"තං තේජසා භවතු තේ...." 2
*** ආයුබෝවන් ***
අපෙ වෙද මහත්තයා 09 කොටස
අයෙත් අපි දෙන්නට වෙං කරල තිබ්බ තැන වාඩිවුනා. මහත්තයා අඳුරන්නෑ වාගේ හිටියේ. ඒත් ටික වෙලාවයි.
ඇවිත් හිටිය එයාගෙ යාළුවෝ දෙතුං දෙනෙක් අපි ලඟට ඇවිත් උදේ අන්දවපු එවුං වාගේ විහිළු කරංට පටං ගත්තා. අම්මෝ.. ඒ කිව්ව දේවල්! දවස් තුන හතරක්ම මයෙ තනි රකිංට ගෙදර ඇවිත් හිටිය ජීවනී, අර ප්‍රනාන්දු මාමගෙ දුවනෙ දෙවෙනි මනමාලී. ඒ වෙලාවෙත් මයෙ ලඟ. ඒ අහිංසක කෙල්ලටත් මුං ටික ඉංට දුන්නෙ නෑ. දැං ජීවනීලා අපෙ නෑදෑයෝ වාගේ.
එක වෙලාවක අප්පච්චි මොනවටදෝ අපි ලඟට ආවා. අපි ඔක්කොම නැගිට්ටා. අදත් අප්පච්චිට ලෙඩෙක්! ගෙදරිංම.
"ඉතිං උපාලි දැන් තාත්තට කියන්න." මහත්තයා එයාගෙ යාලුවෙකුට කිව්වා. එයා වැඩිය කතා නැති කෙනෙක්... පස්සේ දැන ගත්තේ.. ඒ තමයි ලොකුම විහිළුකාරයා.. එදා අසනීපේ හිංදා උපාසක!
"තාත්තේ මගෙ මේ ඇහැට ඉහලින් කැක්කුමක් අල්ලනවා. උදේට උදේට. දැන් දවස් තුනක් විතර.."
"ඉර මතු වෙනකොටද වැඩි වෙන්නේ..?"
"අන්න හරි.. දවල් එක විතර වෙනකොට අඩුවෙනවා."
"ඉරුවාරදේ.. අපි ඕකට පොඩි පැලැස්තරයක් දාමු. එතකොට හරි. සුදු ලූණු බිකක්, ආ.. පුතාලගෙ මූණු සියුම් හිංදා ඇල්වතුරෙන් නං බැරි වෙයි, මව්කිරි බ්ංදු පහ හයකිං සියුම්වට අඹරල, හීං රෙදි පටියක හීනි තට්ටුවක් තවරල, බේත් නැති පැත්ත ඇහි බැමට උඩිං අලවල පැයක් විතර තියංට. දැවිල්ල වැඩි නං අයිං කරංට. දියර ඇහැට නොයංට පරිස්සං වෙංට ඕනෑ. දැං හදවල දෙංටත් නං පුළුවං.. ඒත් දැං අලවාන ඉන්නේ කොහොමදෑ.." අන්තිම ටික කිව්වේ හිනා වෙවී. කොහොම හරි ඒ ගමංම බේත කරංට තීරණය වුනා.
පොඩි පොඩි අය එහෙට දුවනවා.. මෙහෙට දුවනවා.. අපි දෙන්නා දිහා බලාන ඉන්නවා.. ලොකු අයගෙං බැනුං අහ ගන්නවා.
එක ලමයෙක් ලඟට ආවම ඔලුව අත ගෑව හිංදා අනික් අයත් පෝලිමේ බලාන ඉන්නවා.
"ඇයි ඔය දෙන්නා ඔහොම ඉන්නේ.. එංට අපි එක්ක සෙල්ලං කරංට.." එක ලමයෙක් කිව්වා.
"බබා ඒ දෙන්නා වැරදි වැඩ කරල අහුවෙලා.. මහත්තයා දඬුවම් දීලා.. ඒ අය සෙල්ලම් කරන්නේ පස්සෙනෙ." එක යාලුවෙක් උත්තර දුන්නේ. සැන්ටිබෝට් මහත්තයා එයාගෙ කණ මිරිකුවා. එයා කෑ ගැහැව්ව පාරට මුළු සාලෙම නිස්සද්ද වෙල බැලුවා..
කෑම මේසේ විවුර්ත කෙරුවේ ටිකක් වයසක, අපෙඅම්මගෙ නෑදෑ කෙනෙක්.
අපි දෙන්නටත් කෑම බෙදලා දුන්නා. ඒ වුනාට මොන කෑමද්ද? ටික වෙලාවක් අත ගගා හිටියා.
පුංචි රැස්වීමක් වාගේ එක්කුත් තිබ්බා. වැඩිය කතා නෑ. ලොකු මහත්තයා ටිකක් දිග කතාවක් කෙරුවා. පිළිගැනීම, ස්තුති කිරීම, උපදෙස්, ගුණගායනා හැම එකම ඒ කතාවේ තිබ්බා. එක දෙයක් මට මතක හිටියා.
"..... අද පටන් අපෙ දුවගෙ යාළුවා, නෑදෑයා, ගුරුවරයා, ගෝලයා, වෛද්‍ය වරයා, මේ වාගේ කී නොකී සෑම අංශයකම කල්‍යාණ මිත්‍රයා තමයි අපෙ අතුල මහත්තයා, සෞක්‍ය පරීක්ෂක තුමා. අන්න ඒ වාගෙම තමයි අනික් පැත්තටත්. එක පැත්තක් ඉහලයි, අනික් පැත්ත පහලයි කියල හිතන්ට බෑ. එක් කෙනෙක් කියන දේ අනික් එක්කෙනා නොසලකා හරින්ට බෑ, කතා බහෙං කොයිදේත් තීරණය කරන්ට ඕනෑ. අන්න එහෙම සතුටින් සුවෙන් සෙනෙහසින්.. රාශියක් දූ පුතුන් ලබා..." අප්පා.. බැඳලත් නැති අපෙ ලොකු මහත්තයා මේ. ඒ අයගෙනුත් එක්කෙනෙක් කෙටි කතාවක් කෙරුවා, ස්තුති කිරීමයි, මං ආදරයෙං ගෞරවයෙන් බාරගෙන රැක බලා ගන්න බවයි....
ඇඬෙංට ආව කීප සැරයක්ම මං හිර කරගෙන හිටියා. ඒත් ගමනට පිටත් වෙංට කලිං අප්පච්චියි අපෙ අම්මයි ලඟ දණ ගහනකොට මට ඉවසා ගංටම බැරුව ගියා. අප්පච්චිගෙ කකුල ඉඹගෙන මං කොයි තරං වෙලා හිටියද මං දන්නෙ නෑ. මට ඉකි ගැහුනා, නවත්තා ගංටම බැරුව.
හැම දෙනාටම වැඳල අපි පිටත් වුනා. තොරණ පැනල මං තව සැරයක් ආපහු හැරිල ගෙදර දිහා බැලුවා. අපෙ ලොකු මහත්තයා හැදුව ලස්සන තොරණේ මෙහෙම අකුරු අමුන්නලා තියෙනවත් දැක්කා.
*** ආයුබෝවන්! ***
"මියෙන තුරු කලු සුදෙන් හඳුනා ඈත් වන්නට පාර කීවා
මල් පියලි මත බඹර තුඩගින් මට දකින්නට අකුරු ලීවා
කිසිත් ආපසු නොඉල්ලා මිනිසුන්ට සලකන අයුරු කීවා
දහස් හදවත් දිනා ගන්නා අයුරු නොකියා හදේ ලීවා.
දුකක් රිදුමක් මා අසලකට නේන ලෙස නිති වරම් දුන්නා
නැතත් කුස ගිනි මා කෙසේදැයි විමසමින් විසි වසක් ගෙව්නා
මගෙ ලොවේ උණුසුමත් සිසිලත් වූ මගේ මව් පියන් දෙන්නා
සියලු දේ ලඟ මා රකින්නට මහා මේරුව විලස උන්නා
ණයක් නොව මට ලබා දුන්නේ කිසි දිනෙක ආපසු ගෙවිය යුතු
දනිමි, ඒ වුව පතමි මොහොතක් එවන්, මේ ජීවිතේදී, මතු
සිහිනයකදී වත් නොඒවා දුක් වේදනාවක් මින් මතුත් මතු
දන්තදා හිමි සඳුනි නිති රැක දෙන්න, ඒ මාගේ සඟල නෙතු."
simple"s"
2018.03.30
No comments:
Post a Comment