Sunday, November 25, 2018

උඩගෙදර කතා 70 (පාර්ලිමේන්තු වරප්‍රසාද)

උසාවියක් පැත්තෙන් මෙහෙම ඇහුනලු

             රට වැසියන් හැම දෙනාටම එක් රැස් වෙලා විවිධ තීරණ ගන්න, නීති රීති හදන්න බෑ. 

             ඉතිං ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවාය කියන සමහර රටවල වැසියන් වෙනුවෙන් ඒ තීන්දු තීරණ ගන්න ජනතා  නියෝජිතයින් පත් කරලා  පාර්ලිමේන්තුවට යවනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. ඒ අය ගන්න තීරණ රටේම අය ගන්න තීරණ හැටියට සලකනවා.

              බොහෝ විට දෙන්නෙක් අතරේ වුනත් එකම මතයක් නැහැ. ඒ වාගෙම  තෝරලා යවන අර අයත් තීරණ ගන්නකොට බෙදී සිටීම වලක්වන්න බැහැ. 

                ප්‍රජාතන්ත්‍රවාදය ඒකටත් විසඳීමක් දෙනවා. බහුතර කැමැත්ත. මෙහෙම තීරණ ගන්නකොට තම හෝ තම පක්ෂයේ මතය තහවුරු කර කැමැත්ත ගන්න කතා, තර්ක විතර්ක, අපහාස, බොරු විතරක් නෙවේ කුණුහරුපත් අමු අමුවේ භාවිතා වීම දැන් දැන් දකින්න පුලුවන්. එයිනුත් නොනැනවතී මේස පුටු කඩදාසි රඳවන ආදියද භාවිතයට ගැනෙනවා පෙනේ. ඉනුත් නොනැන්වතී අවි ආයුධ ද දැන් දැන් පාර්ලිමේන්තුවට ඇතුලුවේ. මේ ක්‍රියාකාරකම් ප්‍රජාතන්ත්‍රවාදයේ කොටස් නම් නොවේ...

                කොහොම වුනත් ඒ පාර්ලිමේන්තුවේ කටයුතු ප්‍රජාතන්ත්‍රවාදීව කෙරෙනවා යයි උපකල්පනය කරමු. ඉතින් අර වාගේ වැදගත් තීන්දු රට වෙනුවෙන් ගැනීමට කතා, තර්ක, විතර්ක කරද්දී ඒවා හේතුවෙන් පාර්ලිමේන්තූවෙන් පිටතදී ප්‍රශ්ණ, හාණි ආදියට මුහුණ දීමට සිදුවේදෝ කියා බයෙන් සැකයෙන් කතා කිරීමට සිදු වුවොත් එය වැදගත් තීරණයකට එළඹීමට බාධකයක්. එයටද පිළියමක් ඇත.  පාර්ලිමේන්තුව තුල කරන කතා බහ කටයුතු ඉන් පිටතදී වෙනත් කෙනෙක් කියා සිටීම, වාර්තා කිරීම, පල කිරීම ආදිය නොකළ යුතු බවට නීතිය විසින්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට ලබාදී ඇති රැකවරණය එයයි. එය කඩ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. එම රැකවරණයත් පාර්ලිමේන්තු වරප්‍රසාදයක්. 

               මෙම වරප්‍රසාදය තවම ක්‍රියාත්මකද යන්න නම් නොපැහැදිලි ය. 

               කෙසේ හෝ, එම රැකවරණය ක්‍රියාත්මකව පැවති කාලයේ සිදුවීමක් මේ..

"කාල් මාක්ස් කියන්නේ නඩු නැතිව මේ පේමන්ට් එකේ රස්තියාදු වෙවී හිටිය නීතිඥයෙක්." කියා එක් මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තු විවාදයක් අතරතුර ප්‍රකාශ කරනවා. පසු දින, එක්තරා වාමාංශික පුවත් පතක් මේ සිද්ධිය වාර්තා කිරීමට යොදා ගත්තේ "බූරු හඬක්" යන්න ය. මීට එරෙහිව මන්ත්‍රීවරයා නඩුවක් ගොනු කරනවා.  

                නඩු විභාගයේදී විනිසුරුවරයා "ඔබ තුමාට බූරුවා යයි කීම..." ආදී වශයෙන් බූරුවා යන වචනය බොහෝ වාරයක් භාවිතා කරමින් අවසානයේ තීන්දුවක් දෙනවා, මන්ත්‍රීවරයාට පක්ෂව.

"පාර්ලිමේන්තුවට අපහාස කිරීම වෙනුවෙන් රුපියල් දෙසිය පනහක් හා ගරු මන්ත්‍රීවරයාට අපහාස කිරීම වෙනුවෙන් රුපියල් දෙසීයක් දඩ.."

                උසාවියෙන් පිටව යන පුවත්පත් කර්තෘවරයා හිතවත් නිළධායෙකුට මෙසේ කියනවා:
"ඔච්චර අඩු ගානක් බව දන්නවා නම් තව ටිකක් කියලා අරිනවා!"

                                                                             "s"


No comments:

Post a Comment