Friday, November 23, 2018

උඩගෙදර කතා 38 (හඳී හා යාඩ්ලි)

"හඳී හා යාර්ඩ්ලී......

"Good Morning uncle"
"Good Morning රුවන් පුතා.. අම්මේ අද සුවඳ...."
"ආආආ.. මේ යූකේ ඉන්න අයියා ආවා. එයා මට සෙන්ට් එකක් ගෙනත් තිබුනා.. යාඩ්ලි..! අදමයි පාවච්චි කරන්න ගත්තේ.. සුවඳ බල බල තියාගෙන හිටියා."
"සුවඳ දැනෙනකොටම මතක් වුනා පුතා... ඒ කාලේ තිබුන හොඳ... "
" අංකල්ට මං අදත් කතන්තරයක් කියන්නං..? "
" ංහා.. පුතේ.. හුඟ වෙලාවක් ගන්නෙ නැත්තං.."
          මේ පසුගියදා, මා හිතවත් දරුවෙක් හා මා අතර ඇතිවූ කතා බහකි. ඉඳහිට මෙසේ සිය අත්දැකීමක් මා හා බෙදාහදා ගැනීම ඔහුගේ පුරුද්දකි.
"සතියකට විතර කලිං අපි පස් හය දෙනෙක් මහියන්ගනේ ගියා.. "
"ඉතිං.. ?"
"බහිනකොට දවල් වෙලා.. ඒත් කෑමට කලිං නාන්ට තීරණය වුනා.."
"මාවැලි ගඟේ වතුරත් අඩු ඇතිනේ.."
"අපි විහාරගේ පහු කරලා පොඩ්ඩක් ඉස්සරහට ගියා.. එතන කැලේ දේවල් විකුණන වැදි කාණ්ඩයක්.."
"මීපැණි, අලින්ගෙ වලිගේ කෙස්, මොණර පිහාටු..?"
"තව ඇත් දළ පෙන්ඩන්ට් එහෙමත්.. ඔන්න අංකල් එක තැනක වැදි ගෑණු ළමයෙක් බඩු විකුණන්නේ.. තනියම.. අවුරුදු විස්සක් විතර ඇති.. අපි එතෙන්ට ගියා. "
"ළමයා ..?"
"ලස්සණයි.. ලස්සණයි..! මෙහෙමයි.. සෑහෙන්ට කළුයි.. බෝරිච්ච් අත්දාපු ලා රතු හැට්ටේකුයි ලොකු රතු මල් චීත්තෙකුයි ඇඳලා..විශේෂයකට මං දැක්කේ කර්ලි කොන්ඩේ.. පුංචි කෙස්.. කන් වටේ නළලේ එහෙම, අගිං කැරකිලා.. ඇත්තටම ලස්සණයි මටනං"
"ඩිව් ළමයා..?"
"එයත් කිව්වා හරිම කිව්ට් කියලා.."
"ඇත් දළ පෙන්ඩන්ට් වලට මට ආසා හිතුනා..
'කීයද මේවා..' මං ඇහුවා.. උත්තර නොදී ඒ ළමයා වටපිට බැළුවා. ටක් ගාලා අවුරුදු පනහක විතර පිරිමි කෙනෙක් ආවා.."
"තාත්තා වෙන්ට ඇති.."
"නෑ..නෑ.. වෙන සාමාන්‍ය කෙනෙක්.. "
'ඇයි මහත්තයලා..?' එයා මගෙං ඇහුවා.
'මේවා කීයද දන්නෑ..' මං ඇහුවා.
'මෙව්වට නිල්කොල.. ' එයා ගෑණු ළමයගෙං                             බාගෙට අහනකොට 'සීය පොජ්ජ දෙකමයි..' කියලා ළමයා අපිටම කීවා. මං අර මෑන්ගෙ මූණ බලනකොට.. 'රුපියල් දෙසීයයයි කියනවා..' කියලා කීවා"
"ඕවා බොරු ඇද්දළ.."
"මංදා.. අංකල්..නියම ඇද්දළ, පාට නං"
"ඉතිං ගත්තද.. ?"
"ඔව්.. මටයි ඩිව්ටයි දෙකක් ගත්තා.. අපේ ගර්ල්ස්ලා ටික අඟහරු ලෝකෙට ගිහින් වගේ බලං ඉන්නවා..
ආමන්ත් විජයබා දෙන්නත් දෙක දෙක ගත්තා"
"කෙල්ලට නරක නෑ බිස්නස් එක.. ඉතිං ඉතිං.. මොකද වුනේ..?"
"අංකල් මට ආශා හිතුනා .. කෙල්ල ලඟිං ඉඳගෙන ෆොටෝ එකක් ගන්න..
       'මෙයා එක්ක මට ෆොටෝ එකක් ගන්ට බැරි
        වෙයිද?' මං අපේ ඉන්ටප්‍රිටර්ගෙං ඇහුවා..
       'මේ හූරට තොපං එක්ක පොටෝ පොජ්ජක්
        මන්දො කරන්ට හිත්ලාල.. පොටෝ එව්වා
        අල්ලන  යමකේකුත් තියෙනවා..  රිදී පෝරු තඹ
        පෝරුත් ඇන උකාලයි..' එයා ළමයට කියලා ..,
        'හැබැයි. මහත්තයා සල්ලි දෙන්ට වෙයි'  කියලා මටත් තේරුම
        කීවා.
       'මේ ඇතත්තන්නේ කැකුළා අර කඩ පොජ්ජට මංගැච්චුවා. ආවම කතා දමංට' කිය කිය කෙල්ල ඉස්සි ඉස්සි කඩේ දිහා බැලුවා.
'Are you nuts, Ruwa..?" ඒ අතරේ හිරු මගෙං අහනවා. එයාට හොඳටම තරහ ගිහිං..
'Why Hiru..?'
'To sit by such a dirty creature !.'
අපේ යාළුවා පුංචි හිනාවක් දාලා හිරු දිහා බැලුවා.
මං අවධානය වෙනස් කරන්න වෙන එකක් ඇහුවා...
        ' මෙයාගෙ නම මොකද්ද දන්නෑ' කියලා..
        'තොපංගෙ නං පොජ්ජ කතා දමාපිය... '
        'හඳී..'
"ලස්සණ නම් පොඩ්ඩ නේද අංකල්.. "
'මෙයා සින්දුවක් කියන්න කැමති වෙයිද' කියලා මං ඇහුවා.
'කැමතිනං වෙයි.. හැබැයි ඒකටත් ඉතිං සල්ලි තමයි.'
'කමක් නෑ' කියලා මං කිව්වා.
ඉතිං ටිකක් කෝල වෙවී සිංදුවක පොඩි කෑල්ලක් කෙල්ල හරිම ලස්සනට කීවා..
         'ඈ බොල පැට්ටි අඬන්නේ මොක්කටදෝ බොල
          පැට්ටි අඬන්නේ මොක්කටදෝ...
          කටු අල බොක්කිට ආඬන්නේ.. කටු අල
          බොක්කිට ආඬන්නේ..'
          කටු අල ඔක්කොම පැට්ටිට දීපව්..
          ඈ බොල පැට්ටි අඬන්නේ මොක්කටදෝ බොල..   
          පැට්ටි අඬන්නේ මොක්කටදෝ..
          හිරිතල බොක්කිට ආඬන්නේ...
          හිරිතල බොක්කිට ආඬන්නේ
          හිරිතල ඔක්කොම පැටිටිට දීපව්
          ඈ බොල පැට්ටි අඬන්නේ මොක්කටදෝ බොල
          පැක්කි අඬ්න්නේ මොක්කටදෝ...'
'මේ ළමයගෙ තාත්තා එහෙම කොහෙද'     කියලත් මං ඇහුවා.. 
  'තොපන්නේ අප්පිලැත්තෝ...?'
  'මේ ඇත්තන්නේ අප්පිලැත්තෝ කොදුයි... උන්දෑ කදර්ණිගෙ දිය තන පොජ්ජ පටෑරන්ට කැලෑ පොජ්ජට මංගැච්චුවා.. දවස් තුනමක් රුකුල් පොජ්ජට මංගැච්චුවෙ නෑ.. ගම් පොජ්ජේ ඇත්තෝ එක්ක මේ ඇත්තොයි අම්මිලැත්තොයි කැලෑ පොජ්ජට මංගැච්චුවා. අප්පිලැත්තෝ රුකං පොජ්ජකිං වැටිල ම්යඹට දමල තිබව්වා... රුකුල් පොජ්ජට ඇන්න මංගච්චන්ට බැරුවා. කැලෑ පොජ්ජෙම වලක් පටෑරල ලාබැච්චුවා..' බොහොම දුකෙං එයා කිව්වා.
'මොකක්ද ඒ කිව්වේ..?' විජයබා ඇහුවා..
'මයෙ තාත්තා නෑ. මීපැණි කඩන්ට කැලේට ගියා. දවස් තුනක් ගෙදර ආවෙ නෑ. ගමේ අයයි මායි අම්මයිි එයා හොයන්ට කැලේට ගියා..තාත්තා ගහකිං වැටිලා මැරිලා තිබුනා. ගෙදර ගේන්ට බෑ මිණිය. කැලේම වලක් කපල වල දැම්මා..'
"පව්.. මේ අය බලන්න පිට රට අයත් එනවානේද..?' මං ඇහුවා..
"තොපංලා මන්දෝ වෙන්ට හෝගාන දියරාච්චගෙං එපිට සුදු හූරලා නෑණිලත් මංගච්චනවද කියල කතා දමනවා'
'ඔව් ඔව්.. සුමාන තුනමකට කලිමුත් මංගැච්චුවා.. මට නිල් කොල පොජ්ජ ගොඩක් තෑගි පොජ්ජ ගොඩක් දුන්නා.. මාම කැච්චක් හොඳ ඇත්තෝ..'
"ඔයෙ අස්සේ අංකල්, හැඩිදැඩි කළු තරුණ කෙනෙක් එතෙන්ට ආවා.. පුංචි පොරවක් කරේ.. ශර්ට් එකක්වත් ඇඳලා නෑ.. හරිම සැර පෙනුමයි..අපේ අය බයෙං බලං ඉන්නවා... ඩිව් නං හිටියේ තරහිනුත්.. මං කරන ඒවට.."
' I'm very scared of him.. I don't like him...' නීෂා කියනවා මට ඇහුනා..
' No does his face bear a simple smile in the least.'
ඩිව්ත් එක් වුනා..
ඒ වෙලාවේ අපි හැමෝටම පිස්සු හැදෙන වැඩක් වුනානෙ අංකල්..
'Are you all scared of him? No, dont worry..They are so innocent people.. And..you know ..our vedda people smile only a little, if at all.' කියලා අපේ යාළුවා, ඉන්ටප්‍රිටර් එක පාරම කියපි..   
"හරි ශෝක් කතන්තරේනෙ"  කියමින් මම මගේ ගමන යන්නට හැරුනෙමි..
"නෑ.. නෑ.. අංකල් කතන්තරේ ඉවර නෑ.."
            මටත් ඇත්තටටම තව අහන්න ආශයි! මං ආයෙත් වාඩි වුනා..
"ඒ ගෑණු ළමයගෙ 'කැකුළා' තමයි අංකල් අර ආව තරුණයා.... "
'..... මාම කැච්චක් හොඳමැයි..'අපෙ අළුත් යාළුවා එයාගෙං අවසර ගත්තේ ඒ. ෆොටෝ ගන්න...' 'බොහොම හොඳයි..' කියලලු ඒ කීවේ"
"සල්ලිනෙ..!"
" ආමන්ත කැමරාව ලෑස්ති කර ගත්තා.. මම හඳී ළඟට ගියා.. අපේ කට්ටිය හොඳටම බය වෙලා බලං ඉන්නවා ...
.. මගෙ අම්මේ අංකල් ළමයා ළඟ සුවඳ්..අ අ අ... මට මොකක්දෝ මතකයක් වැඩ කරනවා.. අර මට අයියා ගෙනත් දුන්න සෙන්ට් එකේ සුවඳනෙ ඒ... ඒ... මේ මං අද දාලා ඉන්නේ.. ඒකටත් වැඩිය ඇත්තෙන්ම ප්‍රසන්නයි ඒ සුවඳ. අංකල්..

                               යාඩ්ලි!"
                                                      simple "s"

1, 3, 4 සේයා රූ හා සමහර  කොටස් සහාය ආචාර්ය ඊ.ඇම්.රත්නපාල මැතිඳුන්ගේ පොතකින්.

No comments:

Post a Comment