Sunday, November 25, 2018

උඩගෙදර කතා 60 (බත බුලතින් පිරි)

"බත බුලතින් පිරි...."

නං...............                           06

              මේ දවස් වල කෙනෙක් මුණ ගැගෙනකොට හුඟක්ම වයසක ඇත්තොයි පොඩි ඇත්‍තොයි ඇර අනික් අය සාමාන්‍යයෙන් අලුත් අවුරුදු සුබ පැතුමකිං කතාව පටං ගන්නේ. වයසක ඇත්තොංට වුනත් "කොහොමද මාමේ අවුරුදු සරුද?" වගේ හිතවත් කම පෙන්නන දෙයක් අවුරුද්ද සම්බන්ධ කරලයි කියන්නේ. ඒ කතාවේ ඒ හැම සුබ පැතුමක්ම හිතවත් කමක්ම තියෙනවා.  හරියට ඉස්සර අර බාල්දිය සබං කෑල්ල සාලුව ඇන්න යන කෙනෙක් ලිඳ ලඟදී මුණ ගැහුනත් "නාංට යනවද?" කියල අහන පුරුද්ද වාගේ.

               තව ටිකක් වයසක අය "බත බුලතිං පිරි සුබ නව වසරක් වේවා!" කියලත් කියනවා. දැං ඒක ලියන එව්වට තමයි වැඩියෙං යෙදෙන්නේ. බත.. පිරෙංට කියල පතන එක නං හරි. බුලතිං.. පිරෙංටත් කියන්නේ?

                අපි අතරේ බුලතිං සංකේතවත් වෙන කොයි තරං දේ තියෙනවද? සෞභාග්‍යය, ගෞරවය, හිතවත් කම්.... වගේ. බුලත් කොලයක් දීල යමකට ආරාදනා කරනවා කියන්නෙ බෝම ගෞරවයෙං ආරාදනා කිරීමක්. මගුලකට, වෙන විශේෂ අවස්ථාවකට අදත් එහෙමනේ. 

                 බුලත් අතක් දීල වඳිනවා කියන්නේ ගෞරව කිරීමේ ඉහලම විදිය; පිළි ගැනීමකදී වුනත්. බුලත් අත දිහා ඇහැක් ඇරල නොබැලුවත්, ඇමති තුමාට බුලත් අත දීල පිළිගංට ආසා අය කොයි තරං ඉන්නවද? ඊට පස්සේ "ඔහොම එංට.. ඔහොම එංට.." කියංටත්. වෙද මහත්තයා ලඟට යනකොට, ළමයා ඉස්කෝලේ යන කොට අලුත් වාරයක් පටං ගන්නකොට, පිරිතක් පිං කමක් ගමට කියනකොට බුලත් කොල කීපයක් ඇන්න යන සිරිත නැතුවම බෑ.

                   බුලත් දෙන්නේ නැටි ඉස්සරහට හිටිංට. තුඩු ඉස්සරහට තියල දෙන්නේ අසුබ දෙයක් කියංටලු. ඉස්සර වෙද මහත්තුරු හිටියලු, තමංට දූන්න බුලත් අත දිහා බලලත් රෝග විනිශ්චය කරපු ඇත්තෝ. නියම බුලත් අතකට කොල හතලිහක් තියෙංට ඕනෑ..
               එදත් අදත්  බුද්ධ පූජාවට, දානෙට අත්‍යාවශ්‍ය අංගයක් බුලත් විට. එතකොට බුලත් කියන්නෑ.. දැහැත් .
              කුල මල බේද කොයිදේත් නොසලකා ගෙදරට ගොඩ වෙන කාටත් ඉස්සර අමුත්තං සැලකීම කෙරුවේ බුලත් තට්ටුව ලං කරල. බුලත් තට්ටුවේ ස්තිර අංගෝපාංග .. හුනු කිල්ලෝටේ, ගිරය, පඩික්කම, බුලත් වංගෙඩිය. සෑම ගෙදරකම වාගේ ලස්සන මෝස්තර කැටයං කරපු පිත්තලෙං හැදුව මේවා තිබුනා. සිනිඳු ගඩොල් කුඩු හරි වැලි හරි දෙහි බෑයකට හරි සියඹලා ටිකකට හරි දාල මේවා දිලිසෙංට මදිනවා, අලුත් අවුරුද්දට එහෙම. දැං ප්ලාස්ටික් පිත්තලවල තැන අරගෙන! බුලත් තට්ටුවට ඉලත්තට්ටුව කියලත් කිව්වා. ඇයි කියංට නං දන්නෑ. කහතූඩුව පැත්තේ.. කියන්නේ බුලත් හෙප්පුව. අපෙ හෙප්පුව වෙන එකක්!
               කලිං ආශ්‍රයක් නොතිබ්බ, යෝජිත මනමාලියක් බලංට යන තරුණයෙකුට ඉස්සර වෙලාම ඒ ඇත්තිගෙන් ලැබෙන්නේ බුලත් තට්ටුවෙං බුලත් කොලයක්... 
              මළ ගෙදරක අදත් නොවරදවාම හිස් නොකර උස බුලත් තට්ටුවක් තියෙනවාමයි. කෙල ගහංට වැලි පුරවපු මලු තියන එක ලඟදී එක් වුනේ පාරවල් මිදුල් පුරා බුලත් කෙල ගැහුවාම, බුලත් හපේ දැම්මම පිළිකුල් හිංදා. බුලත් කෙල ගහංට තැනක් නැතුව ඒක කටේ පුරවගෙන බාගෙට උඩ බලාගෙන කතාකරන අය දැකලා ඇති.. බුලත් විට හැපීමයි, බුලත් විට කෑමයි දෙකක්!
              හුනු වලිං දත්වල එනමලය හාණි කරනවා.. තරුණ කාලේ දඬුකොස් බෑය වාගේ තිබ්බ දත් ටික වයසට යනකොට ගෙවිල කහට බැඳිල  තියෙන්නේ ඒ හිංදා. දැං දැං පුවක් හොඳ නෑ කියලත් කියනවා. ඒ වුනාට අමු අඹ,  බිලිං එහෙම කාල දත් හිරි වැටුනම හිරිය දැනෙද්දිම පුවක් කෑල්ලක් හැපුවම ඔන්න හරි.. දුංකල නං කොහොමත් හොඳ නෑ. එව්වත් හිරියාලේ දුංකලයි, කලුපාටට ගෝඩා දැම්ම දෙමළ දුංකලයි කියල දෙවගයයි.
             සමහර අයට බුලත් විට මත් වෙනවා. සමහර පුවක්, විසේසෙං රට පුවක් වලත් හැටි එහෙමයි. මත් වුනාම පෙලක් වෙලාවට හරි අමාරු වෙනවා.. එහෙම වෙලාවට කට හෝදල දාල සීනි ටිකක් හරි ලුනු කැටයක් හරි කනවා. ඊට පස්සේ දාඩිය නිවෙංට පවං ගැහුවම හරි.
                ඉස්සර හපුමලීලා නාමලීලාත් දැනගෙන හිටියා තොල් රතු නං ආකර්ෂණය වැඩී කියල. ඒ වුනාට දැං වාගේ ලිප්ස්ටික් තිබ්බ එකක්යැ. ඒ ඇත්තෝ විටකිං තමයි තොල් රතු කර ගත්තේ. හැබැයි ඒ ගොල්ලොංගෙ විටට තිබුන පහේ ප්‍රධාන හතරට අමතරව.. අර මිල්ටන් පෙරේරා මහත්තයත් කියන්නේ:
"කරද මුංගු කරාබු නැටි සාදික්කා වසාවාසි.." කියල...!
එව්වත් තිබ්බා. තව දෙමට මල් වාගේ එව්වත් එකතු වුනාලු. තව බුලත් විටක් නැති වෙලාවට පොතු කෑව සුවඳ ගස් ජාතියක් තිබ්බා. නම මතක නෑ. ඒ පොතුත් ගත්තා. ඉතිං තොල රතු පාටයි, කට නැවුම්.. විට කෑව හිංදා පිළිකා හැදුන කතා දැන්නං බොහොමයි. අවදානමක් ගන්නවට වැඩිය නොකා හිටියම ඉවරයිනෙ, ලිප්ස්ටිකුත් මවුත්වොෂුත් තියෙන එකේ. අනික, කොහෙදෝ හැදුවත් අපෙම කරාබු නැටි ටිකයි මූණ්මල් පොතු ටිකයිනෙ.
                ගිලීමලේ හොඳිං බුලත් හැදෙංට ඇති! ඒත් දත සුදු අය එහෙත් ඉඳලා. ඉස්සර පිළිගැනීමක් තිබුනා රෑට ගිරව් කෑ ගහගෙන ඉගිලිලා යනකොට බුලත් හිටෙව්වොත් සරුවට හැදෙනවා කියල. ඒත් ඉතිං පායන කාලෙත් ගැගිච්ච මුට්ටියක වතුර පුරවල වැල මුල තියල පහුරු අල්ලා ගංට පාසු ගංසූරිය වාගේ ගහකට යාං කෙරුවම හොඳට හැදෙනවාම තමයි, ගිරව් නැතත්! අර ගස් බුලත් කියන කොරටු වල හදන බුලත් වලට නං මෙව්වා අදාල නෑ. වැල මුලිං හැදිල බිම දිගේ යාං වෙන, විටට ගංට බැරි මැටි පලා නං දෙවගයටම පොදුයි.
               ඉතිං බතට අමතරව, බුලතිං අලුත් අව්රුද්ද සරු වෙංට කියල කියංට ගත්තේ මෙහෙම මිල මුදලිං, හිතවත්කම් වලිං, සෙනෙහසිං, සනීපයෙං, සතුටෙං, රුවෙං  ... කී නොකී සියලු යහපත් දෙයිං, ඒ කියන්නේ බුලතිං පිරෙංට කියන එකටනෙ.
               දැං අර කිව්ව ...විට කාරයෙක් නං දකිංටම නෑ. මතකද, රතු, කහ, කොල පාට දැම්ම ඩෙසිකේටඩ් කොකනට් වලින් හැඩ කරපු ....විට තට්ටුව! ඒක උරේක එල්ලාගෙන, පුංචි ගෙජ්ජි වැලක් හොල්ල හොල්ල "විට. විට. විටේයි" කිය කිය 'පංසල පල්ලිය බස් නැවතුම් පොල කෝවිල හැම තැන" මුණගැහුන ඒ හීංදෑරි මනුස්සයා! ඒ සත පහට විකුණපු එව්වට කිව්වේ මොන විට කියලද.. කියන්න බලන්න මතක නං!

                      *                     *                       *
---------------------------------------------------------------------------------
"ඔබ සැමට බත බුලතින් පිරි සුබ නව වසරක් වේවා!"
---------------------------------------------------------------------------------
                                                simple "s"

No comments:

Post a Comment