"ගෝහාල මැස්ස...."
මගෙ අප්පච්චිගෙ කෘෂිකර්ම (ප්‍රායෝගික) පාඨමාලාවෙන්. (අංක 10)
"මයෙ පුතා ඔහොම ඉංට මං තේ වතුර ටිකක් හදා ගංට වතුර එකක් ඇන්න එන්නං" අප්පච්චි වේලිච්ච, ඇතුල හිස් ලබු ගෙඩියත් අතකට ඇන්න කිව්වා. ඒක කොහු ලණු වලින් ලස්සණට ගොතල. එල්ලා ගංට කාදුවකුත් දාල.
"කොහෙන්ද වතුර අප්පච්චි?"
"එහා පැත්තේ කඳුරේ තවම තියෙනවා. යායේ වැඩ ඉවර වෙනකල් හිඳෙන එකක් නෑ මයෙ හිතේ."
"අප්පච්චි වතුර නැති තැං වල ඉන්න සත්තු බොන්නෙ මොනවද?"
"ඒ අය පාන්දර පින්න වැටිල තියෙන තණ කොළ උලා කනවනෙ. ඉතිං ඒ අයට පිපාසේ නැති වෙනවා. අයෙ ඉතිං ඈත ගිහිං බීලත් එනවා." අප්පච්චි කඳුරට ගියාට පස්සේ මං හේනේ මායිම පැත්තට ගියා. ඒ පැත්තේ උඩිං ගල් කන්දක්. සත්තුත් ඉන්නවද මං දන්නෑ. ගල් පාමුල වැල් වල එක එක ජාතියේ ගෙඩි. වට්ටක්කා වැලක් බිමයි ගැඩුඹ ගහකයි යාං වෙල, ගෙඩි පිරිල. සමහර ගෙඩි නැට්ටෙං පට්ටා වලිං ගහේ අතු වලට ගැට ගහලත්. කැකිරි තියඹරා පුහුල් ලබු වැටකුලු . ගල් ගොඩ ගහල තියෙන තැං වල......, අර ගල් මැල කියලත් කියන්නේ, එව්වට යාං වෙංට තියඹරා කැකිරි මෑ වගේ එව්වා හදල. තක්කාලි බටු වාගේ එව්වත් ගහක් දෙකක් තියෙනවා. වැටේ තිබුනා උස නැති පේර ගහක්. මං ලේසියෙංම කඩා ගත්තා ගෙඩි දෙකක් තුනක්. එකක් හැපුවම ඇතූල තද රෝස පාට. හරියට අව්වේ හිටියම කිරි නංගිගෙ මූනේ පාටටත් වැඩිය. එතෙංට එහා පැත්තේ ගහක් ලඟ ඉඳල හාවෙක් පැනල දිව්වා. මං කලිං හාවෝ දැකල තියෙනවා. එයා හිටිය තැන බලංට ගියාම.. අනේ.. මෙන්න පුංචි හා පැටව් දෙන්නෙක් එතන.. සුදුම සුදුයි. අල්ලන්නෙ තැතුව බලල ආවා.
අප්පච්චි ගෙදරිං ගෙනාව මල්ලෙං තව පුංචි මල්ලක් එලියට ගත්තා.
"වතුරටික පැහෙන කල් එන්ටකො අපි රොටී කමු." කමත අයිනේ තියෙන වෙලං ගහ යට කරු දෙකක් හිටවල. එව්වා හරහට ලීයක් ගැටගහල. ලීයට දාල තියෙන කම්බි කොක්කක ටිං එක්ක වතුර එල්ලල. යටිං ගිංදර.
"කුරහං රොටී.. මී තෙල් ගාල රත් කරල. හකුරුත් තියෙනවා ඕනෑ නං.
"මං මී තෙල් ගෑව රොටී කන්නං."
"රස්නේ පිටිං තමයි රස. ටිකක් කටේ ඇලෙනවා වාගේ දැනෙයි."
"රොටී වලට විතරද අප්පච්චි මී තෙල් ගන්නේ.?"
"නෑ නෑ. ලියන පොලොස් තෙල් දාංට වගේ එව්වටත් ගන්නවා..පොල් තෙල් හිග වෙලාවට වෑංජන තෙල් දාන්ට මී තෙල් තමයි පිහිට වෙන්නේ. ඒ වාගෙම ඇඟපත රෙදෙන තැං වලට, වාත අමාරු හැදෙන තැං වලට, උලුක්කුවක් එහෙම හැදුනම මී තෙල් ගානවා. ඉසෙත් නං ගානවා. හැබැයි පොල් තෙල් වාගේ නෙවෙයි. කොන්ඩේ ඇලෙනවා ඇලෙනවා වාගේ. වෙන වෙන බේත් හේත් වලටත් ගන්නවා.
"අප්පච්චි මී තෙල් හදන්නේ කොහොමද?"
"ඒක දිග වැඩක්. මයෙ පුතාට පස්සේ දවසක කියල දෙන්නං."
"රොටී මෑලි වෙල තිබුනට මොකද, අප්පච්චි මෙහෙම රසයි. "
"මාංසි වෙල ඉන්නකොට කොයි දේත් රහයි මයෙ පුතා.. ඒ තියා තේ කහට උගුර උනත්."
තේ වතුරයි වතුරයි බොංට තියෙන්නේ හොඳට කුරුටු ගාපු පොල් කටුවල. අප්පච්චි කඳුරට ගිහිං එන ගමං ලොකු කොල තුන හතරකුත් කඩාගෙන ඇවිත්. කැන්ද කොල. බත් කන්නේ එව්වේ. පිඟානුත් නෑනේ.
අප්පච්චි හේනට ඇවිත් තිබුනේ පැලේ ගෝහාල මැස්සක් හදංට. ගෝහාල මැස්ස හරියටම ඇඳක් වාගේ. වැඩිය උස නැති කරු හයක් එක උසට බිම හිටවල ලඟිං ලඟ දිගටයි හරහටයි පිළිවෙලට, හරි කෙලිං තියෙන ලී දාල, පට්ටා වලිං ගැට ගැහැව්වා. ඒකේ වාඩි වෙංටයි නිදාගංටයි පුලුවං. නිදා ගන්නකොට පඩංගු දාල ගන්නවා.
තේ වතුරත් බීල, කලිං කපාගෙන ඇවිත් තිබ්බ ලී වලිං ගෝහාල මැස්සත් හදල අපි වැට හදංට ගියා.
"හාවෝ ඉත්තෑවෝ එහෙම මේ තැං වලිං රිංගල එනවා. ඌරට උනත් මෙව්වගෙං රිංගල එංට පුලුවං. ඊයේ පෙරේදා දවසක් ඌරෝ රංචුවක්ම උඩහ බඩපිස්සා පුතාගෙ හේනට රිංගල ඉරිඟු ගසුත් තලල මුලුවස්සං හාල ගිහිං."
"හානවා කියන්නේ අප්පච්චි?"
"ඌරා එයාගෙ හොම්බ බිම තියාගෙන ඉස්සරට යනකොට හීං නගුලකිං හානවා වාගේ තමයි."
"අපෙ වත්තටත් ආවොත්.?"
"හෙට අනිද්දම රෑට පැලට එංට හිතාගෙන ඉන්නේ මාත්. එහා හේං හැම එකේම වාගේ දැම්මම රෑට ඉන්නවා."
"ඒක තමයි එහෙනං අප්පච්චි ලංතෑරුම එහෙම සුද්ද කෙරුවේ. "
"දැනට නං කොහොල්ලෑ පාං තිරත් තියෙනවා.. එව්වේ එලිය මදි."
"මං දැක්කා පැලේ තියෙනවා. සිමෙන්ති කොලේක ඔතල. ඉතිං අප්පච්චි එව්වා පත්තු කරන කොට එහෙම කොහොල්ලෑ අතේ ගෑවෙන්නෙ නැද්ද?"
"මයෙ පුතා.. ගැහිච්ච වලං කෑල්ලක කොහොල්ලෑ දාල ලිපේ තියල බුබුලු දදා පැහෙනකොට දිග පාං තිර දාල එව්වේ පොඟවල ඇන්න හොඳට ගෑවෙංට දහයියා වල දාලනේ ඔයෙ තියෙන්නේ. ඉතිං අතේ ගෑවෙන්නෑ."
අපි බත් ගෙඩිය, බත් මුල කියලත් කියනවා, ගෝහාල මැස්ස උඩ ලිහාගෙන ඒකෙම තියාගෙන කෑවේ. කැන්ද කොලවල. අප්පච්චි මට ඉඳ ගංට පැතලි ගලකුත් තියලයි තිබ්බේ. තල්කාලි දාල හදල තිබ්බ බටු කොඳයි තෙල් දාපු කීලං කරෝලයි ඊයේ වත්තෙං කඩාගෙන ගිය වේලා කොල මැල්ලුමයි එක්ක කැකුලු හාල් බත්! පෝප් පතක තද වෙංට ඔතල තිබ්බේ. මං එහෙම කැමතියි කියල අපෙ අම්මා දන්නවා.
අප්පච්චි හැන්දෑ වරුවේ, හරිකෙලිං තියෙන ටිකක් ලොකු පොලු වගෙයක් සුද්ද කෙරුවා.
"අප්පච්චි ඔව්වා ඇයි?"
"මයෙ පුතාට මතක නැතුව ඇති. මෙව්වෙන්නේ කුරහං තලන්නේ. කුරහං තඩි කියලත් මෙව්වට කියනවා. හොඳට වේලිච්ච කුරහං කරල් ගොඩ කරල, විසේසෙම්ම ඉලංදාරි ඇත්තෝ කීප දෙනෙක් වට වෙල මේක ඔලුව වටේ කරකවල අරං තලනවා. ඉතිං කුරහං ඇට කරල් වලිං වෙං උනාම පොලල මලු වල ගෙදර ඇන්න යනවා."
"ඉතිං ගොඩායිනෙ. ඇරගෙන යන්නේ කොහොමද කරෙං?"
"කුරහං, ඉරිඟු, මෑ, මුං වාගේ ඔක්කොම ජාති ඒ විතරක් නෙවේ ගෙඩි ජාතිත් තවලමකිං නේ ගෙදර ඇන්න යන්නේ."
"අප්පච්චි මෙච්චර වට්ටක්කා තියඹරා අරුවා මෙව්වා ගෙඩි ගොඩක් අපිට කංට පුළුවංද? කල් තියනකොට නරක් වෙයිනෙ."
"ගෙඩි ජාති තියනකොට සුමාන දෙකෙං තුනෙං තියන තැන මාරු කරල උඩ යට මාරු කරල තියනවා. ඒත් කැකිරියි තියඹරයි නං හුඟාක් කල් තියා ගංට බෑ. පුළුං වෙනවා. හොඳට පැහිච්ච වට්ටක්කා නං මාස හත අටක් තියා ගංට පුළුවං. තියංට තියංට කහ පාට වෙවී තව මෝරල අන්තිමට පැණි රහක් හැදෙන්නේ.. මතකයිද?"
අපි ආපහු ගෙදර එන්ට පිටත් වුනේ අනික් හේංවල තව දෙන්නෙක් යනකොට. අප්පච්චි අතේ වැඩ කරපු වප්පිහියයි ලැයිට් එක්කුයි තිබ්බා.. පුංචි මල්ල මයෙ කරේ එල්ලුවා. ඒකේ මෑ කරල්, කුරුලු දඹල පලු, තැම්බේරියා කොල වාගේ මොන මොනවදෝ තිබ්බා.. මෝරල නැති හීං වට්ටක්කා ගෙඩියකුත්. ඒවා මෑ කරල් දඹල එහෙම එක් කරල තෙල් දැම්මම රහයිනෙ. මල්ල වැඩිය බර නැති වුනාට ටිකක් දුර ගිහිං අප්පච්චි අතටම ගත්තා. අනික් අයත් ඒ වාගේ.
අපි ආපහු එද්දිත් පොඩි පොඩි දේවල් වුනා. ගල් පිලේ පැත්තකිං කැලේ සත්තු වගයක් එක පාරම දුවනවා ඇහිල මං ගැස්සුනා. එක පාරම මං අප්පච්චි පැත්තට හැරුනා. මං බය උනා කියල දැන ගෙන අර මාමා කෙනෙක් මයෙ ඔලුව අත ගාල.
"බය හිතුනද පුතේ? අපි මොකටද බය වෙන්නේ. උං අපිට බයේනෙ ඒ දිව්වේ. මුවෝ රංචුවක්. අනික පුතා දැං ඉලංදාරියෙක්නෙ පුතේ." කිව්වා. හිනා වෙවී.
'එහෙනං මටත් කුරහං තලංටත් පුලුවං..' කියල මට මතක්වුනා.
ඒ එක්කම වාගේ අඩි පාර ඉස්සරහ බල්ලෙක් අපි දිහා බලාගෙන ඉන්නවා මෙන්න.
"මේ හරියේ ගෙවල් තියෙනවද?" කියල මං ඇහුවා.
"නෑ පුතේ ඒ නරියෙක්." අනික් මාමා කිව්වා. ඒ වෙනකොටත් එයා අපි මගෑරල ගිහිං. සත්තු මිසුන්ට හරි බයයි. සත්තු සත්තු වාගේ නෙවෙයි.
හීං මයිලත්ත ගාවදි තමයි ලස්සනම දේ දැක්කේ. අර මං කීව කන්දේ දෙපැත්තට පාර මාරු වුන තැන.
එක පැත්තකිං ලොකූවට හඳ පායල කිරිඳිකැටිය කන්දෙං අප්පච්චි කියනවා වාගේ බඹයක් විතර උඩට ඇවිත්. හෙට දෙපෝයනෙ. අනික් පැත්තෙං නුගේතැන්නට ඉහලිං තියෙන.
හුන්නස්ගිරිය කන්දට බඹයක් විතර ඉහලිං රත්තරං පාටට ලොකූ ඉරක් බැහැගෙන යනවා. එක තැන ඉඳල දෙකම දකින කොට හරි ලස්සණයි.
අපෙ වත්ත හරිය පහු වෙල ටිකක් එහාට ගියාම තියෙන ගස් ගොම්මනේදී නං ලැයිට් එව්වා පත්තු කරන්නේ නැතුව ඇල අයිනෙං යංට බැරුව ගියා. ඒ ගහක ඉඳල මොකෙදදෝ කුරුල්ලෙක් කෑගැහුවා. එයාගෙ සද්දේ ලස්සණ නෑ විතරක් නෙවෙයි. මහ පාලුවක් දැනෙන සද්දයක් ඒක.
"මොකෙද්දෝ කුරුල්ලෙක්." කීව මාමා ගල් කැටයක් අහුලාගෙන ඒ පැත්තට ගැහුවා. ඊට පස්සේ ඉවරයක් නැතුව කිව්ව එයාගෙ කතන්තර මට අහගෙන ඉංට වුනා. අප්පච්චිත් ඒ කතා වලට හවුල් වුනා.
අපි ගෙදර එනකොට අපෙඅම්මා ගල් වැට ලඟ.
"මයෙ පුතා පරිස්සමිං ගිහිං ආවා නේද?"
මයෙ ඔලුව අත ගගා එහෙම කතා කරනකොට මට තේරුනා අපෙඅම්මා අඬල කියල.
"ඔව් අපෙඅම්මා මට හරී සන්තෝසයි." මං කිව්වා.. මං ගෙනාව පේර ගෙඩි දෙකත් අපෙඅම්මා අතට දෙන ගමං..
simple "s"
2018.01.13
No comments:
Post a Comment