Wednesday, November 28, 2018

උඩගෙදර කතා 15 (කොලදිම)


                                  "කොලදිම..... "

මගෙ අප්පච්චිගෙ කෘෂිකර්ම (ප්‍රායෝගික) පාඨමාලාවෙන්                (අංක 15)

                ගොයං කපල ඉවර වෙනකොටත් හවස් වෙල නෑ. අප්පච්චියි ගොයං කැපුව දෙතුං දෙනෙකුයි කුඹුරෙම නතර වුනා. අප්පච්චි කිව්වා මටත් අපෙ අම්මලා එක්ක ගෙදර ගිහිං ඕනෑනං රෑ කෑම ගේනකොට එංට කියල. ඉංට තමයි මට හිතේ තිබුනේ.

                 කමත අයිනේ තුංපොලක ලංතෑරුං  එල්ලල. එක පැත්තකට වහලේ බාල, වත්තේ වාගේ ලස්සන නැතුව හදල තියෙන පැල කිට්ටුවෙං ලොකු ගිනි මැලයක් ගහල. කෙලවරක් නැතුව ක්‍රීක් ක්‍රීක්, ක්‍රීක් ක්‍රීක් කියල පලඟැටියෝ කෑගහන සද්දෙයි මාඋස්සා කඳුරේ ගලන වතුරේ සද්දෙයි ඇරෙංට කිසි සද්දයක් නෑ. අහස මුලුවස්සං තරු පිරිල. හඳ නං තවම නෑ. වවුලො දෙන්නෙක් ආකහේ පියාඹනවා. උන් කඳු අයිනේ ලොකු ගස් වල ඉඳහිට කෑ ගහනවත් ඇහෙනවා. ටික ටික හීතල වැඩි වෙනවා.

                 අනේ මයෙ අප්පච්චි පැල් රකිංට එනවා කියල එන්නේ තනියම මේ දුක විඳිංට නේද? කුඹුර කොටන දවස් වලත් හත් දුරුත්ත කිව්ව හත් දවසක් එක දිගට වහින මහ වැහි කාලෙත් තල අතු ගොටුව ඉහලා ගෙන උදේම පිටත් වෙච්ච අප්පච්චි දවල්ට කංට ආවේ මං දවල්ටත් කාල හීලි බත් කන වෙලාවට. දවසම වැස්සේ. ඒ එනකොට අත් කකුල් වල ඇඟිලි සුදුවෙල, හම රැළි වැටිල, හිරි වැටිල. දවස් කීයක් එහෙම වුනාද. ඉතිං එක හාල් ඇටයක්, එක වී ඇටයක් වීසි කරංට එපා කියල මට කියල දෙන්නේ ඇයි කියල පේනවා. අපෙ අම්මා කියනවා වාගේ එහෙම කෙරුවොත් ඇත්තටම මූසලකමක්ම තමයි. ඒ දුක දැනිල තියෙන ඇත්තංට තමයි ඒක තේරෙන්නේ.

               අප්පච්චිලා ගොවිතැං වැඩ ගැන කතා කරනවා.
 
"ඔය ඇල්ලපිට ගෙදර උන්දැගෙ මී හරක් ටික පැනල උන්දැගෙම මල්ලිගෙ කුඹුර පාලු කරපු එකට මල්ලී රපෝර්තු කරලලු. වගා පාලුව තක්සේරු කරල ගංසබා උසාවියේ නඩු දැම්මලු. පාලුව ගෙවංට වුනාලු."
"දැං වගාවට දීල තියෙන ආරස්සාව නරක නෑ. පාලු කරංට එන හරකුංට වෙඩි තියංටත් බලේ දීලලු තියෙන්නේ. කාලෙං කාලෙට එහෙම බලේ දෙනවලු."

                    ඔය අතරේ එක මාමා කෙනෙක් කවි කියංට පටං ගත්තා. කලිං අහල නැති කවිත්. වැඩියෙංම තුං සරණෙයි, යසෝදරාවතෙයි, වෙස්සන්තර ජාතකෙයි. මංතිරි දේවී දරුවෝ ගැන දුක් වෙන හැටි අහගෙන ඉංට අමාරුයි. මට අපෙඅම්මා මතක් වෙනවා. මට එහෙම එකක් වුනොත් අපෙඅම්මට මොනවා හිතෙයිද?

                    මිව්වෝ පස් දෙනයි. උඩිංම ඉන්න එක්කෙනාට මොලේ තියෙනවලු, අනික් අය ගානකට ඇන්න යංට. එයාට කියන්නේ මුදුනා. අංතිමේ ඉන්න එක්කෙනා වස්සෙක්, ටිකක් දඟයි වාගේ. අප්පච්චී කෙවිටක් ඇන්න ගොයං කොලේ උඩ රවුමට රව්මට මිව්වෝ දක්කනවා. උඩි උඩි, යං යං,ජහ වාගේ වචනත් කියනවා. කටට ගත්ත ගොයං ගස් ටිකක් කොච්චරවත් හප හප, වමාරා කකා මිව්වොත් ඔහෙ යනවා. හිටිය ගමං ඔන්න එකෙක් ටිකක් පමා වෙනවා. එතකොට ගහන්නෙත් නැතුව කෙවිට ඇඟට තද කරල ජහ ජහ කියනවා. මිව්වෝ ඇඟේ වහන මැස්සෝ එලවංට එක දිගටම නඟුට දෙපැත්තට වනනවා.

"ඔන්න ඔන්න ගොංපස්.." එක මාමා කෙනෙක් කිව්වා. අප්පච්චි ඉක්මනට ගොයං ගස් ටිකක් ඇන්න වී වැටෙංට දෙසරයක් ගසාදාල රවුමක් හදල ඒකට ගොම වැටෙංට ඇල්ලුවා. එව්වා කමතෙං පිටට ගිහිං දැම්මා. ගොයං ගස් ටික ආපහු කොලේටම දැම්මා. මේ වෙනකොට ගොයං වලට මැඩුවං කියලයි, වී වලට බැත කියලයි කිව්වේ.
"මං විට ඩිංගක් හපල එනකල් මයෙ පුතා එලවංටකො.." කියල අප්පච්චි කෙවිට මට දුන්නා.
"මුදුනටත් එක තැනකම උඩ කකුල තියාගෙන ඉංට දෙංට එපා. එතකොට මුලු කොලේම ඒකේ කැරකිල එංට හදනවා. මුදුනට ඇවිද ගංටත් බැරුව හිර වෙනවා. ඒකට කියන්නේ වෙලුව ගහ ගන්නවා කියල. පිහියකිං කපල විනා මැඩුවං පැත්තකට ගංට බෑ."
"අප්පච්චි ... මිව්වෝ ගොම දැම්මොත් ?"
"අර අප්පච්චි කෙරුවා වාගේ එව්වත් ගංට ඕනෑ කොල පාගනවා නං" කියල මාමා කෙනෙක් කිව්වා, හිනා වෙවී. ගඳ දැනිල මයෙ මූණ ඇකිලෙනවා අප්පච්චි දැක්කා වෙංට ඇති.
"හා.. එව්වා මං ගන්නං. හරකුන්නේ ඉස්සරහට යංට එහෙම එපා මයෙ පුතා." මට කිව්වා.

                 ගිණිමැලේ කිට්ටුවෙං යද්දී දැනෙන්නේ හරි  සනීපයක්. ආයෙ ඈත් වෙනකොට ඇඟ ගල් වෙනවා වාගේ හීතලට. පරන වේට්ටි කෑල්ලකිං කලිම්ම මට සුම්බරයක් බැඳලයි තිබ්බේ.

"ඕක දෙකංසේ වැහෙංට පාත් කර ගංට. ඕක ඔලුවෙං අයිං කර ගංට එහෙම එපා.. පින්න සැරයි. හෙම්බිරිස්සාව හැදෙනවා." ඇත්තටම ඒ වෙනකොටත් මයෙ නහය බර වෙල කට හඬත් වෙනස් වෙල.

                   කෙවිට ඇඟේ තිබ්බට එක හරකෙකුටවත් මං  ගැහැව්වෙ නෑ. ඒ අය එකම වේගේකිං ඔහේ යනවා. මයෙ වාසනාවට එක්කෙනෙක්වත් ගොම දැම්මෙත් නෑ. ගොං පස්! හැබැයි එක සැරයක් පස් දෙනාම පේලියක් හැදිල කොලෙං පිටට කමතට බැස්සා.... අප්පච්චියි මාමලයි "ඔහො.. හුඩි... කන්දා කොලේට.. කන්දා කොලේට" වාගේ කිය කිය කෙවිට පෙන්නල ආපහු හිටිය හැටියට හැදුවා. ඊට පස්සේ ඒ මාමා කෙනක්ම මීහරක් එලෙව්වේ. මං ගිහිං පැලේ ඉඳ ගත්තම හරි සනීපයක් දැනුනා. කන්දා කිව්වේ මුදුනෙම ඉන්න මිව්වගෙ නම. එයා හොඳ උස මහත. කොහොම වුනත් මට මිව්වෝ ටික ගැනත් හරි දුකයි. මට මහංසියි කියංටයැ.

                අප්පච්චියි අනික් මාමලයි පෑගුන මැඩුවං උකුනුගස් වල කොක්ක වාගේ කෑල්ලට ඇන්න උඩ දම දම හොල්ලල කමත වටේ ඇතුලෙං වැටක් වාගේ තිබ්බා. මාත් අනික් මාමගෙ උකුනු ගහෙං එහෙම හෙල්ලුවා. අප්පච්චි එව්වා තව සැරයක් දෙකක් හොල්ලලයි පිටිං තිබ්බේ. මුදුනෙම මැඩුවං ටිකක්  ඉතුරු වෙනකොට මිව්වෝ ටික කමතෙං පිටට ඇන්න උලා කංට ඇරියා. ආයෙත් හොල්ල හොල්ල මැඩුවං මුදුං කෙරුවා. මිව්වොත් ආපහු කොලේට මතු කෙරුවා.

                 ඔය අතරේ ලොකු අප්පච්ච්ලගෙ බඩ පිස්සා අයියයි තව එක්කෙනෙකුයි බත් ඇන්න ආවා. මටත් ඒ වෙලාවේ බඩගිණි දැනුනා. ඒ බඩගින්න ගෙදර ඉන්නකොට දැනෙන එක නෙවෙයි. කංට ආසා හිතෙන ව්දියට කටට බඩට දැනෙන එකක්... අපි දවාලටයි රෑටයි බත් කෑවේ, කැන්ද කොල එලපු, පතිඟි වලින් පාට දාපු ගල්ලැහැ වලිං රටා වියපු අතුල්පත් වල. වතුරයි තේ කහටයි බිව්වේ හොඳට කුරුටු ගාපු පොල් කටු වල.

                 අප්පච්චි කොල පගද්දී අනික් අය බත් කෑවා. මාත්.. ඒ බත් හැබෑ රහයි.. ඒ තියා වතුරත්. බත් කාල ඉවර වුන මාමා කෙනෙක් අප්පච්චිගෙං කෙවිට ගත්තා. අප්පච්චිත් බත් කෑවා. ඔක්කොම බත් කන වෙලාවෙත් හරක් ටික ලියද්දට යැව්වා වාගේ මට මතක. ටිකක් වෙලා ගියාට පස්සේ මාත් අයෙම හරක් එලෙව්වා. කකුල් රුදාව දැනෙනකොට  අප්පච්චි කෙවිට ගත්තා. මම පැලේ වාඩිවෙල හිටියේ. මට නින්ද ගිහිං! අර ගෙනාව ගෝණි පඩංගු උඩ. ඇහැරෙනකොට මිව්වෝ ලිහල. කුඹුරේ ලියදි වල‍යි නියරවල් වලයි වල් උලා කනවා. කට්ටියම උකුනුගස් වලිං මැඩුවං හොල්ල හොල්ල කමතෙං පිටට බානවා. තව ඉතුරු වෙල තියෙන්නේ තොලබෝ වලල්ල වටේ ටික විතරයි.

"මේ සැරේ එහෙමකට සත්තුංගෙං ආලාපලුවක් වෙංට දුන්නෙත් නෑ." අප්පච්චි කිව්වේ බැත අස්වැන්න හොඳ හින්දා වෙංට ඇති.
"මහංසි නොබලා රැකවල් කරනවා නං බේරා ගංට බැරි නෑ." මාමා කෙනෙක් කිව්වා.
"කුඹුර වටේම වෙඩි බෙහෙත් එල්ලුවා. වක්කඩවල් දෙක තුනක දිය හොල්මන් ඇටෙව්වා. නියරවල් වලයි කුඹුර වටෙයි වල් වැවෙංට නොදීම තියා ගත්තා. මැස්සෝ හැදීගෙන එනකොට දෙසරයක් අරත්තන අල ගැහැව්වා. මාංසි නොවී පුලුවනෑ ඉතිං. මේ සැරේ බිත්තර වී වලටත් මෙව්වෙම්ම වෙං කරංට පුලුවං."
"ඇයි... අක්කියල් වී ටිකත් මුදුනෙංම වෙං කරංට එපායැ" මාමා කෙනෙක් කිව්වා.
"අපෙ ගෙදර අඩුක්කු හදන එක අත්තැරල දැං හුඟක් කල්නෙ මලයා." අප්පච්ච් එහෙම කතා වෙච්ච ඒ ටික මට තේරුනේ නෑ. අක්කියල් වී ගැනයි අඩුක්කුව ගැනයි පස්සේ අහගංට ඕනෑ. වෙන ගෙවල් වලින් ගෙනත් දෙන අඩුක්කු බත් එක්ක තියෙන කිරි රොටී කංට විතරයිනෙ මං දන්නේ...!

"අප්පච්චි වෙඩි බෙහෙත් එල්ලුවා කිව්වේ?" අප්පච්චී කිව්ව එව්වා තේරුනේ නැති හිංදා මං ඇහුවා.
"මයෙ පුතා, අර පේංට තියෙන්නේ. අඟල් දෙකක් විතර දිගට කපා ගත්ත තල්කොල කෑලිවල වෙඩි බෙහෙත් ඇට කීපයක් මැදි කරල කොනක් අඟල් දෙක තුන පලපු කෝටු වල හිර කරල අර වාගේ කුඹුර වටෙයි මැදයි ඈතිං ඈතිං හිටෝනවා. වෙඩි බෙහෙත් කුයිලට සත්තු බයයි. විසේසෙංම ඌරෝ. දිය හොල්මන නං අර ගලවල ගෙනත් දාල තියෙන්නේ. එක බට කෑල්ලක් වතුර පිරුනම බරට පාත් වෙල වතුර හැලුනම ආපහු උඩට ඇවිත් උඩිං තියෙන හරස් බටේ වදින සද්දෙට කුරුල්ලෝ, සත්තු බය වෙල යනවා. තව ඔය පෝප්පත් කෑලි ටිකකුත් තැනිං තැන එල්ලුවා. හුලඟට වැනෙංට. නියරෙයි කුඹුර වටෙයි වල් තියෙනකොට තමයි මීයෝ එන්නේ. ඉඳහිට එකෙක් දෙන්නෙක් ආවොත් ඒ තැං බලල උගුල තියනවා. මැස්සෝ එන්නැතු වෙංට හරි ආවොත් පන්නංට හරි  අරත්තන අල වනේ කොටල කුඹුරට ඉහිනවා. එව්වා තමයි ඔය කිව්වේ."

                වැඩේ ඉවර වෙල පාන්දර කඳු මුදුං සුදු වේගෙන එනකොට, අනික් මාමලා ගෙවල් වලට යද්දී මටත් ඒ එක්ක ගෙදර යංට කිව්වා. අප්පච්චි කුඹුරේ. මයෙ අප්පච්චි අපෙඅම්මා මහංසි වෙංට තියෙන හරිය තව ඉවරයක් නෑ. බැත වේලංට පොලංට ගෙදර ඇන්න යංට තියෙනවා. දෙයියනේ ඒ අතට පයට කැක්කුමක් වේදනාවක් නං අහලකටවත් එංට එපා....!

                                                    simple "s"
2018.06.08

No comments:

Post a Comment