Saturday, November 17, 2018

උඩගෙදර කතා 01 (කුෂ්ටය)


"කුෂ්ටය..."

මගේ අප්පච්චිගෙ කෘෂිකර්ම (ප්‍රායෝගික) පාඨමාලාවෙන්...               (අංක 01)

            
               මට දෙසැම්බර් ඉස්කෝල නිවාඩුව. ඉතිං අප්පච්චි මාත් එක්කර ගෙනයි එදත් උදේම වරකාගහ ඇල අපේ වත්තට ගියේ. වරකා කෑල්ල කියලයි ලේසියට කියන්නේ.. පැල ජාති හදල නැති තැනක තණකොල වැවිල... මගෙ මැද ඇඟිල්ල විතර උසට... එව්වා උඩට පිනි වැටිල. ඉරට පිටුපාල හිටගෙන ඒ දිහා බලනකොට ලස්සනේ බෑ.. මකුළු දැල් කීපයක් උඩත් පිනිකැට. ලස්සන තව වැඩි වෙල.

                කණුවකට යාං කරල තිබ්බ මෑ වැලක් කලින්දා කණුව මුල බිම වැටිල තිබුනා. කණුව වටේ වලල්ලක් වගේ එතිල.. මං ඒක ආපහු කණුවේ ඉහලට එතුවා මතකයි. මේ දවසෙත් වැල කණුව මුල... ! ආයෙත් මං මෑ වැල කණුව වටේ ඉහලට ඔතල අප්පච්චි දිහා බැලුවේ. හීනි හිනාවක් එයාගෙ මූණේ... උදුළු ගගා හිටිය උදැල්ල පැත්තක තියල මෙහෙම කිව්වා...

"මයෙ පුතා.. වැල් ජාති ගස්වල එතෙන්නේ එකම පැත්තකට... වමට... අනිප්පැත්තට එතුවට
තියෙන්නෑ."

                   මට කමිසේ අත උස්සල බලන්න මතක් වුනේ නෑ... ! මගෙ බාරයට ආව වැල ආයෙත් කණුවේ එතුවා.. අප්පච්චි කිව්ව විදියට කියලයි හිතුවේ. ඒක විතරක් නෙවේ... අප්පච්චිට වැරදිල තිබුන වැල් කීපෙකුත් කණුවලින් ගලවල ආපහු අනිප්පැත්තට එතුවා..

"ඇයි අප්පච්චි එහෙම එක පැත්තකටම.. ?" වැලක් ඔතන අතරේ මං ඇහුවා..

"එහෙම තමයි මයෙ පුතා සොබා දර්මේ.."  මං දන්න එහෙම දර්මෙයක් නෑ... මං දන්නේ පියරත්නගෙ අප්පච්චි, දර්මෙ මාමා... ආයෙ ඉස්කෝලේ උගන්නන බුද්ද දර්මෙ ..

"අප්පච්චි සොබා දර්මෙ කියන්නෙ..?"
"ඒක මේ..මේ.. ඒක නෙවේ.. ඔයෙ මෑ දළු ඇඟේ ගාවා ගංට එපා.. කුෂ්ඨයක් හැදෙනවා.. වැඩියම මූණේ එහෙම."

                       කුෂ්ඨයක් ...! ඒ කියන්නේ මොකක්ද...? බලා ගංට මට ආසා හිතුනා. ඉතිං මං හිතලා නෙවේ ඒ මෑ දළු මයෙ මූණේ වැදුනේ...!

                       අපි දවල් කෑමට ගෙදර යනකොට අර මෑ වැල ... ආයෙත් කණුව මුල.. මං ආපහු එතුවා අප්පච්චිගෙ මෑ වැලුත්..! අප්පච්චි ඒවා ආයෙ අනිප්පැත්තට උඩට එතුවා.. පහුවදා උදේ නැගිටිනකොට මයෙ මූණේ ලස්සන ලස්සන මෝස්තර.... ! අර මොකක්දෝ කිව්ව එක ...! කුෂ්ටය..

                                                    simple "s"
2017.10.xx

(පසු සටහන:
ඉහත කියැවෙන සොබා දහමේ රීතිය, "ආපසු මදු" නමැති වැලටත් දක්ෂිණ හා උත්තර ධ්‍රෑව වලදීත් වෙනස්ව පවතින බව පසුව දැනගැනීමට ලැබුනි.)

1 comment:

  1. ලස්සන කතා ටික. බුකියේ ටිකක් කියවලා තියනවා. දැන් මුල ඉඳන් ඔක්කොම කියවතහැකි.

    ReplyDelete