Sunday, November 25, 2018

උඩගෙදර කතා 63 (සන්නිවේදනය )

                             "සන්නිවේදනය.."

නං......................................10
        
                 මොන රස්සාව කෙරුවත් ඕනෑම කෙනෙකුට ආත්මාභිමානයක්, ආත්ම ගෞරවයක් තියෙනවා.

                පාර අතුගාන මිනිස්සුංගෙ ලෝකය හරි අමුතුයි. ඒ අය අපිට වැඩිය සතුටිං ඉන්නේ. ලොකු ලොකු බලාපොරොත්තු නැති හිංදා වෙංට ඇති. එකම බලාපරොත්තුව (තරුණ කෙනෙකුට නං.. හෑන්ඩ් පෝන් එකක් ගැන ඇරුනාම) හැන්දෑවට කාලක් දාගන්නේ කොහොමද කියන එකයි. මං එහෙම කිව්වේ උපහාසයෙං නෙවෙයි. අපි නහය අකුලාගෙන අහක දාන කැතකුණු අතගාන ඒ මිනිස්සු බොන්නෙ නැත්තං අපිද බොංට ඕන? ඒ මිනිස්සු කරන වැඩේ අපිට කරංට පුලුවන්ද? වැඩිය එපා දවස් තුනක් ඒ අය වැඩ නතර කෙරුවොත් කොහොම හිටීද? ඔය වගේ තව බොහොම දේ කියංට තියෙනවා... "මාත් නැත්තං උංට කව්ද..." කියල හිතංට වුන කාලයක් මටත් තිබ්බා. හැබැයි ඒ අයට ආදරේ කරාට කමක් නෑ.. පෙන්නංට නං යංට එපා. කරට කොට්ටේකුත් දාල දෙංට කියයි, නගිංට

                  කාලෙකට ඉස්සර වැන්ඩවට් මහත්තයට  හදිසියෙම අලුත් කන්තෝරුවකට මාරු වෙල යංට වුනා. වීරසිංහ මහත්තයා එක්කත් ගේම ඉල්ලංට තරං උන තිබ්බ කාලේ. අවුරුදු දෙකක විතර දරු පැටියෙකුත් එක්ක තව හිටියා නං වැල්ලම්පිටිය හන්දියේ කම්බි කණුවක තමා ඔලුව.. ඒක වෙනම දිග කතාවක්.

                 වැන්ඩවට්ගෙ ගෘහ භාණ්ඩ පහ හය ලොරියෙං බා ගංට අලුත් කන්තෝරුවේ ඕරසෙල් මහත්තයෙක්, සෞක්‍ය අංශයේ වැඩ කරන අය දෙතුන් දෙනෙක් එක්ක ආවා. මේ වැඩේ යන අතරේ,
"මේ... ළමයෝ... ඕකේ කකුලක් කැඩිලා. පැත්තට පෙරලුනොත් මොකක හරි වැදිලා වීදුරුව කැඩෙයි.. කල්පනාවෙං" කියල වැඩ කරන කෙනෙකුට වැන්ඩවට් පුරුදු කරුණාවෙං කිව්වා. වැන්ඩවට් මහත්තයගෙ මූණ දිහා බලල ඒ මනුස්සයා එයාට ඕන හැටියට වැඩේ කෙරුවේ. හරි...  වැන්ඩවට් හිතුවා වාගෙම "ස්ලාං..."

                    ඕරසෙල් මහත්තයා එතෙංට ආවට අර මනුස්සයට මොකුත් කිව්වෙ නෑ. ටිකක් එහායිං හිටිය වැන්ඩවට් ලඟට ගියා.. මේ ලඟදී වැන්ඩවට් අවුරුද්දක පුහුණුව ඉවර කෙරුවේ.  සන්නිවේදනය නොහොත් පණිවිඩ හුවමාරුව, පිරිස් කළමනාකරණය වගේ (තද!) විෂය ඔක්කොටෝම වාගේ වැඩිම ලකුණු අරං බැච් ටොප් ගැහුවේ එයා. අන්න එයාට තව පාඩමක් කියා දෙංට ඕරසෙල් මහත්තයා එතෙංට ගියේ.

"දොරේ, දොරේ.... මේ ගොල්ලංට ඔය බාසාවෙං කතා කෙරුවට හරියන්නෑ.. තේරෙන්නෙත් නෑ. ඔන්න බලන්න." ඔහු වීදුරුව බිංද මනුස්සයට අඬ ගැහුවා.
"ඒයි.. රාජා මෙහෙ වරෙං ඩා.. වැඩක් පරිස්සමෙං කරංට උඹට තේරෙන්නෙ නැද්ද? ඔව්වා කඩන්නේ බිඳින්නෙ නැතුව පරිස්සමෙං කරපං. බූරුවා වාගේ නැතුව.. හා දැං පලයං.........."
"මං හිතුවේ එයාට සිංහල තේරුනේ නෑ වෙන්න ඇති කියලා.."
"සිංහල නං තේරෙනවා.. මහත්තයලගෙ සිංහලයි තේරෙන් නැත්තේ. ඒකනේ ඒ මිනිස්සු ඔතන ඉන්නේ.. හොඳයි, මහත්තයලට වැඩට ළමයෙක් ඉන්නවද?"
"ඔව්.. හෙන්රි... ඇයි? කෙනෙක් හොයා ගන්න ඕන වුනොත් කියන්නං.."
"බම්බුව.. මං කියන්න ගියේ ඒක නෙවේ.. ඔයෙ ගෙවල් වල ළමයි ඉන්න අකමැති ඇයි කියල දන්නවද? අනුකම්පාව කරුණාව වැඩි හිංදා... එහෙම හරියන්නේ නෑ දොරේ.. වරෙං පලයං බාසාව ඕනා.. කියන දෙයක් අඩි පොලොවේ හප්පලා සැරෙං කියන්න ඕනා... එතකොට උංට සතුටුයි..'ශහ්.. අපෙ මහත්තයා හරි සැරයි.. ගෑණියක් නෙවෙයි.. පණ තියෙනවා' කියල හිතන්නේ... උන් එතකොට  කැමැත්තෙං ඉන්නවා. මේ මිනිහෙක් පාරේදී බැන්නොත් දොරේ මොකද කරන්නේ? ආපහු බනිනවද? හොඳට හිටී.. මොනවාදෝ හොඳ දෙයක් කතා කරලා තියෙන්නේ කියලා වටේ මිනිසුංට හිතෙංට "හා" කියලා එතනිං යන්න. උංගෙ කුණුහරප දෙකක් අපෙ වචන දාහකට වැඩිය මිනිසුංට ඇහෙන්නේ. ඒ වාගේ කතා කරනවානං ඒකේ විදිහයි කරබාගන්න විදිහයි අපි තේරුං ගංට ඕනෑ දොරේ..."

                 අපොයි.. බර බර දේවල් කියල දුන්න වන් ඉයර් කෝස් එකේ වත් ඉගෙන ගංට බැරි වෙච්ච කොමියුනිකේෂන්..! ඒත් අදවත් වැන්ඩවට්ගෙ කට නං ඇරෙන්නෙ නෑ, කාටවත්ම  එහෙම කතාකරංට...

                  සන්නිවේදනයට, පුද්ගලයෙක් පවුලක් ආයතනයක් විතරක් නෙවේ රටක් වුනත් බිම දාංට පුලුවං.. ඒක හරියට නොකරනවා නං!            

                                                   simple "s"
2018.04.25

No comments:

Post a Comment