"දඹුව"
මගේ අප්පච්චිගෙ කෘෂිකම (ප්‍රායෝගික) පාඨමාලාවෙන්.... (අංක 23)
කරුවලගහ මඩිත්ත ලඟ ඉඳලම කැලෑව පිස්සිල. කෙටුවෙ නැති ගස් වැලුත්. කරුවලගහ මඩිත්ත කියලත් කියනවා, කරුවලගහ උල්පත කියලත් කියනවා. දෙකම හරිලු.
අපෙ අලුත් වත්තට කැලේ කැපුව කෑල්ල නං මහසෝනා වාගේ. තනිකර දඹුව. ඇයි ලොකු ගස්වල අතු කඳුබාපු එව්වයි කැලේ කපපු එව්වයි ඔක්කොම පිස්සිලනෙ. ගිනි ගහල දවස් දෙක තුනයි. පොදයක්වත් වැටුනා නං දඹු පොලොවට පාත් වෙනවා. දැං පුංචි හුලඟකටත්, අර ලොකු කොටං පිස්සුන තැංවල තියෙන සුදු පාට අලු ඇවිස්සෙනවා. මං එදා හෙවනට හිටිය නුගේ තියෙන්නේ මළ කඳුර ලඟ වැට මායිමේ හිංදා අතු ඔක්කොම කපල නෑ. ඒ හිංදා අදත් එතනම හිටියෑකි.
අපෙඅම්මත් අපි එක්කම ආවා. චීත්ත කෑල්ලක් පරන සුදු හැට්ටයක් ඇඳගෙන, තව රෙදි කෑල්ලක් කොන්ඩෙත් එක්ක වැහෙංට ඔලුවේ පිටිපස්සට යංට ගැට ගහගෙන. අප්පච්චි පුරුදු විදියටම සරුවාලෙයි පරන කමිසේකුයි ඇඳගෙන. මං ... පරන සරමයි උරඉස උඩදී ගැට ගහන.. ඔලුවෙං පන්නන කමිසෙයි. ඒ කමිසේ රෙද්ද මඩපලං ලු. තව වෙලාවකට අමුරෙදි කියලත් කියනවා. අපෙඅම්මයි අප්පච්චියි ඇඳුං කිළුටු නොවෙංට මහංසිය...! පුලුවං වෙයි පරිස්සං කර ගංට... මේ දැලි කන්දරාවේ හැටියට! දැනටම දෙන්නගෙ මූනෙත් එක්ක....
අද අපෙඅම්මයි අප්පච්චියි කරන්නේ බිම අස් කරන එක. බාගෙට බාගෙට පිස්සුන ලොකු ලී එක ගොඩකට, හීං ලී තව එක්කට. මෙහෙම තැනිං තැන ගොඩවල්. අපෙඅම්මල මොනවාදෝ කතා කර කර ගොඩක් හිනා වෙනවා. මමත් හොරෙංම අප්පච්චිලා ඉන්න තැනට ගියා. කනුමුල් වලට අඩිය තියා ගන්නැතුව.
"ඔන්න ඉතිං එපා කිව්ව එකක් කෙරුවා.... පුතාලෑ අප්පච්චි ඩිංගක් උඩුමියා වෙල බලංටකෝ. මේං මුන්දෑ අපි ලඟ."
"ඔහොම ඒ ගහ අස්සටම වෙල ඉංට පුලුවනෑ... බිත්තර රකිනවා වාගේ. හැබැයි කල්පනාවෙං ඔන්න... " අප්පච්චි හිනා වෙල කිව්වා.
"අපෙඅම්මා මේ දර ගෙදර ඇන්න යන්නෙ නැද්ද?"
"ඈත වැඩී මයෙ පුතා. කිට්ටුවෙං හොයා ගංට පුලුවං. වරකා කෑල්ලෙං එහෙම. මෙව්වා අද හවස් වරුවේ පුස්සනවා."
"අප්පච්චි මෙව්වා පිස්සිල ඉවර වෙනකං අපි ඉන්නවද?"
"ඇයි මයෙ පුතාට ගෙදර යංට හදිස්සියිද? මේ රොඩු ගොඩවල් වලට දෙපැතකිං වත් ගිනි තියනවා. ඉතිං දෙගිනියා වෙනකොට විතර අපිට යංට පුලුවං. පමා වෙංටත් බෑ.. පොලොව පොඟංට පොදයක් වැටුන හැටියෙම මුලු වත්තම උලුප්පංටත් එපායැ."
"උලුප්පංට..!"
"ඔව් අර හතේ දහයේ උදැල්ලෙං කොටල පස් පෙරලන එක.."
"කිඹුලා උදැල්ලෙං.."
"අන්න හරි."
"අප්පච්චි ඊට පස්සේ මොනවද කරන්නේ....."
"ගලවන මුල්, තව එතකොට.. ඉතුරු වෙන ලී එහෙම එකතු කරල අයෙත් ගිනි ගහංට ඕනෑ. කැට ගල් එකතු කරල ගල් මැල තනංට ඕනෑ. කානු පායංට ඕනෑ. ඊට පස්සේ තමයි පොඩි පොඩි ගල් මුල් සුද්ද කරල බෝග ජාති හිටවන්නේ.
පුතාගෙ අම්මා, පැටියට බඩගිනි වෙංටෑ. බත් ටික කංට ලෑස්ති කරංටකො.."
"නෑ.. නෑ.. මට ගෙදර යංට හදිස්සියකුත් නෑ. බඩගිනිත් නෑ. අප්පච්චි මේ පිස්සිල නැති මඩු ගස් එතකොට...?"
"මොනවා කරංටද.. ඔහොමම තියනවා. එතකොට වැහි ආවම අයෙත් දලු දානවා.."
* * *
"අප්ප්ච්චි එදා මට කිව්වා මඩු ගස්වල පොරෝජනේ කියල දෙනවා' කියල. මතකයිද?" ගෙනාව බත් දවල්ට කාල මං කිව්වා. අද කෑවේ අතුල් පත් වල එලුව බුස්සරණා කොලවල. කෙහෙල් කොල වල තරං සුවඳ නෑ..
"එහෙනං අහගංටකො.. හොඳයි මයෙ පුතාලා ගන්න පොරෝජනේකිංම පටං ගන්නංකො. මයෙ පුතාලා ලී ගැට ගහල හදන කරත්ත වල රෝද මොනවද?"
"හරිනේ.. මඩු ගහෙං කපා ගන්න වලලුනේ. ඒ රෝද වලට අර වැල් වල එල්ලෙන නිමිති අලත් පොඩි කරල දානවා. එව්වා හරි සෙවලයි."
"ඊලඟට එදා ඔය කපල දැම්ම අතු ... පැල්වල බිත්ති අහුරංට, කෑලි කපල, පැල ජාති අව්වෙං බේරා ගංට වහංට එහෙමත් ගන්නවා. පුතාලා හදන සෙල්ලං ගෙවල් වහංට අහුරංට එහෙමත් ගන්නේ."
"ඔව්මයි.. මට ඒකත් සිහි නැති වුනානෙ..."
"කෑමට ගන්න විදිහවල් තමයි විසේස. දැං ඔය අතු කපල දැම්ම ගස් එකක්වත් පිස්සිල එහෙම නෑ. වැහි එනකොට අයෙම ලියලනවා කියල මං කිව්වනෙ."
"මඩු දළු..?"
"නෑ.. මඩු දලු කියන්නේ ඊට සතියක් හමාරක් පහුවෙල, අතුත් ටිකක් දිගට තැනිල තියෙන එව්වට. මඩු කොකු කියන්නෙයි, මඩු පතු කියන්නෙයි මෙව්වට. ගහෙං එලියට ඇවිත් අග අපෙ ඇඟිලි වාගේ ඉස්සරහට කැරකිල තියෙන එව්වට. ඔය කොක්ක දිගෑරිල සතියක් විතර යනකමුත් කංට පුලුවං."
"එව්වා ඉයන්නේ කොහොමද අප්පච්චි."
"අතුල්පතකට දාල අත් ගලෙං යංතං තලනවා. එව්වා බෙරි නොවෙංට තම්බා දියෑරල ලුනු මිරිස් කහ කරාබු නැටි, එනසල්, කුරුඳු පොතු වාගේ තියෙන තරං පහේ ජාති දානවා. මඩු කොකු මත් ගතියක් තියෙන හිංදා. ඊට පස්සේ කිරියි ලුනුයි දාල ලිපේ තියල අබත් පුපූරුවල තෙල් දාල සාමාන්‍නිය විදියට ඉයල ගන්නවා. ඕකේ සුවඳයි, දෙතුං කටක් කනකල් රහයි හිංදා මහ ගොඩක් කංට පුලුවං කියල හිතෙන්නේ. ඒකට මොකද එහෙම කංට බෑ. සමහර ඇත්තෝ නං ඒ මත් රහට කන්නෙම නෑ."
"පුතාලෑ අප්පච්චි ඉස්කෝලේ නෝනමහත්තයට කියනවා වාගේ. මයෙ පුතා දන්න එව්වත් එක්ක කියනවා."
"ඉතිං සල්ලි යනවයැ නේද මයෙ පුතා..."
"එතකොට මඩු දළු කියන්නේ..?"
"කොකු දිගෑරිල... නාරටි වල වකුටු වෙල තියෙන දලු කොලත් දිගෑරිල තියෙනකොට මඩු දලු කියනවා. එව්වා නාරටියෙං හූරාගෙන තම්බා දියෑරල තෙල්ටිකක් දාල මලවල ගන්නවා. ඔය නාරටි වලිං හූරපු දලුම තද අව්වේ වේලල කොඳ හදලත් තියා ගන්නවා. එව්වා පස්සේ වුනත් අනික් කොඳ ජාති වාගේ තම්බා දියෑරල තෙල් දාල ගන්නවා."
"පුතාලෑ අප්පච්චි... මඩු පිටි?"
"අම්මම කියල දුන්නා නං ඉවරයිනෙ.."
"නෑ.. නෑ.. අප්පච්චී.!"
"ඔය මඩු ගෙඩි දෙකට කපල මදේ.. ඇත්තටම මඩු ඇටේ, පන්නාගෙන මේ වාගේ හොඳට අව්ව තියෙනකොට වේලා ගන්නවා. හැබැයි අන්න අර වාගේ ගහේදී ගිංදරට තැම්බිල තියෙන ගෙඩිවල ඇට අගුන වෙනවා. එව්වා ගන්නෙ නෑ. ඒ විදියට වේලා ගන්න ඇට රෑක් විතර පෙඟෙංට වතුරේ දානවා. වනේ කොටල පිටි කර ගන්නවා. එව්වා තුං හතර විදියකට කෑමට ගන්නවා. වෙන පිටි වලිං වාගෙම පිට්ටු හදනවා. හැබැයි, වැට මුරුංගා කොල අහුරක් දෙකක් දාලයි පිට්ටු තම්බන්නේ. එව්වට මඩුවල වමනෙට එන ගතිය නැතුවෙනවා කියනවා. පෙති තෝර කොලත් දානවා. ඒ පිට්ටු වලිංම වැලි තලපත් හදනවා. මඩු පිටි වලිං තලප, රොටී එහෙම කංටත් පුලුවං."
" මයෙ පුතා.. පිරිමි මඩු ගස් කියන එව්වේ ගෙඩි හැදෙන්නෙ නෑ. ඔය එව්වේ පිපෙන ලොකු මලෙං තමයි අර ගඳ එන්නේ. මට නං ඒක ඉවසංට බෑ.... ඔව්වේ ගුනෙත් ඔය ගමංම කියල දෙංට පුතාගෙ අප්පච්චි.."
"ඇත්තට.. මට අමතක වුනානෙ. මඩු ගහේ ඔය හැම කෑම ජාතියම අර්ශස් කියන එකටයි දියවැඩියාවටයි ගුණයි."
"දියවැඩියාව කියන්නේ..?"
"වැඩිපුර මූත්තරා යන අසනීපයක්. මේ ගම් පැතිවල අයට නං හැදෙන්නේ නෑ. ඇඟ මහන්සිවෙල දාඩිය වැටෙන හින්දයි කුරහං, මඩු වාගේ දේ කන හිංදයි."
"අපෙඅම්මා..හෙට අනිද්දා..."
"මඩු රොටී..?"
"නෑ.... වැලි තලප..."
"හ්ම්...."
simple "s"
2018.09.07
No comments:
Post a Comment