Saturday, November 17, 2018

උඩගෙදර කතා 08 (දොහොයි)


                                "දොහොයි.. "

මගේ අප්පච්චිගෙ කෘෂිකර්ම (ප්‍රායෝගික) පාඨමාලාවෙන් ...                            (අංක 08)

               ආපහු ඉස්කෝලේ පටං ගත්තා. ඉතිං මම අද වත්තට ගියේ කීප දවසකිං..

               අපි හිටුවපු සමහර ගස් වැල්වල දැං ගෙඩි.. ගෙඩි හැදෙංට පිපුන මල් හරි ලස්සණයි. වට්ටක්කා, කැකිරි, තියඹරා, කරවිල වැල් වල මල් කහ පාටයි.. වැටකුළු, නියං පතෝල, මිරිස් වල මල් සුදුයි.. මෑ, දඹල ලා නිල් පාට.. බන්ඩක්කා කහපාට මල ඇතුලේ තද දං පාට.. මට ආසම හිතුනේ වැටකුළු වලයි නියං පතෝල වලයි සුදු මල් වලට. මේ වටේ පිටේ කොච්චර පාට පාට මල් තියෙනවද.. කොච්චර සමනළයෝ මී මැස්සෝ කුරුල්ලෝ එනවද ...ගස් වැල් වල කොල - කොල පාටයි කිව්වට කොල පාටම කීයක්ද.. සොබා දර්මේ.. සොබා දර්මේ..මට තේරෙන්නැති සොබා දර්මේ.

                කඩුල්ල පැන්න තැනම කොල පාට දෙකකිං ළඟිං ළඟ හැදිච්ච මෑ ජාති දෙකක්.. තවන් දාල වාගෙ.ඒව ගස් වෙලා. ඒ ගස් උඩිං යායට කහ පාට මල්..  කොට පුංචි කරලුත් .. අප්පච්චි දවසක් කියලා දුන්න එකක් බොරු වද්ද.. ගස් වලට හැදෙංට සරුවෙංට ඉඩ..? මයෙ අප්පච්චි කවදාවත් බොරු කියන කෙනෙක් නං නෙවෙයි..

"අප්පච්චි අර කඩුල්ල ලඟ තියෙන මෑ තවාං... වැල් නෙවෙයි ගස්නෙ.. ඒවා හැදෙංට ඉඩ මදි හිංදා වෙංටැති කරලුත් කොටයි."
"එව්වා මෑ නෙවෙයි මයෙ පුතා.. ඒ තවං කරලත් නෙවෙයි. එව්වා හදන්නෙ එහෙමයි.. වපුරලා.. කරල් ඔය තරම තමයි දිග මහත.."
"එව්වා මොනවද එහෙනං.."
"අර එහා පැලැස්ස මුං.. මෙහායිං උඳු.. මුං කොලවල කොල පාට වැඩී.. උඳු කොලේ බූවත් වැඩී.. " ටිකෙං ටික පැලැස්ස කිව්ව ඒව්වා දිහාට යන ගමං අප්පච්චි කිව්වේ..
"අප්පච්චි.. බූව කිව්වේ..?"
"ඔය කොල ජාති දෙක අත ගාලා බලංටකො.. "
"උඳු කොල ගොරෝසුයි තමයි.. හරියට අප්පච්චි දවස් දෙකක් රව්ළ බාන්නෙ නැතුව ඉඳල මයෙ මූණට උම්මා දෙනකොට දැනෙනවා වාගේ.. මං මුං ඇට නං දන්නවා.. කොල පාටයි.."
"ඔව්.. අම්මා තම්බලා ..ආයෙ උයලා එහෙම දෙන්නේ."
"අම්මා මුං කැව්ං හදංටත් ගත්තා.. බැදලා.. පිටි අඹරල..  බැදපු ඇට නිකං කංටත් දුන්නා.. රහයි.."
"උඳු ඇට නං මුං වගේ නෙවෙයි කළු පාටයි.. තව එළ උඳු කියල සුදු පාට සෝරතේකුත් තියෙනවා. රහේ වෙනසක් නෑ."

               අප්පච්ච් දැං කතා කරන්නේ පුංචි පුංචි වැඩත් කරන ගමං..
"අප්පච්චි උඳුත් මාලු කනවද?"
"නෑ මයෙ පුතා.. උඳු ටිකක් සෙවල ගතියයි. වෙන වෙන කෑම ජාති හදංට තමයි එව්වා ගන්නේ.."
"ඒ මොනවද..?"
"උඳු වලළු, එව්වට උඳුවැල් කියලත් කියනවා.. ආයෙ තෝසේ.."

"ලොකු අක්කලෑ දිහා ගිය දවසක එහෙ අයියා තෙල්දෙණියේ කඩේකිං තෝසේ ඇන්න දුන්නා.. ඔන්න අප්පච්චි .. නළලේ රතු තිතක් තියා ගත්ත  සුදු වේට්ටියක් ඇඳ ගත්ත මිනිහෙක් ආවා.. කෙහෙල් කොල දෙකක් අයියයි මායි ඉස්සරහ මේසෙට ඇතුරුවා.. පිඟං දුන්නේ නෑ. ලොකු රොටී වාගේ ජාති‍යක් ගෙනත් අර කෙහෙල් කොල වල ඇතුරුවා.. එව්වා රෙදි පාංකඩ වාගේ. අපෙ රොටී වාගේ හයිය නෑ..රිදී පාට බාල්දියක් වාගේ එකක් ගෙනත් ඒකේ තිබ්බ මාලුවක් හොදි ගොඩක් එක්ක බෙදුවා.. ඒ හොද්දේ බටු වට්ටක්කා මෑ කරල් තක්කලි වාගේ දේ විතරක් නෙවෙයි, පුංචියට කපපු පොලොසුත් තිබ්බා. ඊලඟට ලොකු මලක් වාගේ එකක එල්ලල තිබ්බ පුංචි පුංචි ටිං වල ගෙනාව ජාති ටික ටික දැම්මා.. අමු මිරිස් පාටට දියට හැදුව පොල් සම්බෝලේකුයි ඒවාගෙම දියට හැදුව සුදුම සුදු පොල් සම්බෝලේකුයි විතරයි මට මතක.. අයියා දිහා බලාගෙන ඉඳල මාත් තෝසේ කෑල්ලක් කඩාගෙන අර හොදි ටිකක් එක්ක කටට දා ගත්තා.. අම්මෝ.. කනවා තියා හිතංටවත් බෑ ඇඹුල්ම ඇඹුල්.. "

"මං කෑවෙ නෑ! මට වඩේ ජාති දෙකක් ගෙනත් දුන්නා.."
"අන්න හරි.. ඒ ලොකු වඩේ වලට කියන්නේ උඳු වඩේ කියල.. උළුඳු වඩේ කියලත් කියනවා. අර සුදු සම්බෝලේ එක්ක එව්වා රහයි නේද? අන්න එව්වා හදංටත් උඳු ගන්නවා.. "

"අප්පච්චි වෙන..?"
"තව කෑමක් හදනවා.. දොහොයි කියල.."
"එව්වා කොහොමද හදන්නේ?"

"තෝසෙයි දොහොයියි පටලවා ගංට එපා.

වේලිච්ච උඳු ඇට වරුවක් විතර පෙඟෙංට දානවා. ඉස්සර වෙල කොරහට දාල අතිං අතුල්ලල පුලුවං තරං පොතු අයිං කර ගන්නවා. ඊට පස්සේ කොරහෙම තියල උඳු මතෙන් ගාගන්නවා.. පුලුවං තරං කප්පි අඩුවෙංට. වේලිච්ච ඉරිඟු ඇටත් පොඟවල ඇන්න වනේ කොටල පිටි කර ගන්නවා.. ඒ ජාති දෙකම හරි හරියට ඇන්න මිස්ර කර ගන්නවා.. වඩංට පුළුවං ගානට රොටී වලට වාගේ. ඒ මිස්රනේ වතුරෙං අනා ගන්නේ. ඒක රැයක් පිපෙංට තියනවා..
"මල් පිපෙනවා වාගෙද.. අප්පච්චී.?"
"නෑ.. නෑ.. බාජනේ ඇතුලෙම, තියෙන තරම වැඩි වෙනවට පිපෙනවා  කියන්නේ. උදු පිටි මිස්ර කෙරුවම අනික් පිටි ජාති වුනත් පිපෙනවා.."
"ඉතිං.. "

"රොටී හදන කබල තියෙනවනෙ.. ඊට වැඩිය ගනකම් පැතලි කබලක් තියෙනවා.. දොහොයි ගල කියලයි කියන්නේ.. "
"ගෙදරත් අර තියෙන්නේ අප්පච්චි.."
"අන්න හරි.. ඒක නං හැබැයි ගැහිල තියෙන්නේ. ඒ වුනාට පාවිච්චි කරංට බැරි කමක් නෑ ඉතිං පහුවදා උදේ අර මිස්රනේට ඇති තරමට ලුණුුත් දාලා හොඳින් අනා ගන්නවා. හීනියට ලියා ගත්ත මෑ කරල්, බටු, අමුමිරිස් ඩිංගක්, තක්කාලි, කරපිංචා, රතුලූනු වගේ එව්වා ලුනු ටිකක් විතරක් දාල අර මිස්රනේට කලවං කෙරුවම රස තව වැඩී. අර දොහොයි ගල ලිපේ තියල හොඳට රත් කරනවා.. දැං මේ මිස්රනේ ටිකක් ගනකමට ඒ ගලේ වඩල අඩු ගින්දර රස්නෙං පිස්සෙංට අරිනවා.. මේ ගල ගනකමට හදල තියෙන්නේ දොහොයි ගෙඩියේ දෙපැත්ත කර නොවෙංට මැද්දත් එක්ක එක ගානට ගලේ රස්නෙං තැම්බෙංට..  ඉතිං එහෙම හදල කෑමට ගන්නවා."

"මොනවා එක්කද දොහොයි කන්නේ?"
"මයෙ පුතා කාලත් තියෙනවා. මතක නෑ. පුතාට නං වේලක් පිරිමැහෙංට දුන්නෙ නෑ මයෙ හිතේ. සුදු සම්බෝලේ එක්ක හරි, එලවලු ජාති කීපයක් එක් කරල මාලුවක් හදල ඇන්න හරි කංට පුලුවං."
"අප්පච්චි උඳු ඇඟටත් ගුනයිද?"
"ඇයි නැත්තේ මයෙ පුතා... උඳු ඇඟ මහත් කරනවා.. හයි හත්තිය වැඩි කරනවා.. ඇදුමට පීනසට හොඳයි කියනවා.. බඩේ අමාරු වලට හොඳයි.. තව අර්ශෂ් කියන අසනීපෙට හොඳයි .. මයෙ පුතාට තවම එව්වා තේරෙන්නැති වෙයි.. 
          
                ගෙදර ගිය ගමං මං අපෙඅම්මට කිව්වා මට රෑට දොහොයි හදල ඕනෑ කියල.
"මයෙ පුතා දොහොයි එහෙම හිතූ හැටියේ හදංට බෑ දෙයියෝ.. ඉරිඟු ඇට පෙඟෙංට තියල වනේ කොටල පෙනේරෙං හලල ගංට ඕනෑ.. වැඩ ගොඩයි.. කම්මැළි කමට හදාගෙන කංට පුළුවං දෙයක් නෙවෙයි මයෙ පුතා දොහොයි කියන්නේ.. අනිද්දා උදේට නොවැරදීම මං හදල දෙන්නංකො.. දොහොයි.."
                                                

                                       
                                                        simple "s"
2017.11.30
             

No comments:

Post a Comment