Saturday, November 17, 2018

උඩගෙදර කතා 28 (ගොලවේල්ලු)


උඩගෙදර කතා   28.
                  

"ගොලවේල්ලු..."

"අප්පච්චි අපි කොල හරි පලා හරි කිව්වට සමහර අය කියන්නේ කීර කියල."
"මටත් ඇහිල තියෙනවා මයෙ පුතා... කොහොම කිව්වත් ඇති වැරැද්දකුත් නෑනෙ, අපි කියන එක තමයි හරි කියල බොරු ලොකුකමක් හදා ගන්නෙ නැත්තං."
"එහෙමත් හිතනවද අප්පච්චි?"
"ඇයි නැත්තේ.. ඔය හොරණ පැත්තේ ඉඳල ආව කෙනෙක් දවසක් මට කියනවා... 'අයියලා රොටිවල නම කියනකොට අපි එව්වා හදල කාලත් ඉවරයි.' කියල!"
"ඇයි ඒ..?"
"අපි 'රොටීඊඊ' කියනකොට ඒ අය කියන්නේ 'රොටි' කියලනෙ!"
"ඉතිං මොකද්ද ඕකේ තියෙන මහ ලොකු වෙනස?"
"ඒක තමයි.."

"අප්පච්චී.... ඔය කෑල්ල අස්සැද්දුවට වතුර ගංට පුලුවං වෙයිද?"
"මේ නාවතෙං නං බෑ. එක්කෝ මහ කාණුව එතනිං  කපල නාවත අලුතෙං හදංට වෙනවා. නැත්තං දෙපොලෙම කපංට වෙනවා. "

                මෙහෙම කිය කිය අප්පච්චී ගොඩ කෑල්ලේ පස් උදැල්ලෙං කප කප, පස්සට දානවා. ඒ කෑල්ලත් මට්ටං වෙල ආවම ලොකු ඉඩක් එයි. ඒත් ඉල ඇදෙන වැඩක්.. ඒ අතරේ ගල් මුල් අහුලංටයි, එව්වා වෙනම ගොඩ කරංටයි...

"අප්පච්චී මාත් ටිකක් කොටන්නං.."
"නෑ මයෙ පුතා වරු දෙකක් විතර ආවම මේක මට්ටං කර ගංට පුලුවං.. මයෙ පුතාටත් පස්සේ උදැල්ල දෙන්නංකො. එහෙම නෙවෙයි... මයෙ පුතා ඔය ලියදි වල යාං වෙල තියෙන මුකුනුවැන්නයි, නියරවල් වල තියෙන ගොටුකොලයි කඩංට. අර පුංචි මල්ලට. හැබැයි නියරේ වල් ගස් අස්සේ අත දාන්නේ බලාගෙන. සත්තු ඉංට පුලුවං.."
"සර්පයොද අප්පච්චි?"
"ඒ විතරක් නෙවෙයි.. ගෝනුස්සෝ, පත්තෑයෝ, කඩියෝ.. කඩියොත් ඉන්නවා මහ සැර ජාතියක්. තව කලාඳුරු මැස්සෝ කියල හීං ජාතියක් ඉන්නවා. විද්දම හරි සැරයි."
"අප්පච්චී කලාඳුරු කියල..."
"ඔව් ඔව් තව ඒ නමිං අල තියෙන පොඩි පැල ජාතියකුත් තියෙනවා. එව්වේ අල සුවඳයි. ඒ හිංදා එව්වට සුවඳ අල කියලත් කියනවා."

"අප්පච්චි, ගරුඬා කියන්නේ?"
"පත්තෑයොම ලොකු ජාතියක් ඉන්නවා, උන්ට. තව අර කැරපොත්තෝ ඇදගෙන යන දිලිසෙන නිල්පාට සත්තුංටත් ගරුඬෝ කියලයි මෙහෙ කියන්නේ."

                 අප්පච්චි මං මුකුනුවැන්න කඩන තැනට ඇවිත් ඒකත් කියල දුන්නා.

"මයෙ පුතා මේ බිම දිගේ මුල් අල්ල අල්ල යාං වෙන වර්ගේ රස වැඩී. මුල්වලිං ගලවල ගංට ලේසියි. මෝරල නැති දඬු තියෙන හරියෙං කඩල ගත්තත් කමක් නැ. දඬු නැතුව රහ නෑ... හුඟක් මෝරපු දඬු කංටත් බෑ. කොල තෝරනකොට එව්වා අයිං කරනවා."

"අප්පච්චි මෙව්වත් හදන හැටි කියංටකො.."
"මයෙ පුතා, මුකුනුවැන්න මැල්ලුම තමයි වැඩියෙම්ම හදන්නේ. හීනියට ලියල ඇන්න මිරිස් අඩු සම්බෝලයක් දාල මලවා ගන්නවා. තව මැල්ලුමක් තියෙනවා පහසුම. හීනි වෙන්ට අතින් කරටි කඩල හෝදල හොඳට දිය බේරෙන්ට අරිනවා. ලුනු ව්තරක් දාල මැලවුනාම කරල් මිරිස් ටිකකුත් බැදල ඇන්න තෙල් ටිකක් දානවා. පොල් රැල් ටිකක් උඩින් දාල ඒවා මැල්ලුමේ රස්නෙට තැම්බෙංට ඇරල බාගන්නවා.
පරිප්පු,කොස් ඇට, අල වාගේ දෙයක්, පොල්, ලුනු, මිරිස් දාල තෙල් දාලත් හරිම රහයි. ඉස්ම නැති වෙංට කිරිදාල මාලුවට ඉයල ගත්තමත් රහයි. ඒකට පරිප්පු, හීනියට කැපුව අල කොස් ඇට වාගේ දෙයක් එක්කෙරුවොත් තව හොඳයි... දලුම කරටි ලියල ඇන්න මුකුනුවැන්න සම්බෝල හදංටත් පුලුවං මයෙ පුතා. අර බට පඳුරු වාගේ උසට හැදිල තියෙන මුකුනුවැන්න රහෙං ගුනෙං අඩුයි."

"අප්පච්චී මුකුනුවැන්න ගුනයිද?"
"කෑමට ගන්න කොයි කොල ජාතියත් ගුණයි.  එක එක ජාතියට වෙනම ගුනේකුත් එකක්වත් තියෙනවා මයෙ පුතා. දැං.. මෙව්වා ඇස් වලට, ඉසකේ වැවෙංට,  පීනසේට, හමට එහෙම බොහොම ගුණයි කියනවා."

"අප්පච්චී.... ගොටුකොල?"
"මයෙ පුතා... මේ වෙල්වල, රබර් වතුවල එහෙම වැවෙන යාං වෙන ජාතිය ගුණේ වැඩී. තව යාං වෙන්නේ නැතුවම වාගේ පඳුරු හැදෙන ඔය පරණ ටිංවල්ල එහෙම වවා ගන්න ජාතියක් තියෙනවා. ගුනෙමුයි රසෙමුයි දෙකෙම්ම අඩුයි.

ගොටු කොලයි මුකුනුවැන්නයි දෙකම කැඳ හුඟක් ගුනයි. ගොටු කොල වැඩියෙම්ම ගන්නේ සම්බෝලෙට. සාමාන්නිය විදිහට ලුනු, අමුමිරිස්, රතුලූනු, දෙහි ඇඹුල් දාල හදල ගන්නවා. අමු මිරිස් වෙනුවට වේලිච්චමිරිස් කබලේ බැදල හරි ගිනි අංගුරු වල දාල පුස්සල හරි ඇන්න අතේ පොඩි කරල දැම්මමයි දෙහි ඇඹුල් වෙනුවට තක්කාලි පොඩි කරල දැම්මමයි හරි රහයි. හැබැයි කංට ගංට හුඟ වෙලාවකට කලිං නෙවෙයි එම හදා ගන්නවා නං තමයි හොඳ.

මුකුනුවැන්න වාගෙම මෙව්වත් මැල්ලුම, තෙල් දාල, වෑංජනේට ඉයල එහෙමත් ගංට පුලුවං. සම්බෝල කංට පුලුවං කොයි දේවත් හොඳට හෝදල සම්බෝල හදන එක ගින්නේ තම්බල ගන්නවට වැඩිය ගුනයි කියල කෘසිකර්මෙං දවසක් කිව්වා.

තව මයෙ පුතා කොල ජාති මහ ගොඩක් තියෙනවා කියල දෙංට. එව්වා අයෙ දවසක කියන්නං.."
"ඒ මොනවද අප්පච්චි..?"
"අප්පෝ කොච්චර නං තියෙනද! ගෝවා කොල, තැම්බේරියා, තෝර, මෑකරල්, තම්පලා, කූර, අඟුන, මයියොක්කා, කංකුං, වේලා, කර... තව හුඟක් ජාති.

මයෙ පුතා කොල ජාති කීපයක් එක් කරල හදන කලවං මැල්ලුම රස ගුන වැඩී කියනවා. ඔය කිව්ව හැම මැල්ලුවක්ම ලිපෙං බාල, බෑයක විතර දෙහි ඇඹුල් මිරිකල දාල හොඳට කලවං කර ගත්තම ගුන වැඩී.

මයෙ පුතා කියංට.... මයෙ පුතා තව සුදු පාට වෙල තව ලස්සන වෙංට කැමතිද ?"
"කව්රුත් කැමතියිනෙ අප්පච්චී..."
"එහෙනං කොල  ජාති ගොඩාක් කංට ඕනෑ... පිඟානට බත් එක බෙදා ගත්තම පිඟාන කොලපාටිං තියෙංට ඕනෑ... ගුනේටයි, කංට පිරිය හිතෙංටයි.. "

"අප්පච්චි අපි තුං දෙනාම කැමතියිනෙ. ඒකනෙ අපෙඅම්මා කියන්නේ අපි තුං දෙනා ගොලවේල්ලු කියල..!"

                                                      simple "s"
2018.10.15

No comments:

Post a Comment