උඩගෙදර කතා .... අංක 24
"දැන හෝ නොදැන."
එදා උදේ අපි හෙදරිං පිටත් වුනේ හීනි පොදේ. ඊයෙත් මෙහෙම. උදේ වරුවම.
"අප්පච්චි... අදත් වැහි එයිද?"
මං කිව්වේ නුරුස්සන ගතියෙං. ඒක අප්පච්චිටත් නොතේරුනා නෙවෙයි.
"ඕක ඉක්මනිං තුරල් වෙල යයි. ඔය ලේංසුව ඔලුවේ ගැට ගහ ගංට මයෙ පුතා."
"මේ වැස්ස මහ කරුමෙයක්...!"
අප්පච්චි කිසි දෙයක් කිව්වෙ නෑ. ඒත්, පුරුදු ව්දිහටම යංතං හිනා වෙවී බිම බලාගෙන මට ඉස්සරහිං යනවා. එයා මොනවා හිතනවා ඇද්ද..
"යංතං අතපය මහත් වෙන කොටම අව්ව වැස්සත් ඉවසිල්ලක් නෑ වාගේ.." කියල? නෑ.. නෑ.. හිතනවා ඇත්තේ, "මයෙ පුතා අදවත් බොංචි ගස් ටිකට පස් කිට්ටු කරල ඉවර කර ගංට බැරිවෙයි කියල බයේ.." කියලයි. ඇත්තටම මං එහෙම මොකක් ගැනවත් හිතුවද?
කොහොම වුනත් බොංචි ගස් ටික ගැන මටත් දුකයි. දැං කිරි මුලුත් ඇවිත්. විජහට පස් දාංට බැරිවුනොත් ගස් බාල වෙයි. මිරිස් ගස් වලටත් එහෙමයි. දැං හැදුං රෝග ඇරිල අලුතෙං එන දලුයි කොලයි හොඳට පණගහල. සතියකිං හමාරකිං රිකිලි දාල ඊගාවට මල් පේංට ගනියි. ඒ ටිකත් ඉක්මනිං ඉවරයක් කරගංට ඕනෑ.
අන්දිරිස් අය්යලෑ කුඹුරයි ඇලයි වෙං වෙන මහ නියර උඩිං යංට තියෙන්නේ. මිනිසුයි බල්ලොයි ගිහිංම ඒක තනිකරම මඩ. වරිච්චි ගහංට පාගල වාගේ. එක තැනක හීං නියරක් කැඩිල වතුර යනවා. කක්කොට්ටෝ හාරල. අපිට යංට හදිස්සිය තියෙද්දී අප්පච්චි නියරට බැහැල කක්කොටු බෙනේ වහනවා.
"තව ඩිංගක් වෙලා මෙහෙම ගියොත් නියරේ හොඳටම කැඩෙනවා. අනික අද හවහත් වැස්සොත්? උඩයි යටයි ලියදි දෙකේම ඒක වටේ ගොයං ගස් ටික ගැලවෙනවා." ගොඩට එන ගමං අප්පච්චී කියනවා.
"ඕං ලෙස්සනවා අප්පච්චී... බලාගෙන." ඇලේ වේල්ලේ ගල් පොත්තට ගොඩවෙල අඩියක් දෙකක් ගිහිං මං කිව්වා. කකුලේ මඩ පිටිං ගල්පොත්තේ යංට අමාරුයි. ලෙස්සනවා. මං මේ කියන හැම එකෙම්ම වැස්සේ වැරැද්ද ගැන නේද කියන්නේ කියල මටම පස්සේ තේරුනා. මෙච්චර කල් මට ......ඔන්න බලාගෙන, කකුල වදියි, තුවාල වෙයි, පරිස්සමින්... වගේ ඒ ඒ වෙලාවේ කිව්ව මයෙ අප්පච්චිට, පරිස්සම ගැන මං කිව්ව පළවෙනි වතාව වෙන්ටැති මේ. ඒත් මයෙ අප්පච්චි මයෙ පරිස්සම ගැන හිතන එක "කවදාවත්" අත් ඇරල නෑ....
අප්පච්චි වත්තේ එක පලේට පොඩි පැලක් හදල. පස්සේ හොඳට එකක් හදනකල්. ඇන්න යන දෙයක් නොතෙමී තියා ගංට, කැම ටික කංට එහෙම.
හැබැයි හදිස්සියේ කහට ටිකක් උණු කර ගංට එහෙමත් පුලුවං.
"මයෙ පුතාට හීතල නං කහට ඩිංගක් රත් කරල දීලම ඉංටද?"
"දැම්ම එපා අප්පච්චි.. පස්සේ පුලුවං."
අපි පස් දාංට පටං ගන්නකොට වැහි පායල. ඒත් පොලොවේ තෙත හරියට.
"පස් වලට යට වෙන වල් නං අයෙ පැලවෙයි නේද අප්පච්චි...?"
"ඔව්.. ඔහෙ එකක් දෙකක් එහෙමත් පැලවෙයි. ඒත් මයෙ පුතා දැං බොංච් ගස් ලොකු වෙල හිංදා එව්වා එක්ක තරකෙට වල් පැලෑටි වලට මතු වෙංට බෑ. ඔය ඉඳහිට එකක් දෙකක් විනා."
තලෙං තලේට උදැල්ලේ මඩ ඇලෙනවා. එතකොට උදුලු ගාංට, පස් ලං කරංට බෑ. ඇත්තටම මේ වැස්ස නං ... මං හැම වෙලේම උදැල්ල බිම ගහනවා දැකල අප්පච්චි පැතලි ගලක් ගෙනත් දුන්නා උදැල්ල ගහංට.
"ඕක විටිං විට ලං කර ගංට."
"මං දැක්කා පාරෙං පල්ලෙහා කෑල්ලේ උල් හොල්ලල අප්පච්චි."
"ඔව්වා මේ තද වැහි දවස් ටිකට විතරයි. උඩ කන්දේ උරා ගන්න වතුර. ඊට පස්සේ ඔය ඇල කඳුරේවත් උල්පොතක් නෑනේ. සංගරහංදිත් අදද හෙටද. ඊට පස්සේ පායයි මයෙ හිතේ."
"ඒ වුනාට මේ දවස් දෙකේ වහිනකොට වෙන්ට ඕනෑ හරිය වෙල තියෙයි. මහ කාණුවේ කාණු කටවලුත් කැඩිල, ගල් පෑදිල. හිවල් කට වාගේ. ලොකු වතුරක් ඇවිත් තියෙන පාටයි ඊයෙ රෑ."
කහට වතුර ටිකක් අප්පච්චි රත් කරන වෙලාව එනකොට අපි සෑහෙන පංගුවක් වැඩේ ඉවර කරගෙන. දැන් නං මාතිං එලවලු පැල කෙටෙන්නෙ නෑ.
අපි හදපු පැල ජාති වලට තව පොලව වැහිල නෑ. ඒත් ගස් කොලං හෝදල දාල වාගේ. ලස්සන වෙල. අලුත් පණක් ඇවිත්. පෙලක් ගස් වල දලුත් දාල. කැලේ කෙටුව දවස් වල එව්වා පඬරැල් වෙල තිබ්බ හැටියට මේ මදැයි.
අපෙ අම්මා බත් ඇන්න එනකොට අපි තව හරියක් පස් දාල. මං ඩිංගක් එහා මෙහා වෙනකල් ඉඳල අප්පච්චියි අපෙඅම්මයි හටු හුටු ගගා මොනොවාදෝ කතා කෙරුවා. හිනාත් වුනා..
".... දළදා හාමුදුරුවන්නේ පිහිටයි...." කියල අපෙ අම්මා මා දිහා බල බල කියනවා විතරයි මට ඇහුනේ.."
"මයෙ පුතාට දැන්නං බඩගිනිත් ඇති... උදේට අර ඇගිටි හාල් බත් ටිකක් කෑව ගමංනෙ. දැං බත් ඩිංග කාල හිටියොත් මොකද....?"
"අප්පච්චීනේ වැඩියෙං වැඩ කෙරුවේ. අහංට අප්පච්චිට බඩගිනිද දන්නෑ. මට නං තව වැඩ කෙරුවැහැකි."
අපි තව ටිකක් වෙලා වැඩ කෙරුවා. අපෙ අම්මා එතකල් අබ ගස් ටිකකුයි තෝර ගස් ටිකකුයි කැඩුවා. මැල්ලුං හදංට. මං ඒ දෙකටම ආසයිනෙ.
"අපෙඅම්මා... ඇගිටි හාල් බතුත් නරක නෑනෙ.."
"අනේ මයෙ පුතා.. පිදුරු වාගේ. ඔය අද තිබ්බා වාගේ අබ කොල වාගේ මැල්ලුමක්, තක්කාලි කොඳ ටිකක් වාගේ කටට දැනෙන එකක් එක්ක නං හොඳයි."
"මට නං රහයි අපෙඅම්මා."
"මයෙ පුතා දන්නවද ඔය ඇගිටි හාල් කොහෙන්ද කියල.? ඔය ගිය අවුරුද්දේ වරකාකෑල්ලේ පල්ලෙහා කෑල්ලේ වැපුරුව ගොඩවී වලින් බුසලක් දෙකක් විතර පොලා ගත්ත වී." අපෙ අම්මා කිව්වා.
"මයෙ පුතාට මතක නැද්ද... ආකහ දෙයියෝ කරුණා කෙරුවේ නැතුව , වතුර ටිකක්, වැස්සක් නැතුව ගොඩවී ටික මැරෙංට යනකොට මයෙ පුතත් වතුර ගෙනත් වැක්කෙරුවේ. එහෙම කරලවත් බේරා ගංට බැරි වුනානේ. ඔක්කොම වේලිල බොල් වුනා. ඔන්න මයෙ පුතා වැස්සේ වටිනාකම." අප්පච්චි කිව්වා.
"ඒ වුනාට මේ වාගේ අප්පිරියා හිතෙංට වහිනවට වැඩිය නං හොඳයි අප්පා පායන එක. ආකහේ දිහා බලංටවත් අප්පිරියයි." මට කියවුනා.
"මයෙ පුතා.... අහස - පොලව - ඉර - හඳ - අව්ව - වැස්ස - හුලඟ --- මෙව්වට තමයි සොබා දර්මේ කියල මං හැමදාම කියන්නේ. අපි එව්වට බනිංට පලි ගහංට හොඳ නෑ. ඔය හැම දේම අපිට ඕනෑ."
"මයෙ පුතා අහල තියෙනවද අව්ව සැරයි කියල ඉරට බැන බැන වැඩ කරපු මනුස්සයෙක්ගෙ ඔලුව හතරට පැලිල මැරුණා කියන කතාව..." අපෙ අම්මා කිව්වා.
උදේම පොද ගැහිල දවල් ගිනි අව්වේ හිටිය හිංදා වෙංටැති මයෙත් ඔලුව කැක්කුමයි හොඳටම. ඔලුව පුපුරංට වාගේ....!
simple "s"
2018..09.12
No comments:
Post a Comment