"රාහු.."
"ඉතිං... අපලයි කිව්වද?"
"මොකක්දෝ එකක මහ දසාවයි අතුරු දසාවයි දෙකම කිව්වා අප්පච්චි.."
"හරි, මං ඒ අයව පේලියට කියාගෙන යන්නං.." අයියා හොට දැම්මේ එහෙම.
"හ්ම්.. එහෙම කිව්වොත් මතක් වෙයි."
"රවි, බුද,ගුරු, ගොවි, කම්කරු.."
"ලොක්කා දුවපිය යන්ට මෙතනිං. මයෙ පුතා කියන්ට මොනවද වෙන කිව්වේ?"
"ඒ කේන්දරේ හරි නං.. මේ වෙනකොට එක්කෝ මං හිර ගේක වෙන්ට ඕනලු.. නැත්තං අත පය කැඩිල එකතැං වෙලා වෙන්ට ඕනැලු. එහෙමත් නැත්තං මැරිලා වෙන්ට ඕනැලු.. "
"පිස්සුද මල්ලි ඔයා මැරිලද ඔයෙ..?"
"නෑ නෑ එයා කියන්නෙත් දැං ඉන්න තත්වෙට ගැලපෙන්ට අලුතෙන් කේන්දරයක් ලිව්වොත් හොඳයි කියලා."
"ඉතිං අප්පච්චි ඒකට හරියටම උපන් දිනෙයි වෙලාවයි දෙන්ට ඕනනෙ. මල්ලි උපදිනකොට අපෙ ගෙදර තියා අහලකවත් හරියටම වෙලාව බලා ගන්ට ව්දියක් තිබ්බද.. දැන්නං ගෙදරම පාවිච්චි කරන ඔරලෝසු ඇර තව කීයක් ඒවා තියෙනවද? ඉතිං කොහොමද ඒ කාලේ උපන් වේලාව දැන ගත්තේ?"
"ලොකු පුතා.. මල්ලී ලැබුනා කියනකොට අපෙ හීං අයියා පලවෙනි ගඩොල් කැටේ ලඹ කරලා තිබ්බා විතරයිලු.. ඒ කියන්නේ ලකලෑස්ති වෙල වැඩ පටං ගන්නකොට උදේ අටට වගේ නෙ." උත්තර බැන්දේ අපෙ අම්මා.
කොහොමහරි මේ කතාවෙන් පස්සේ අප්පච්චියි අපෙ අම්මයි එකතු වෙලා හොරෙන්ම මට අලුත් කේන්දරයක් විතරක් නෙවේ.. කරේ බඳින්ට යන්තරේකුත් හදවලා.. මොකද ඒ තරම්ම අපලයිලුනෙ! මට තිබුන එකම අපලේ, ඉන්න රස්සාව ඇතිවෙලා තිබුන එක විතරයි. යන යන සම්මුඛ පරීක්ෂනයට මොකද වුනේ කියල තොරතුරක් වත් නෑ. සමාන සුදුසුකම් තිබ්බ, හැම ඉන්ටවිව් එක්කදිම මුණ ගැහෙන, "ඉන්ටවිව් ෆ්‍රෙන්ඩස්"ලගෙන් එකෙක් ඊළඟ එකේදි නැති වෙනකොට තමා දන්නේ කලිං එකට එයා තේරිලා කියලා.
ආයෙත් ඉතිං අළුත් එකේ මාසයක් හමාරක් හිතිං ජීවත් වෙනවා, ලියුං කාරයට බැන බැන, ගැසට් එක කට පාඩං කර කර..! කොහොම හරි උපන් වේලාවට නෙවේ, දැන් අත් විඳින ජීවිතයට ගැලපෙන්ට හැදුව කේන්දරයකුත් මට දැං තියෙනවා! ඉරිදා පත්තරේ ලග්න පලාපල විදියට තුලාවට 'අළුත් රැකියා අවස්ථා..' නං ඒ සතියේ මගේ ලග්නය තුලා. කන්‍යාවට 'නව ප්‍රේම සබඳතා..' නං ඒ සතිය මම කන්‍යා.. ඒකත් නරක නෑ!
අළුත් යන්තරේ එල්ලාගෙන ඉන්න එක අළුත් අපලේ වෙයි කියලා මං හිතාගෙන හිටියට අනේ එහෙම වුනේ නෑ. අළුතෙන් වතුරේ දාල දුන්න ගෙදර තිබුන පරන චේන් එක, කමිසේ උඩම බොත්තම නොදා අඟලක් දෙකක් පේන්ට තියාගෙන ඉන්නකොට.. කමිසේ නැතුවම ඉන්නකොට එහෙම මොකද්දෝ ගතියක්! කව්රු හරි ඒක දිහා හොරෙන් බලනකොට... !
ඔන්න වැඩි කාලයක් ගියේ නෑ.. අපල පටන් ගත්තා. අයියා කසාද බඳින්නෙ නෑ කියලා තදින්ම කිව්වට පස්සේ මාව බිල්ලට අහු වෙලා. අපෙ අම්මට අළුත් 'දුවෙක්' ඕන වෙලා. "කව්රු හරි ඉන්නවා නං කියන්ට" කියලා අවසරේකුත් දුන්නා. ඒත්... "අවුරුදු හතක් ඉඳලා කඳ හරහා බූට් එක දුන්නනෙ" කියලා අපෙ අම්මලාට කියන්ටයැ.. ! ඒ අර පරණ අපල කාලේ..! ගොඩිං මෙච්චරයි මඩිං මෙච්චරයි.. ගුරුවරියක්.. බොහොම ලස්සණයි.. අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ .. අනෙ අප්පේ ගෙනාව සීනි බෝල කන්දරාව.
දැම්ම එපා.. ගෙයක් හදාගෙන ඉන්ට ඕන.. අර විභාගේ සම්පූර්ණ කරගෙන ඉන්ට ඕන.. කීයක් හරි හොයාගෙන ඉන්ට ඕන... මාත් කෝඳුරු තෙල් හත් පට්ටයයි තව ටිකට තවත් ටිකක් එකතු කර කර කර හිටියා.
මෙන්න ඒ පාර තව අපලයක්.. අයියට මහ ගේ. මට අළුත් එකක් එහා පැත්තේ ඇල අයිනේ.... අප්පච්චි ඉඩම සුද්ද කරලත්. මගෙ අතේ තුට්ටුවක් නෑ.. තුන් මස් වැටුප් අත්තිකාරම් ගත්තොත් රුපියල් දෙසිය හැට දෙකයි ශත පනහයි. ඒත් ඒක ගන්ට මොන වදයක් විඳින්ට ඕනද.. ගත්තත් කාමර තුනේ, කුස්සියේ, සාලේ පවුන්ඩේසම දාන්ට නං ඕනවටත් වැඩී. ඒත් ඉතිරි හරිය? ගෙපල කපන්ට නැකතකුත් බලලා. පළමුවෙනි පස් පිඩැල්ල මගෙ වාසනාවන්ත අතින්ම. වාසනාවන්ත තමයි..! දකුණු කකුලේ මාපටැඟිල්ලට මැහුම් තුනයි.. නිවාඩු සතියයි..
සිද්ද වුනේ බරපතල බාධාවක්.. අළුතෙන් ආයෙ වෙන නැකතක්.
"පන්සිල් ගන්ට නමස්කාරේ කියන්ට.. සද්දෙන්.."
"නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධෝ විජ්ජා.." මං පාර වරද්දා ගත්ත බව තේරිලා තව තප්පර කීපයක් තොල් හොල්ල හොල්ල ඉඳලා ඔලුව වැනුවා. මගෙ කරුමෙට අයියා හිටියේ මගෙ ලඟ..! එයා අලුත් නමස්කාරය රොයිටර්ට දුන්නා.. මං අම්බානකට බැනුං ඇහුවා.. වෙන අයට මං ඉන්න තැනම ඕක කියනකොට තව කෑල්ලකුත් එක්කරා.. "ඒකට මොකද කියන්නේ නං බුද්ධාගමට ඩී කියලා!" එයාට ඒකට එස් කියලා මං පලියැ. නිගන්ටයා..!
ගෙයි වැඩට මට හුඟක් මහන්සි වෙන්ට වුනා. ඒ කාලේ බඩුත් හිඟයි. සිමෙන්ති, ඇස්බැස්ටස්, වීදුරු හෙම. ඒ මදිවට ගනං. සිමෙන්ති මිටිය රුපියල් දාහතරයි. හතයි පනහට තිබුන එක..
නෑදෑයෝ දෙන්නෙක්ම දොර ජනෙල් හදන එක මගෑරියා. ගමේ පන්තියේ එකට ඉගෙන ගත්ත විජේ.. පොඩි බාස් උන්නැහැ තමයි අන්තිමට වැඩේ කරලා දුන්නේ. ජනෙල් මට්ටම් වලට එනකොට දොර ජනෙල් උළුවහු තිබ්බා. ඒවා අව්වට පුපුරන හින්දා ගෝනි පඩංගු උඩින් පල්ලෙහාට දාලා කොං ගෝනි ඉදිකට්ටෙන් මැහුවා. ඊට පස්සේ එක එක හේතු හින්දා සති දෙකකට වැඩිය වැඩ නතර වුනා. ආපහු වැඩ පටං ගන්ට ගෝනි අයිං කරන කොට, ඒවා අස්සේ ඉස්සරහ ජනෙල් උළුවස්සේ මීයක් බැඳලා. අර්ථකතන පලාපල මහ ගොඩයි.
"ලොකු කණ්ඩායමක්ම ඇවිත් පදිංචි වෙන එක කොයි තරං වාසනාවක්ද.."
"ගේ පාළුවට යනවලු... කෙවුල්ගම අර වලව්ව පාලුවුනේ ඒක හදද්දී මී බැන්ද හින්දලු. ගෙහිමියටලු අපල.. ඒකේ ඉන්ට ලැබෙන්නැල්ලු."
"ඔය එකක්වත් නෙවේ... හිරිහැරයක් කරදරයක් නැති නිශ්කලංක තැනක ඒ ගොල්ලෝ මී බඳිනවා." අයියගෙ ඔපීනියන් එක ඒ.
ගෙයි වැඩට, හිතට දහිරිය විතරක් නෙවේ මුදලිනුත් උපකාර කරපු පද්මි අක්කට යවපු කවි පෙලක මෙහෙම කවි දෙකකුත් ලීව්වා..
"අද වන විට දමා ඇත හිස් හතක් තව්
හොඳටම දනිමි දැන්නම් ගල් ඉවර බැව්
පිළියම් සැවොම බිඳ වැටුනත් මෙතෙක් සෙව්
නොසැලී පෙරට යමි සොයමින් "සැපත" මැව්
අද බැන්දා ඉදිරි පැත්තෙත් පලංචිය
සිමෙන්ති වලට දෑතෙත් දැන් පරංචිය
පැතුවත් ඉක්මනින් "සැපතෙහි" පදිංචිය
පොලු හින්දාම ඒකත් මට තහංචිය
මෑතකදී මෙලෝ හැර ගිය ආදරණීය මහින්ද, එයා මිහිර පත්තරේට ලිව්ව 'හුන්නස්ගිරි කඳු පාමුල" ට ලැබුන පළමු සොච්චං මුදලෙන් රුපියල් විසි පහක්ම එව්වේ "මගෙ ගානේ සිමෙන්ති මුට්ටයක් ගන්න" කියලා. ඒක එකකට නෙවේ දෙකකටම හරි.
දහ දුක් කියන ඒවා දුසිං ගනං හිතිං ගතිං විඳගෙන, ඔය 'මගේ ගෙදර' පදිංචි වෙන්ට පුළුවං තරමට වැඩ ඉවර කරලා මට මාස හයක්වත් ඒකේ හැඩ බල බල ඉන්ට ලැබුනේ නෑ.. වෙන වාසනාවන්ත ගමනක් පටං ගන්ට සිද්ද වුනා.
ඔන්න මාව බදාගෙන හිටිය කෙනෙක් මාව අත් ඇරලා ගිහිං! මටත් හොරෙංම... ඉන් පස්සෙයි මට තේරුනේ එයා හිටිය කාලේ මට අහිම් වුන හැම දෙයක්ම මගෙ වාසනාවට එහෙම වෙලා තියෙන්නේ කියලා..
"රාහු!.."
simple "s"
No comments:
Post a Comment