Monday, November 26, 2018

උඩගෙදර කතා 77 (71 වැනි මරණය)

 
                       "71 වැනි මරණය..."

                   අඩුවෙංටත් පුලුවං. වැඩි වෙංටත් පුලුවං. මම මැරුණ වාර ගණන ඔය 71 න් සංකේතවත් කෙරුවේ.

                   පපුව යන්තං රිදුනොත්, ඒත් එක්ක තව ඕනෑ කරන කාරණාවක් දෙකකුත් එක් වුනොත් "හරි... ටිකට් එක තමා." කියලා හිතුව වාරම සීයට වැඩි ඇති. පිළිකා...! කී සැරයක්ද? "හ්ම්.. එහෙනං තව සතියයි දෙකයි.. " ඒත්, එක්කෝ වාත විදුරංගය නැත්තං සිද්ධාලේපය ටිකකට ඒවා අහෝසි මරණ....!

                  අයෙ ජීවිතේටවත් දකිංට ලැබෙන්නෙ නැති ගෑණු ළමයෙකුට පේංට වෙට්ටුවක් දාන මෝටර් සයිකලයක්, වාහනයක් හැටට හැටේ ඉස්සරහ එනකොට... නැති වුන අම්මා අප්පච්චිත් මතක් වෙනවා. තව ඔහොම වෙට්ටුව දැම්ම වාහනේ ඇලේකට පාර මැද නිදා ගෙන ඇද්දෙන කොට, ඒකේ යන කෙනෙකුත් වුනාම, "රටක් වටින මටිං සිඤ්ඤෝ අපිටත් නොකිය ගියෝ ගියෝ.. ----- සොවින් තැවෙන කවටයාමුණේ මිතුරු කැළ.... "  ශෝකාලාපයේ සාම්පලෙත් පෙනිල ඉවරයි!

                  ඔය වාගේ සිල්ලර මරණ නෙවේ... ඈපා ලිතේ, සූනන් ඇඟ වැටීමේ පලාපල අඟල් දෙකේ එකේ අතිරේකයේ, ශරීරය හරහා දිවීම ද කොහෙද කාණ්ඩයට අදාල පලාපලය ඉෂ්ට වෙන ආසන්නයට ආවම...! තමන්ගෙ පණ තියෙනවද කියල තත්පරයක් දෙකක් හිතල බලංටත් ඕන.

                   ඔය මරණයට බය නිසා නෙවේ.

                      *                        *                        *

                   සුනේ...! (යාලුවෝ කිව්වේ එහෙම.)
                   මාක් මහත්තයා කියනවලු: "මගෙ හොඳම යාලුවා AL විෂයයන් ඔක්කොම සමත්. මම ඔක්කොම අසමත්. මගෙ යාලුවා දැන් ලෝකයේ විශාලතම මයික්‍රොසොෆ්ට් පරිගණක සමාගමේ ප්‍රධාන IT Engineer, මම ඒ සමාගමේ අයිතිකාරයා." කියල.

                  මෙහම කොල්ලං කෙල්ලං, වස්සං වැස්සියං කරන ව්හිලු වලිං මිනිස්සු හීන ලෝකවලට  යනවා. දෙවි කෙනෙක් ඇවිත් මටත් හැම දේම මවලා දෙනවා...! මේ වාගේ විකාර වලින් නෙවේ; දුක් කරදර මැදින් මහන්සියෙන් අධිෂ්ඨානයෙන් ජීවිතයේ ඉදිරියට ආව කෙනෙක් සුනේත්...

                    සුනේ මරණය දැකපු කෙනෙක්! ඒ හිංදයි, ණය ඔක්කොම ගෙවල ඉවර හින්දයි එයත් තව මොහොතකින් ආවත් සරළව මරණය පිළිගංට ලෑස්ති කෙනෙක්.

"87 එන්න."

                      ප්‍රියන්ත, පියන් ඒ. දොරෙන් එලියේ ඊලඟ එක්කෙනාට අඬ ගහනවා.

                      සුනේ දොර දිහා බලාගෙන ඉන්නේ සම්මුඛ පරීක්ෂණයට එන අය කොයි තරම් සැළකිල්ලෙන්ද එන්නේ කියල කලින්ම බලන්ට. කලින් ආව එක්කෙනාගෙන් අධ්‍යාපන සහතිකය ඉල්ලුවාම බෑග් එකේ ඒක හෙව්වේ එතෙන්ට ඇවිත්. මේ නොසැළකිල්ලමද?
"අනේ සර් ගිය සුමානෙත් එක්කට ගිහිං ඇවිත් මේක තියල පහුවදාම කුඹුරට බැස්සා.. ආයෙ මේක බලංටවත් ලැබුනෙ නෑ. ලැබෙන රස්සාවකුත් නෑ, ණයක්වත් ඉල්ලාගෙන එන තුට්ටුවත් නෑ, කරගෙන ඉන්න ගොවිතැනක් බතක් කරගෙන ඉංටත් නෑ. ඒත් ඉතිං තවම එනවා.."
"කොහොම වුනත් සහතිකය හොයා ගන්ට වෙයිනේ. ගෙදර..."
"සර් දැන්නං නැති වුනත් කමක් නෑ කියලත් හිතෙනවා."
"හොඳයි ඒක හොයා ගන්න බලන්න. දැන් ඒක නොතිබුනත් අපි මේ වැඩේ කරමු.."
                 "ඉල්ලුම් පත්‍රයේ කියල තියෙන තොරතුරු තහවුරු නොකර බෑ." කියලා මූණට ගහනවා වාගේ කියන්ට බැරි හින්දා, සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සභාපති සුනේ එහෙම කීවා.

                  87... සියල්ල පිළිවෙලයි. පනහක් විතර සහතික 'ටික' ත් අවශ්‍ය විදියට ෆයිල් එකක අමුණාගෙන. ඉල්ලන රස්සාව අත් දිගට දාගෙන කරන්ට බැරි එකක් වුනත් සුදු අත් දිග කමිසයක් හොඳට මැදලා ඇඳගෙන.

"අධ්‍යාපන සහතික දෙන්ට.."
"සර්.."
"උසස් පෙළත් හොඳට සමත්.... විශ්ව විද්‍යාලයට්,.."
"ලකුණු දෙකක් මදි වුනා සර්.. "
"ඉතිං අයෙත් විභාගේ කරංට තිබුනනෙ.. අපරාදේ.."
"ඒ කියන්නේ සර් මේකත් මට ලැබෙන්නෙ නෑ කියන එක නේද?"
"කොහොමද අපි එක පාරම එහෙම කියන්නේ දරුවෝ.. "

                    එක පාරම නෙවේ.. සියපාරක් ඒක තමා කියංට තියෙන්නේ. ඒත් සුනේ නිහඬ වෙනවා. ඔය 1987ට ටිකක් කලින්. සුනේ නිහඬ වුනේ කටින්  විතරයි. හදවතින් ..... කෑ ගැහුවා. හිතෙං අතීයයට ගියා.

                        *                    *                     *

                    අප්පචිට බරක් වෙන්ට තවත් බෑ කියලම හිතෙනකොට රස්සාවක් හොයා ගන්ට සුනේත් පටං ගන්නේ වයස පහලවේදී විතර. සම්මුඛ පරීක්ෂණ විසි තිස් ගානකට ගියා. විභාග දහයකටවත් ගියා.

                    මේ අතරේ, ඉස්කෝලේ ඉන්නකොටම, යාලුවෝ ලියාපදිංචි තැපෑලෙන් යවද්දී මෙයා සද්දහයේ මුද්දරයක් ගහල යැව්ව ඉල්ලුම් පත්තරේකට රස්සාවක් ලැබුනා. ඉස්කෝලෙන් සමුගෙන සතියක් යනකොට ඒ. විශ්‍රාම වැටුප් සහිත, ස්ථිර.... ඒත් ඒ රස්සාවට සුනේ කැමති නෑ. ඉල්ලුම් පත්තර යවන එකවත්, කොයි දේත් ඉගෙන ගැනීමවත් අත් ඇරියෙ නෑ. දඟ වැඩ නතර වුනෙත් නෑ. අන්තිමට එයාගෙ මහන්සිය සාර්ථක කර ගත්තා! පොත් දෙක තුනක් ලියන්ට තියෙන කතන්තර ගොඩක් ඒ!

                       *                      *                    * 
  
                     සුනේත් අනික් කොල්ලෝ කෙල්ලෝ  වාගෙම, මාක්ස්වාදය ටිකක් ටිකක් අතපත ගෑවේ ඉස්කෝලේ ගිය කාලේ ඉඳලම. අර සම්මුඛ පරීක්ෂණයට ආව ලමයින්ගෙ තරමටම බලාපොරොත්තු බිඳ වැටෙන්ට තරම් වයසක් ගතවෙල තිබුනෙ නැතත්, ලැබිල තිබුන අත් දැකීම් ඇති, "අප්පච්චි පොලවට ගහන උදලු පාරකින් වැඩියෙන් පෝෂ්ණය වෙන්නේ කව්ද..." කියල හිතා ගංට තරමට.

"හා.. මේ තියෙන්නේ... උඹලා ගම් පෙරලන්ට නේද?" මාර්ටින් වි්ක්‍රමසිංහ මහත්තයගෙ ගම්පෙරළිය පොත කොල්ලෙක්ගෙ ගෙදර පොත් ගොඩෙන් හොයා ගත්ත වීර නිළධාරියෙක් මේ අහිංසක කොල්ලා කුදලාගෙන ගිහින් මරලා දැම්මය කියන කාලේ මේ. 71... 1971.

                   සුනේ ගමට ආවේ අවුරුදු දහයකට විතර පස්සේ, ඔය අවුරුද්ද මුලදීමයි. ඒ හින්දා ගමේම හුඟක් දෙනෙක් වැඩිය අඳුනන්නෙත් නෑ.

                  පෙර දිග සුළඟ, මොරගල්ල ගම ඉහලිනුත් හමා යංට පටං ගත්තා විතරයි....

                  අප්‍රේල් හය වැනිදා එයා කලින් හිටිය දිහා රාජකාරි නඩුවක්. පස් වෙනිදා දකුණේ සිද්දිත් අහගෙන පිටත් වුනා.

"ඇයි දෙයියනේ ආවේ?" එයාට ආදරේ හැම කෙනෙක්ම කිව්වා. නෑවිත් හරි තොරතුරක් කොහෙන් ගන්ටද?

                   ඒ ගමන ඉවර වෙනකල්ම මහ  වික්‍රමයක්... සුනේ වගේ කෙනෙක්ව කලින් බස් එකෙන් අත් අඩංගුවට ගත්ත දිග කතාවකුත් ආපහු එද්දී .. ඒ වුනාට ආපහු ගමට එනකොට ගමේ නං මිනිස්සු ඇඳිරි නීතිය වෙලාවෙත් කොල පාගනවා...!

                    මේ නිසංසල ගතිය වැඩිකල් තිබුනෙ නෑ. බය, සැකය ගමම වෙලා ගත්තා. ගමේ කොල්ලෝ  කීප දෙනෙක් අල්ලාගෙනත් ගි‍යා. තැං තැංවල කොල්ලංව මරා දාල තිබුන කතාත් බොහෝම.

                     සුනේ ලිව්ව එක ලිපියක් 5 වැනිදා වෙනකොට තැපෑලේ. China Today සඟරාව හරියටම එන දවස්. සුනේ ලඟ දේශපාලනයට සම්බන්ධ පොත් පත් ගොඩයි. එකක් කාල් මාක්ස්ගෙ Das Kapital... පළමු ඉංග්‍රීසි මුද්‍රණයකම පිටපතක්! සරළ පොත්පත් ටිකක් පිච්චුවා. සමහර පත්තර සඟරා එහෙම.  පොත්, පත්තර, ලිපි කීපයක් වගේම Mao Tse-tung Quotations එක පොතකුත් හිත ගිය නවකතා පොත් කීපයකුත් තියා ගත්තා.

                    එන්ට එන්ටම රට ගිනියම් වෙනවා.  ටික දවසක් මේ පොත්පත් ටික ගෙදර අහු මුලුවල. ලැබෙන ආරංචි වල හැටියට ඒක අවදානමක්.

              .    දෙවැනි පියවරේදී තව කොටසක් පිච්චුවා. ඉතිරි ඒවා කන්තෝරුවට අරන් ගිහින් ලාච්චුවක දැම්මා. වැඩක් නෑ.. රෑ නින්ද අතරෙත් මතක් වෙනවා...

                    දවසක් මේ ටික ආයෙ ලස්සනට පාර්සල් කරගෙන එයාගෙ බුරුම බෑග් එකේ දාගෙන ආපහු ගේනවා. පන්සලේ තියන්ට කතා කරගෙනයි තිබුනේ.   පයින් එන්ට වුනේ. මල්ල කිසි බරක් නැති දෙයක් වාගේ පේන්ට සාර්ථක රඟ පෑමක.

                   එක තැනක හොර කෙටි පාරට තව විනාඩියක් තියෙද්දී වංගුවක් හරවලා එන ජීප් එකක්.. පොලීස් ජීප් එකක්... දැන් මේං ලඟම. වහලේ  උඩ තුවක්කු මානා ගත්ත පොලිස් කාරයෝ දෙන්නෙක් පස්සෙන්, ඇඟ එලියේ් .. ලොකු මහත්තයෙක් ඉස්සරහින්. ජීප් එක සුනේ පහු කරගෙන ගියා. ගලාගෙන ආව හෑල්ලු සුසුමක් සම්පූර්ණයෙන් පිට කරංට ලැබුනෙ නෑ.. ජීප් එක වේගය අඩු කරා... නැවැත්තුවා... පස්සට එනවා. දෙපැත්තේ රූස්ස කැලෑව, රැහැයියංගෙ කෙලවරක් නැති අඳෝනාව විතරයි.  පාරෙං පහල මහ ප්‍රපාතය. කව්රුහරි වැටුනොත් නතර වෙංට දවස් දෙකතුනක් යයි! සිද්දවෙන දේකට මූණ දෙනවා ඇර කරංට කිසිම දෙයක් නෑ. ජීප් එක වේගය අඩු වෙනවා.. එක මහත්තයෙක් බැහැල එනවා...

"ලොකු මහත්තයා එන්ට කියනවා..." ඒ අතරේ ජීප් එකත් ඇවිත් සුනේ ලඟම නවතිනවා.
"මොරගල්ලෙ නේද යන්නේ.. නගින්ට.." ලොකු මහත්තයා කියනවා. තත්පරේකින් දාහෙං එකක වෙලාවක් සතුටක්. ඒත් ඒ එක්කම මතක් වුනා, ඒ අයට සුදුසු තැනකට එක්ක යනවා ඇත්තේ කියලා. ඒත් හිතේ කලබලය පෙන්නුවේ නැහැ..

"පියසෝම නවත්තන්ට..." විනාඩියකට දෙක්කට පස්සේ ආයෙත් වාහනය නවතිනවා.
"මහත්තයා කොයිකටත් බැහැලා පයින් එන්ට." ලොකු මහත්තයා සුනේට කියනවා. හ්ම්... මේ තමයි එහෙනං සුදුසුම තැන.!

                  සුනේ බහින පමාවෙං ජීප් එක පිටත් වෙනවා. විනාඩියකින් නැවතිලා ආයෙත් පස්සට එනවා. සුනේ ටික ටික සාක්කියක් නැති මරණයට කිට්ටු වෙනවා..

"ගමේ කොල්ලෝ දෙන්නෙක් ගේන්ට යන්නේ. මේකේ ගිහින් බැස්සොත් හෙට මහත්තයව ගමේ එවුන් පට්ටා ගහයිි... පොලීසියට ඔත්තු දුන්නා කියලා."  සුනේගෙ 71 වැනි මරණයත් අරං ජීප් එක ඈතට ඈතට යනවා.!

                                                          simple "s"
2018.09.26

No comments:

Post a Comment