Wednesday, November 28, 2018

උඩගෙදර කතා 14 (කමත)


                                 "කමත... "

මගෙ අප්පච්චිගෙ කෘෂිකර්ම (ප්‍රායෝගික) පාඨමාලාවෙන්.                (අංක 14)

                     එක එක එව්වා හිංදා මට ටික දවසක් අප්පච්චිත් එක්ක කුඹුර දිහාට යංටම බැරි වුනා. ඒ වුනාට කුඹුරට ගිහිං එන දවසට අප්පච්චි කියන එව්වෙං දැං ගොයම කොහොමද කියල මටත් තේරුනා.

"දැං ගොයම හීං බංඩි..." අපෙ අම්මට එහෙම දවසක අප්පච්චි කිව්වා.
"ඒ කියන්නේ අප්පච්චි?"
"දැං ගොයං ගහ ඇතුලේ කරළ තියෙන හරිය යංතං ලකුණු වෙල, මහත් වෙල.. එහෙම හොඳටම මහත් වුනාම මහ බංඩි කියනවා."

                   තව දවසක් අප්පච්චි කිව්වා: "ගොයං ටික පූදිනවා. අද මද්දහනේ මුදුන් වලාවට වැහි පොදයක් වැටෙයි කියල බයේ හිටියේ." කියල.
"ඇයි අප්පච්චි එහෙම වුනානං මොකද වෙන්නේ?"
"මයෙ පුතා ගොයම පූදිනවා කියන්නේ ගහෙං එලියට කරල ඇවිත් සුදට සුදේ හීනි මල් පිපෙනවට. ඒ වෙලාවට, දවල් මල ඇරිල තියෙන්නේ. වැහි එංට ලක ලෑස්තියක් තියෙනවා නං එහෙම විජ විජහට පෙති වහ ගන්නවා. හොඳිං බැලුවොත් මෙව්වා ඇහැට පේනවා. ඉතිං මල් පියවෙංට කලිං එක පාරම වැස්සක් කඩා වැටුනොත් එහෙම ඇරිල තියෙන මලේ අර කුඩු හේදිල යනවා. එහෙම වුනාම වී හුඟක් බොල් වෙනවා."
                   අයෙ දවසක් කිව්වා ගොයම කිරි වදිනවා කියල. ඒ කියන්නේ පුංචි පුංචි වී ඇට හැදෙනවටලු. එතකොට ඇත්තටම වී ඇටයක් කටේ දාල හැපුවම කිරි රහයි.
                   තව දවසක කරල් බර වෙල. ටික ටික මෝරණකොට, කරල මැදිං දුන්න වාගේ නැමිල බිම බලාගෙන.
                   එකම එක දවසක් හිනාවක් නැතුව කිව්වා..
"ඊයේ මහ වරුසාවට නාවත ලඟිං වතුර දාල ගොයම අඩියක් හමාරක් පලලට පස් වලට යටවෙල. පස් අස් කරල නං දැම්මා. බලමුකෝ.." කියල.
"මේ සැරේ වැහි දෙයියොත් කරුණා කරපු හිංදා ගොයම පාලුත් නෑ... සරුයි. ගොයං ටික කහ අත්තට පැහීගෙන එනවා. වැහි නාවොත් සතියක් හමාරකිං කපංට පුලුවං. දවස් දෙක තුනකිං කමතත් හදාගංට වෙයි. මං, කමත කෑල්ලේ තිබ්බ වට්ටක්කා වැල් ටික අයිං කරල උදුලුගාල දැම්මා. එව්වේ දලු ටික ගෙනත් ඇති. මෙදා රිලවුංගෙං වැඩි ආලාපාලුවකුත් නෑ වාගේ. උං ටික වෙන කොහෙ හරි යායකට ගිහිංද දන්නෙත් නෑ." එහෙමයි දවසක් කිව්වේ.

               ඔන්න අපෙ කොලදිං පටං ගංටයි ලකලැහැත්තිය!

               කමත් හදනකොට ගොම මැටි ගාන හැටි මට මතක් වුනා. ඉස්සරවෙල මැටි දිය කරල කටු බෝලත්තෙං කමත පුරා ගානවා. මැටි වේලුනාට පස්සේ කමතේ කොනක ඉඳල ගොමත් ඒ වාගේ දිය කරල බෝලත්තෙං කමත පුරා ගානවා. හැබැයි ගෙමැද්දේ නං ගොම මැටි ගාන්නේ අතිංමයි. අවුරුද්දට වාගේ කාලේකට සැරයක් ඇඟේ කුණු අතුල්ලන ගල වාගේ එක්කිං වතුරෙං පොඟවපු ගෙමැද්ද අතුල්ලල පරන ගාපු ගොම මැටි අයිං කරල දිය කරපු අලුත් මැටි ගානවා. එව්වා වේලුනාට පස්සේ එද එදා උදේ එකතු කර ගත්ත ගොම අතිංම දිය කරල බිම ගාන්නේ. ඒක හරි තාලේකට කරන වැඩක්.. බිමදිම තරමකට දිය කරපු ගොම අල්ලෙං එහෙට්ට මෙහෙට්ට ගානවා, කොනකට අත යන හැම වෙලේම ඇඟිලි ඈත් කරල දෙසරයක් අල්ල බිම ගහනවා. ආයෙත් එහෙම. ඇඟිලි පාරවල් නොහිටිංට එක ගානකට එහෙම පස්සේං පස්සට ගාගෙන එනවා. ගොම කැටි තැනිං තැන ඉතුරු වුනොත් වේලෙන්නැතුව දවසක් හමාරක් තියෙනවා. ඒ හිංදා ගානකට ගා ගන්න එක දස්සකමක්. දවසක් දෙකක් ගොම ගඳ තියෙනවා  ඒත් ඊට පස්සේ හරි පිළිවෙලයි. අප්පච්චි නං කියන්නේ ගොම මැටි ගෑව පොලොව පෑගෙන එක ඇඟට, විසේසෙම්ම ඇස් වලට ගුණයි කියල..

                    ගොයං කපන දවසට කලිංම ගොයං කපන, කොල බඳින අයයි රෑ ගොයං පාගංට උදව්වෙන කට්ටියයි මිව්වොයි පහුවදා බැත පොලංට අයයි බැත ගේංට තවලමයි ඔක්කොම අප්පච්චි ලකලෑස්ති කර ගත්තේ. අපෙඅම්මා මුත්තෙට්ටුව ලෑස්ති කරංට ගෙදර නැවතුනේ දවල් ඒකත් ඇන්නම කොල බඳිංට යංට. අපෙ අම්මා එනකල් ගෑණු ඇත්තෝ කීප දෙනෙක් කොල බඳිංට ගියා. අප්පච්චි තව හොයා සපයා ගත්ත දෑකැති, තේඩා, අලු බාජනයක්, හක් ගෙඩියක්, ගෝණි, උකුණු ගස් වාගේ දේවල් ඇන්න ගියේ.

               පස් දෙනෙක් දෑකැති ඇන්න වෙලට බැස්සා. අප්පච්චි කරල් හෑබොයි තව පැල වගේකුයි මැදි කරල තොලබෝ කොලෙං වලල්ලක් හැදුවා. ඒකයි හක් ගෙඩියයි කොහොඹ පෝරුව කියල ලෑලි කෑල්ලකුයි කමත හරි මැද තිබ්බා. ඒ වටේ අහුරට ගත්ත අලු වලිං රවුමක් ඇන්දා. ඊට පස්සේ ඒ රවුමේ ඉඳල කමත මාඉමට යනකල් සමාන දුරිං ඉරි අටක් ඇන්දා. මුලිං ඇංද රවුම වට කර කර තව රවුම් පහක් හයක් ඈතිං ඈතිං අලු වලිං ඇන්දා. මේකට කිව්වේ අලුහං වඩනවා කියල. ඊට පස්සේ අප්පච්චි ගොයං උප්පිඩක් ඉසේ තියාගෙන තොල බෝ වලල්ල වටේ රවුං තුනක් ගිහිං ඒක වලල්ල උඩිං තියල ඒකට වැන්දා. ගොයං උප්පිඩ තොලබෝ වලල්ල උඩ  ඉහිරවල දැම්මා. ඉං පස්සේ ගෑණු ඇත්තෝ, පිරිමි ඇත්තෝ කපන කපන ගොයං උප්පිඩි ගේන එක්කෙනාට බර පදමට පැදුරක් උඩ දැම්ම තේඩාව උඩ ගොඩ ගහනවා. ගොයං මිටිය උඩදී තේඩා දෙපොට එකතැං කරල අමුතුම අදින අහුර ගැටයක් ගහනවා. කෙනෙක් කොල මිටිය තව කෙනෙක්ගෙ ඉස උඩට දෙනවා. ගන්න එක්කෙනා එක කකුලක් ඉස්සරහට තියල ටිකක් නැමිල කොල මිටිය ඉසට ගන්න හැටි හරි ලස්සනයි. දැං ඒ අයම කමත මැදට ගිහිං කොල මිටි අතෑරල අත තිබ්බ පමාවෙං ගැලවෙන තේඩාව අතට ගන්නවා. අප්පච්චි හරි කවුරු හරි මේ ගොයං උකුණු ගහකිං පිළිවෙලට මුදුං කරනවා.

             බඩගින්නක් අහලකවත් නැති වෙලාවේ අපෙඅම්මා ආවේ ලොකු අප්පච්චිලගෙ ලොකු අක්කයි ලොකු අයියයි එක්ක. පතිඟි සායං දාල මෝස්තරේකට වියල තිබ්බ ලොකු කුඩා ගල්ලැහැ පෙට්ටි තුනකයි කුරුණියකයි බත් මාලු ගෙනාවේ. කොල බැඳ බැඳ හිටිය අය අපෙ අම්මා ආවම හරියට සතුටු වුනා. හිනා වෙවී හෑලි කියවංටනේ ඔය..

              අප්පච්චිත් ගොයං කපංට එකතු වුනා. මාත් පස්සෙං වැටුනා. අප්පච්චියි අනික් අයයි ගොයං කපන හැටි බලාන හිටියම මටත් ආසා හිතුනා. ඒත් අප්පච්චි කැමති වුනේම නෑ.

"එනාවුරුද්දේ දෙන්නං.. මයෙ පුතා ගොයං කපන කොට ගොයං අහුර අල්ලල දෑකැත්තෙං කපන්නෙ නෑ. ගොයං අහුරක් දෑකැත්තේ වක්කට එක් කරල අතිං අල්ලන්නේ. ඊට පස්සේ දෑකැත්ත පැත්තට ගොයං අත බර කරනවා. එහෙම නොකෙරුවොත් අත කැපෙනවා. මං ඉස්සර වෙලම ගොයං කැපුව දවසේ ඔය පාඩම ඉගෙනගෙනත් බොහොම හෙමිං හෙමිං කප කප යනකොට කොයි වෙලාවේ හරි පාඩම අමතක වුනා. මේං ඒකේ විපාකේ තවම තියෙනවා." අප්පච්චි වමත් කාරයෙක්. දකුණු අතේ හුළැඟිල්ල පෙන්නුවා., නිය පොත්තත් එක්ක අග පුරුක කැපුන හම්පල්ල තවම තියෙනවා...!

"කීකිරිඳියි, හීංතඹලයි කොල වලින් කැපිච්ච පෙත්ත හා වුනේ. මේ දෑකැති ඔක්කොම ඊයේ පෙරේදා රැලි කොටල තියෙන්නෙත්. මුහාත වැඩී. ගෑවුන ගමං කැපෙනවා."

                               ("කොලදිම" බලන්න.)

              
                                          simple "s"
2018.06.05
                    

No comments:

Post a Comment