු බට්ටිගෙං කැඳ කෝප්පයක්වත් ගෙන්නා ගත්තෙ නෑ..?
               මට බය හිතුනේ මයෙ අප්පච්චිටත් ඔළුව නරක් වේගෙන එනවාදෝ කියල.. අර තාත්තයි මහත්තයයි නං බය වෙල වාගේ හොඳටම.
"සුදු බට්ටි හොයා ගන්ටත් නෑ. අනේ මම දන්නෙ නෑ. දැන්නම් ඇතිවෙලා තියෙන්නේ.."
"චන්ද්‍රත් පපුවෙමද..?"
"ආ.. එහෙමත් එකක් තමයි..."
"හිරුණිත් ආවද?"
"අම්මේ.. ඊයෙ රෑ ඇහැක් පියවෙන්ට දුන්නෙම නෑ. ගින්දර වාගේ..!"
"හ්ම්..  ඔය සුමනා පතාගෙන පැඟිරි කෙල්ලෝ ටිකක් එහෙම එකතු කරගෙන බලමුකො.." අප්පච්චි එහෙම කියල ලොකු මහත්තයත් එක්ක හොඳට හිනා වුනා.කොහොමටත් අප්පච්චි මේ දවස් වල ඉන්නේ හරි සතුටිංනෙ...
"හැක්.. හැක්.. තමයි. මං හොඳටම බය වුනා. මීට වැඩිය 'මාම කැච්චක්  හොඳවාගේ.. අර විවේකා සුදු නෑණියි වන්නියලැත්තොයි එක්ක කතා දැම්මා' නං.."
කියල මට හිතුනා. 
"අපෙ ඉස්කෝලේ අයියා.. මොකද්ද මේ වෙන්නේ කියල නේද බලාන හිටියේ, පුතත්..?
"ඒ ව්තරක්යැ අප්පච්චි.. මාත්." මං කිව්වා.
"ලොකු මහත්තයා දැං කොච්චර දවස්ද?"
"සති තුනක්වත්.."
"හ්ම්.. සෙම නරක් වෙල තියෙන්නේ හොඳටම. අපි සැරට තැම්බුමක් බොමු. එතකොට ඔක්කොම හරි." අප්පච්චි ලොකු මහත්තයට එහෙම කියල
"මයෙ දුව අපි ඔක්කොටෝම තේ වතුර ටිකක් ලෑස්ති කරංට.." කියල මට කිව්වා.
            මං ඉයන ගෙට යනකොට අපෙ අම්මා කැවිළි ජාති මේසෙට ඇරල තේ එකට වතුරත් උණු කරල ඉවරයි!
"අපෙ ඉස්කෝලේ අයියා, මේ තමයි අපෙ ඉස්කෝලේ ලොකු මහත්තයා. මයෙ හොඳම මිත්‍රයා, නෑදෑ කමකුත් තියෙනවා... ඒ වාගෙම මේ ඉන්නේ අපෙ සැන්ටිබෝට් මහත්තයගෙ තාත්තයි අම්මයි. අපි මේ..  මේ දෙන්නගෙ කටයුතු ගැන තමයි කතා කර කර හිටියේ.."
"ඕනෑ.. උදව්වක් මටත් කියන්ට..., මේ මහත්තයා එතකොට වැඩ කරන්නේ..?"
"රුවන්වැල්ලේ.. ඒත් විශ්‍රාම ගන්න තව අවුරුද්දක් දෙකක් තමයි තියෙන්නේ.."
"ගම් පලාත්..?"
"මොලගොඩින් ඇතුලට යන්න ඕන."
              ****** ලොකු මහත්තයා කලිං ගෙදර ආව වෙලාවක මෙහෙම කතාවක් ගියා මටත් ඇහුනා.
"හ්ම්.. මයෙ ගානේ තොරණ හදවලා දෙන්නං. ගොක් කොල වලින් හොඳයිනෙ. තව අර පන්සලේ සූවිසි නටවපු වෙලාවේ දවසක් ඇමති තුමා මල්වට්ටිය විවෘත කරන්ට ආවම, දවල් ඉස්කෝලෙටත් ගෙන්නා ගත්තානෙ. එදා එතුමා  පිළිගන්ට ජයමංගල ගාථා කීව ළමයි ටික ගෙන්නලා පුහුණු කරවලා දෙන්ටත් පුලුවන්.. මේවා ඒ අය ඉන්න තැන කතා කරන්ටයැ.. නේද?"
"තොරණයි, ජය මංගල ගාතයි ඕනෑ. ඒ විතරක්යැ.. මංගල්ලෙට සහබාගි වෙංටත් වෙනවා.."
"අප්පෝ.. එක පයිං! තව ඔයෙ තේරුං මාලු කියන්නේ. ඒ වෑංජනත් ඕනෑනං, තක්කාලි දලු මැල්ලුම, කරඳ දලු මැල්ලුම, කොහොඹ දලු සලාදේ එහෙම ටික ටික හදලා තියමු."
"අනේ අපෙ ලොකු මහත්තයා.. අර අහිංසකයා අමාරුවේ දාංට ඕනැන්නෙ නෑ.." කියල අපෙ අම්මා කිව්වා.
"වෙලාවල් ටිකත් හදලා දෙන්ට නං පුළුවන්.."
"ඒ ඇත්තෝ බලාගෙන එනවා කිව්වා ලොකු මහත්තයා.." ******
"ලොකු මහත්තයා.. ආනමාලු නං එපා. සෙමට හොඳම නෑ. මේ සුවඳෙල් වරදක් නෑ, එව්වා ගංට.  අනික කැවුමුත් එපා..විසේසෙං මුං ඇට කැවුං..'
"මේ ඇති තරම් කැවිළි තියෙන්නේ.. මම ආස්මී කෑල්ලක් ගන්නං.. ඒ ඇති.."
"මං කහට හැදුවෙත් ඉඟුරු දාල.." අපෙ අම්මත් කිව්වා.
"මයෙ දුව පැන්සලයි.. කොලේකුයි ගේ්ංට මෙහෙටම.."
               ඖසද වල නං කිය කියම අප්පච්චි ලිව්වා.
"කුඩු මිරිස්, යකි නාරං, දෙහි, ඇඹුල් දොඩං, ලීම, පාවට්ටා, එලබටු, නික මේවා දළු අහුර බැගින් සහ  පත්පාඩගං, කොත්තමල්ලි, අමු ඉඟුරු, සුදුලූණු, වෙනිවැල් ගැට, වැල්මී කලං දෙක බැගින්  ගන්නවා,  කොටස් දෙකක් කර එකක් මුල් දවසේ කොටා  පොට්ටණිය බැඳ කඩපිම්මේ තම්බා මිරිකා උදේ හවා තල් සූකිරි ප්‍රතිවාප හැටියට දමා බොනවා. පසු දින ඉතිරි කොටස කොටා එසේම සාදාගෙන උදේ හවා බොනවා. එළබටු කොල, තැල් කොල කැඳ හොඳයි. සීතල කෑම බීම එපා. පාවිච්චිය උණුවතුර පමණයි."
"මේව්වා හොයා ගංට පුළුවං නේද? ළමයි දෙතුං දෙනෙකුට කිව්වම අප්පලාට කියල හොයල දෙයි. ඇල් වතුරෙං මූණවත් හෝදංට එපා. අවස්‍යම නං උනුවතුරෙං මූණයි කිහිලියි හෝදංට. එහෙම කරලවත් හුලං වදිංට, රෑ පින්නට යංට එපා. දවසක් හමාරක් විවේකෙං ඉංට. අදම හැංදෑවට කොත්තමල්ලි ඇට, දෙහි කොල, පාවට්ටා කොල, සමන් පිච්ච කොල, නික කොල ටික ටික දාල වතුර එකක් තම්බාගෙන රෙද්දක් ඉහිං කනිං පොරවාගෙන හොඳට වාස්පේ අල්ලංට. මේ ඉල දෙපැත්තටත් එක්ක. අයෙ හෙට අනිද්දත් උදෙයි හවහයි එහෙම කරංට. " එහෙම කටිනුත් කිව්වා. "දවස් දෙකට ඔය සෙම කැඩිල යයි. මෙව්වා කරවා ගංට කරුපා ඉන්නවා නේද?"
             ලොකු මහත්තයා ගියාට පස්සේ, මට හදිස්සිය තිබ්බේ සැන්ටිබෝට් මහත්තයා මට ගෙනාව නවකතා පොත දිගාරිංට. ඒකේ ඇතුලේ ලොකු වස්තුවක් හිනා වෙවී ඉන්නවා කියල මං දන්නවා! ඒත් කොහෙද... කතාවේ ඉතුරු ටික පටං ගංට අඬගැහැව්වානෙ.
              දෙපැත්තෙං ගමනට සහබාගි වෙන ගානවල් ඉඳල දෙපැත්තම හව්ලේ දැන ගංට ඕනෑ ඔක්කොම දේ කතා කර ගත්තා. මඟුල් මේසෙට අමතරව කලිං දවසේ ඉංට ගෙදර එන අයට හදන වෑංජන ගැන,  ගමනට යන අය, පෝරුව ගැන පවා අපි තුන් දෙනා කලිං කතා කරලයි තිබ්බේ. එහෙං මට ගෙනාව ඇඳුං පැලඳුං පස්සේ බලල තමයි වෙන ගංට ඕනෑ දේ කතා කර ගංට වෙන්නේ.  අප්පච්චි සමහර කාරණා කොපි පොතක ලියලත් තිබුනා. මයෙ අප්පෝ තව දවස් කීයදෑ තියෙන්නේ...
              රෑ කෑම කන ගමං, අප්පච්චියි ලොකු මහත්තයයි හවහ කතා කරපු එව්වත් අපිට කියල දුන්නා. සැන්ටිබෝට් මහත්තයා අපෙ ගෙදරයි ගෙදර අයයි පොඩි කාලේ ඉඳල දන්නවා වාගේ හැසුරුනේ. අප්පච්චි කතාව කියද්දී ප්‍රස්නත් ඇහැව්වා.
               "පෙම්බර ශිෂ්‍යාව කිව්ව එක නං තේරෙංට ඇතිනේ.. සෙම්ප්‍රතිෂ්‍යාව. මතක් කරනවා කිව්වේ  කිබුහුං යනවා, බාල සහෝදරයා මල්ලී.. ඒ කියන්නේ කොත්තමල්ලි, ඉඹගෙන හිටියා කිව්වේ වාස්ප ඇල්ලුවට, සුදු බට්ටි.. එලබටු, චන්ද්‍රා පපුවේ කිව්වේ ඔය කේන්දර බලනකොට කියනවානෙ චන්ද්‍රයා පපුවේ නං සෙම බහුලයි කියල, හිරුණි.. උන, පැඟිරි කෙල්ලෝ.. පැඟිරි ගස් වල දළු, සුමනා පතා ගෙන කිව්වේ සමන් පිච්ච කොල ඇන්න කියන එක! "
මෙච්චර වෙලාම දෙකට ගණං කර ගංට බෑ වාගේ හිටිය තාත්තත් සද්දෙං හිනා උනා. ඇති යන්තං!
"වෙදකමේ රහස් බාසා කියන්නේ ඒවටද අපෙ වෙද මහත්තයා..?"
"සුමනා පතා ගෙන වාගේ එකක් දෙකක් නං එහෙම එව්වා තමයි. අනික් එව්වා ඒ වෙලාවට හදා ගත්ත එව්වා! ඔක්කොම ගත්තම රහස් බාසාවකුත් තමයි ඉතිං  නේද? අපෙ ඉස්කෝලෙ අයියා.. ඔය රහස් බාසා රහස් වට්ටෝරු වගේ එව්වයි ගුරුමුෂ්ටියි හිංදා තමයි අපෙ වෙදහෙදකං කවදා හරි නැතුවම යන්නේ. ඇයි හිතල බලංට, ඉස්සර අපෙම කියල බෝම දස්ස ඇස් වෙදකම තිබ්බා.. ඒ කාලේ ඇස්ගෙඩිය එලියට ඇන්න කැපුං කෙටුං, බේත් හේත් කරල ආපහු තිබ්බලු. එහෙම දස්ස වෙද පරම්පරාවක් මං දන්නවා. කොයි දැං ඒ දස්සකං..? මොකදෑ ඉස්සර ආන්ඩුවේ ඉස්පිරිතාල වලිංද ගංවල මිනිසු ජීවත් කෙරෙව්වේ.. හංදි වෙදකම ගෙඩි වෙදකම එහෙමත් ඒ වාගේ තමයි.."
"ඒ වුනාට එහෙම කථා කරනකොට හරි ලස්සනයි, අහගෙන ඉන්න.."
             පහුවදා යනකල්ම අප්පච්චි ඒ ඇත්තෝ සතුටිං තිබ්බා. ඒ වාගෙම අමුත්තෝ වගේ නොදැනෙංට අපි සැලකුවේ. සැන්ටිබෝට් මහත්තයා  නං තනිකං දෝසේ හැදිල දැඟලුව වෙලාවලුත් තිබුනා, මං ඇඟට පනියි කියල බයේ...!

              යංතං නිදාගංට ගිහිං තමයි පොත දිගෑරියේ. විජවිජහට පෙරලාගෙන යනකොට පුංචි කොලයක් ඒක මැද. ආ..පෝ...... යංතං කවි දෙකයි. තරහේ බෑ. හොඳයි මං ඔව්වේ වාඩුව ගන්නංකෝ...!

මූදේ ඈත ඇත්තේ ඔය ඇස නිල්ල
නුඹෙ හඬ නගයි බෝ පත් හා නව දල්ල
කලුගඟ අරන් ඔය කෝමළ දැඟලිල්ල
මතකය ඔය සිනාවයි මා කෙරුවේ මෙල්ල

පුරපෝ දින තුනක් හනිකට ගෙවීයන්
නුඹේ සුවඳ හෙට මට වාසනාවන්
මගේ නිවස සිරියාවෙන් පිරීයන්
"මා පමණක් නොවේ මා" යනු දැනීයන්!

                                                     simple "s"
2018.03.22

No comments:

Post a Comment