Wednesday, November 28, 2018

උඩගෙදර කතා 18 (මුං ඇට කිරිබත්)


                          " මුං ඇට කිරිබත්... "

මගේ අප්පච්චිගෙ කෘෂිකර්ම (ප්‍රායෝගික) පාඨමාලාවෙන්..               (අංක 18)

               
                  එදා අප්පච්චි උදුලු මිටක් රැහැ රැහැ හිටියේ. දමුණු ලීයකිං. ඒ අස්සේ මොකදෝ එක්කිං කෑමට ගන්න ඇට ජාති ගැන කතාව ඇදිල ආවා.

"මයෙපුතා බව බෝග අස්වැන්න ගෙට ගන්නවා වාගෙම එව්වා හරි විදියට ගබඩා කරල තියන හැටි,  එව්වෙං කෑම, මාලුපිණි හදා ගන්න හැටි එහෙමත් අපි  දැන ගංට ඕනෑ."

"ඒ කිව්වේ අප්පච්චි..?"
"මං දවසක් මයෙ පුතාට පෙන්නුවා මතකද වී වල හිටිය පොඩි මැස්සෝ වාගේ ජාතියක්.. කතුරෝ කියල නම කිව්වේ.. ඒ සත්තු හැදුනම වී බොල් කරනවා. ඒ හින්දා වී අටු වලට මලු වලට එහෙම දෙහි කොල දාල තියනවා. වී වලට වාගෙම වෙන ඇට ජාති වලටත් ගුල්ලෝ, පනුවෝ එහෙම හැදුනොත් කෑමට ගංට බෑ. ඒ සත්තු හැදෙන්නේ එව්වා පරිස්සමට හංගා තියංට දන්නේ නැති හිංදා.
අනික අපි කන ජාති එක දිගට එක විදියටම කෑමට හැදුවොත් අප්පිරියා වෙනවානේ. ගෙවල් වැඩි හරියක දවස ගෙවෙන්නේ උදේට කුරහං වලිං රොටී හරි තම්බපු ඉරිඟු ඇට මුං ඇට වාගේ ඇට ජාතියක් හරි කාල. දවල්ට බත්, රෑට කුරහං තලප, ඉරිඟු - කරල් ඉරිඟු, පිට්ටු වාගේ දේකිං. අල බතලත් ඉඳ හිට එක් වෙනවා. ඉතිං ඔව්වා එක එක විදියට හදා ගංට ඕනෑ. පිරිය හිතෙංට නං."

"අප්පච්චි ඇට ජාති පරිස්සං වෙංට තියා ගන්නේ කොහොමද එතකොට?"
"ඒක නං මහ ලොකු සාත්තරයක් නෙවෙයි. පලවෙනි දේ කොයි ඇට ජාතියත් හොඳට අව්වේ වේලෙංට ඕනෑ. තෙතමනය ඉතුරු වුනොත් දිරනවා වාගෙම ගුල්ලෝ පනුවෝ එහෙම හැදෙනවත් වැඩී. ඉතිං එහෙම හොඳට වේලල ඇන්න හඳ මෝරණ කාලේදී ඕනෑ අටුවේ, ගෝණි මලු, පං පෙට්ටි වාගේ එව්වේ දාල තියංට. ඉතිං එතකොට දිරන්නේ සත්තු හැදෙන්නෙ එහෙම නෑ. රහත් වෙනස් වෙන්නෙ නෑ. කාලයක් තියාගෙන කංටත් පුලුවං.."

"අප්පච්චි එතකොට කෑම ජාති වෙනස් කරල හදනවා කිව්වේ.. ඒ කොහොමද?"
"කලිං දවසක මයෙ පුතාගෙ ඉස්කෝලෙ නෝනමහත්තයට කියනකොට කුරහං ගැන නං අහගෙන හිටියානේ. අද මුං ඇට ගැන කියන්නං..."

"මුං ඇට තම්බනකොට අපෙඅම්මා හැමදාම ඒකෙං කැඳ පෙරල දෙනවා. බොහොම ගුණයි කියල. පොල්  රැල් ටිකකුත් උඩිං දාලයි දෙන්නේ. ඒ වාගෙම බත් ඉයංට පමා වෙච්චම එහෙම 'බඩගිනිද මයෙ පුතාට..? ' අහල බත් කැඳත් පෙරල දෙනවා. ඒත් පොල් රැල් දාල. ඒ කැඳවල උඩ කිරි යොදේ වාගේ තට්ටුවක් මිදෙනවා අප්පච්චි නිමෙනකොට.."
"ඔව් මයෙ පුතා, ඒ බත් වල තියෙන තෙල්... මිදෙන්නේ. බත් කැඳ පෙරල දෙන්නේ කැකුලු හාල් ඉයන දාට තමයි. තම්බපු හාල් කැඳ දියයි, රහත් අඩුයි. ඒ වුනාට උන හැදුනම එහෙම දුර්වල වෙලාවට දෙනවා. දිරවංටත් ලේසියි. ගුනේ අඩුවකුත් නෑ."

"ඉතිං අප්පච්චි මුං ඇට ගැන.."
"හ්ං.. මුං ඇට, ඇට පිටිංම ගන්නේ මුං ඇට කිරිබත් වලටයි, තම්බංටයි, ඇට පිටිං උයන වෙලාවටයි තමා. කැවුං වලට නං බැදල පිටි කොටල ගන්නේ. අනික් වැංජනේට, ආනමට එහෙම බැදල පියලි කරල ගංට ඕනෑ.
කිරිබත් වලට හෝදල ගරල යක් ඇට අයිං කරල ඇන්න හාල් වලට ටිකක් කලිං ලිප තියනවා. එකට ලිප තිබ්බොත් මුං ඇට තැම්බෙංට වෙලා යන හිංදා බත බෙරි වෙනවා වැඩී. එහෙම රහ නෑනේ. ඉතිං බත වාගේ හිටිංට ගානට වතුර හිඳිල බතුයි මුං ඇටයි තැම්බුනාම පොල්කිරි දාල කිරි හිඳෙනකොට හැතපෙංට ඇරල බා ගන්නවා. එක්කෝ අච්චුවේ කැට කපනවා නැත්තං හැංදෙංම ලොකු ගුලි හදනවා. කෙහෙල් කොලේක හරි පෝප් පතක හරි වඩල ලොකු දුණු පිහියකිං හරි මේස පිහියකිං හරි රුයිත හැඩේට කෑලි කපලත් ගන්නවා. ලුණු මිරිස් එක්ක, ලූනු තෙල් දාපුවා එක්ක, කෙසෙල් ගෙඩි එක්ක, හකුරු එක්ක එහෙම කෑමට ගන්නවා. සමහර අය නං මොනවාහරි මාලුවක් එක්කත් කනවා. අච්චාරු එක්කත් කනවා. මොනවා එක්ක කෑවත් හරියටම රහ දැනෙංට නං ඊට කලිං කෑව එව්වේ කටේ රහ යංට වතුර ඩිංගක් බීල ඉංට ඕනෑ මයෙ පුතා... මං නං දෙතුං කටක් නිකංම කාල තව ටිකක් ලුනු මිරිස් එක්කයි, තවත් ටිකක් පොල් එක්කයි කාල අවසානෙට පොලුයි හකුරු හරි සීනි හරි කලවං කරල තමයි කැමති.
කිරි බත්, ටිකක් රස්නේ පිටිංම පෝප්පතක වඩල පොල්පැණි මැදි කරල තද වෙංට කොලේ අඹරවල ගත්තම තමයි කොට්ට කිරිබත්. ඉඹුල් කිරිබත් කියලත් වෙන පැති වල කියනවා."

"මුං ඇට තම්බනකොට..?"
"වැඩි වැඩක් නෑ... බත් උයනවා වාගේ ඇට වෙං වෙල තියෙන පදමට තම්බල ගන්නවා. බෙරි වුනොත් ඇට එකට එක ඇලිල, රහත් අඩුයි වාගේ. සමහර ඇත්තෝ නං එහෙමත් මනාපයි. පොල් එක්ක හරි ලුනු මිරිස් එක්ක හරි තමයි කෑමට ගන්නේ."

"මුං ඇට කැවුං වලට කොහොමද අප්පච්චි?"
"මුං ඇට පියලි - වැංජනේට, ආනං වලට වාගෙම කැවුම් වලටත් ගන්නවා. මුං ඇට කබලේ බදිනවා, කර වෙන්නේ නැති වෙංට. ඊට පස්සේ බිම එලුව ගෝණියක් උඩට දාල මිරිස් ගලේ උඩ ගලෙං මු ඇට පොත්ත ඇටෙං වෙං වෙංට තරමට තෙරපනවා. කුල්ලෙං පොතු යංට පොලා ගන්නවා. කුල්ලේ ඉතුරුවෙන ඇට දෙකට පැලුන එව්වට තමයි පියලි කියන්නේ. කැවුං වලට එහෙමම පිටි කොටල හලා ගන්නවා. ඒ පිටි එව්වෙම කප්පි ටිකකුත් එක්ක හාල් පිටි වලට ම්ශ්‍ර කරල පැණි එක්ක හරි සීනි පත් පැනි කරපු එව්වා එක්ක හරි පදමට අනා ගන්නවා. එව්වා තුනීයට වඩල කිරිබත් හැඩේට පොඩිවට කපල හරි කැමති වෙන හැඩේකට හදල හරි ඇන්න හාල් පිටියි මුං පිටියි දිය කරල කහ දාල හදා ගත්ත උකු දියරේ තවරල......"
"චෙයී... කරනවා."
"අන්න හරි. පැනිපොල් මැදි කරල බෝල හදලත් ඒ වාගෙම අර දියරේ දවටල තෙලෙං බැදල ගත්තම එව්වා මුං ගුලි කියනවා. නාරං කැවුං කියන්නේ ඒ පැනි පොල් වලටම බැදපු කප්පි ටිකක් එක් කරල අර වාගේ හදා ගත්ත බෝල බැදල ගත්තම.

"මට මතකයි.. අවුරුද්දට කැවුං හදනකොට තාරුකා හැදුවා.. අප්පච්වි මුං ඇට මාලු ගැනත් කියංට.."

"විදිහවල් කීපයක් මං දන්නවා මයෙ පුතා. ඇට පිටිං ඇන්න තුන පහ එක්ක තැම්බෙන  කොට කිරි දාල ගන්නවා. පොල් හිඟ නං මිරිස් ගලේ අඹරල ටිකක්  දානවා. සමහර ඇත්තෝ බිං කඩල අඹරලත් දානවා. ඒ එක වෑංජනයක්.
ඔය මුලිං වතුරෙං තැම්බෙනකොට තව ටිකක් තම්බල, හැන්දෙං ඇට පොඩි කරල සුදුලූනුත් එක්ක අඹරපු පොල් සම්බෝලයක් දාල මුං ඇට මැල්ලුමත් හදනවා. වැංජන හදනකොට වුනත් සුදු ලූනු දානවාමයි, මුං ඇට වාතෙට හොඳ නැති හිංදා.... මුං පියලි වැංජනේ තමයි රසම. ඉස්සර වෙල කිව්වා වාගේ හදා ගත්ත මුං ඇට පියලි පරිප්පු උයනවා වාගේ හදනවා. කවුරුවත් පිට කෙනෙක් ආ වෙලාවට, කෝනට එහෙම තමයි ඒ පියලි මාලු හදන්නේ වැඩියෙම්ම."

"අපරාදේ.. කුරහං තලප ගැන ලිව්වා වාගේ මුං ඇට කෑම ජාති ගැනත් ලියංට අපෙ නෝන මහත්තයත් ඉංට තිබ්බේ, අර සඟරාවද මොකද්දෝ පොතට යවංට."
"ඉතිං අපි පස්සේ වෙලාවක එයාටත් කියල දෙමු.  මයෙ පුතා තව එකක් කියංටද.. ඔය කොයි කිරිබත් වලත් දංකුඩේ හරි රහයි..."
"ඉතිං අප්පච්චිමනෙ මට කියන්නේ දංකුඩ කෑවමයි අඹරංට ගලට දැම්ම පොල් කෑවමයි රව්ල එන්නෙ නෑ කියල.."
"එව්වා විහිළුවට කියන කතා මයෙ පුතා...!"

                                            simple "s"
2018.08.13


No comments:

Post a Comment